Main Logo

Wednesday 11 March 2015

ජෝන් බය කිරීම

ජෝන් බය කිරීම

ජෝන් අමරතුංගට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනා දිනවල ම අප කියා සිටියේ එය ඡන්ද විමසීමකට ලක් නොකරන බව ය. අද එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තයෙහි හිර වී ඇත. ඒ අතර විපක්‍ෂය තවදුරටත් කියා සිටින්නේ ජෝන් අමරතුංග තවමත් ඇමති ධුරයට නොවටිනා වැඩ කරන බව ය.
පොලීසිය භාරව සිටින්නේ ජෝන් අමරතුංග ය. අද පොලිස්පති නොදැනුවත්ව ම පොලිස් නිලධාරීහු මාරු කරනු ලැබෙති. ජෝන් කියන්නේ ඒවා අමාත්‍යාංශ ලේකම්ගේ වැඩ කියා ය. 

එය එසේ විය හැකි ය. එහෙත් අමාත්‍යාංශ ලේකම්ට පොලිස්පතිටත් නොකියා පොලිස් නිලධාරීන් මාරුකිරීමට ඇති රුදාව කුමක් ද? ජෝන් මේ මාරුකිරීම් සම්බන්ධයෙන් කිසිවක් නො දන්නේ ද? ඔහුගේ අණින් මාරු කළත් අමාත්‍යාංශ ලේකම් ඒ බව පවසාවි ද? ජෝන් මේ කිසිවක් නොදන්නේ යැයි සිතීමට අප උත්සාහ දැරිය යුතු ද? මැතිවරණයකන දී ඒ ඒ පොලිස් ස්ථානයෙහි සිටිය යුතු පොලිස් නිලධාරීන් කවරේ දැයි තීරණය කරන්නේ කවු ද? 

මේ සියල්ල සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් කියන්නේ කුමක් ද? අනෙක් සෝභිත හාමුදුරුවන් හා රතන හාමුදුරුවන් කියන්නේ කුමක් දැයි දැනගැනීමට අපට අවශ්‍ය නැත. උන්වහන්සේලාට දේශපාලන පක්‍ෂයක් ඇත. එබැවින් උන්වහන්සේලා බොහෝ විට ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේගේ දේශපාලන පක්‍ෂයේ මතය ය. එහෙත් නාග විහාරයේ සෝභිත හාමුදුරුවන්ට එ ජා පක්‍ෂයට හිතවත් මිත්‍ර භික්‍ෂූන්වහන්සේ සිටිය ද, උන්වහන්සේ එ ජා පක්‍ෂයේ මතය ප්‍රකාශ කළ යුතු නැත. 

ජෝන්ට ලොකු වුවමනාවක් තිබුණේ දළදා මාළිගාව අසළින් යන පාර විවෘත කිරීමට ය. ඔහුට එහි දී පේරාදෙණියේ කොටු ආචාර්යවරයාගේ ද දෙවියන් විරෝධී ආචාර්යවරයකුගේ ද සහාය ලැබිණි. එහෙත් ජෝන්ට තවමත් පාර විවෘත කර ගැනීමට නොහැකි වී ඇත. ජෝන්ටත් අර ආචාර්යවරුන්ටත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි තිබිය යුතු වත් පිළිවෙත් ගැන අවබෝධයක් නැත. දැනට අවුරුදු කිහිපයකට උඩ දී පාර විවෘත ව තිබිණි යැයි යනුවෙන් ගෙනෙන තරකය කිසි වැදගැම්මකට නැති වූවකි. 

නිමල් සිරිපාල කියන්නේ ජෝන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන ලද්දේ ජෝන් භය කිරීමට බව ය. ඇමතිවරයකු බිය ගැන්වීම සඳහා ලෝකයේ ගෙනෙන ලද ප්‍රථම විශ්වාසභංග යෝජනාව එය දැයි අපි නො දනිමු. ජෝන් දැනුත් නොමනා දේ කරන්නේ නම් ඔහු තවත් ටිකක් බය කරන බව නිමල් සිරිපාල කියයි. එහෙත් අපට පෙනෙන්නේ ජෝන්ට කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිමල් බිය බව ය. 

රනිල් එකල කීවේ විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. අගමැතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වුවත් රනිල් ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් බිය ගැන්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියයි. සමහර විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඒ සම්බන්ධයෙන් ඇති කරුණු අනුව රනිල්ට පොටක් පෑදී ඇත්දැයි අපි නො දනිමු. ඒ කුමක් වුවත් අද බයට පත්වී සිටින්නේ මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් බව පැහැදිලි ය. එක් පැත්තකින් එ ජා ප ඡන්ද ය. අනෙක් පැත්තෙන් මහින්දගේ යටත්විජිත විරෝධී ඡන්දය. එ ජා ප ඡන්ද ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාලට ලැබුණ ද ඒවා මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂයට නො ලැබෙයි. අනෙක් අතට මහින්දගේ ඡන්ද ද මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂයට නො ලැබෙයි. එබැවින් මැතිවරණයක දී මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂයට ලැබෙනු ඇත්තේ අන්ත පරාජයකි. 

නිමල් සිරිපාලලාට ටික කාලයකට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නැත්තේ එබැවිනි. අද පවත්වන මැතිවරණයකි දී වැඩි වාසි ඇත්තේ මහින්දට බව ඔවුහු දනිති. නිමල්ලා හුදු ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේත් ජාතික ආණ්ඩුවක්  පිහිටුවීමට මෙතරම් වළිකන්නෙත් මහින්දට ඇති බිය නිසා ය.  මහින්දට දඬුවම් කිරීමට, ඔහු දේශපාලනයෙන් මුළුමනින් ම ඉවත් කිරීමට නිමල්ලා මෙතරම් කටයුතු කරන්නේ මහින්දට ඇති බිය නිසා ය.නිමල්ලා ජොන් බය කරනවා නොව නිමල්ලා තමන් ගෙනා විශ්වාසභංගය නිසා බිය වී සිටිති. එයට ඡන්දය විමසීමක් නොකිරීමට අවශ්‍ය වන්නේ එසේ කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග තමන් අමාරුවේ වැටෙන බව නිමල්ලා දන්නා බැවිනි. මෛත්‍රිපාල නිමල්ලාගේ වුවත් ඔවුන්ට ජෝන් අස්කිරීමට නො හැකි ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 11