Main Logo

Wednesday 25 March 2015

විපක්‍ෂ නායක

විපක්‍ෂ නායක 

දැනට පිළිගැනෙන ආකාරයට නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂයේ නිලධාරියෙකි. ඔහු මෙරට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ නායකයා ද වෙයි. ඒ අතර ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැම් නිලධාරීහු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු වෙති. ශ්‍රී ල නි ප සභාපති රටේ ජනාධිපති වෙයි.
ඉතිහාසය දන්නා අයකුට මෙවැනි තත්ත්වයක් තිබූ රටක් ගැන කිව හැකි ද? බටහිර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එසේ විය හැකි දැයි අපි නො දනිමු. බටහිරයෝ අඩුම තරමෙන් නිල වශයෙන් වෙන් කිරීමේ අති දක්‍ෂයෝ ය. මෙරට පාර්ලිමේන්තුවේ වෙන් කිරීමක් සිදුවන්නේ නැද්ද?

පාර්ලිමේන්තුවේ විපක්‍ෂය යනු කුමක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විපක්‍ෂ නායකකම ගැන නොව විපක්‍ෂයක් ගැනවත් නො කියැවෙයි. කැබිනට් මණ්ඩලයක් කැබිනට් නොවන ඇමතිවරුන් අගමැති ආදීන් ගැන මෙන් ම ඔවුන් පත්කෙරෙන්නේ කෙසේ ද යන්න ගැන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වුව ද විපක්‍ෂය ගැනවත් විපක්‍ෂ නායකකම ගැනවත් විපක්‍ෂ නායක පත්කෙරෙන්නේ කෙසේද යන්න ගැනවත් ව්‍යවස්ථාවෙහි සඳහන් නොවීම පාඩුවකි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ ගැන සැලකිල්ල යොමු වේවා යැයි අපි පතමු. 

එතෙක් කළ හැක්කේ සම්ප්‍රදාය අනුගමනය කිරීම ය. එක්කෝ 1948න් පසු මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කළ යුතු ය. එසේත් නැත්නම් එංගලන්තයේ හෝ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක හෝ වෙනත් රටක හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙහි දී විපක්‍ෂ නායකවරයා තෝරාගැනීම සඳහා අනුගමනය කළ හැකි ය. ඒ සම්බන්ධයෙන් කරුණු දන්නා අයට තමන් දන්නා දෙය මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රකාශ කළ හැකි ය. මේ අනුකාරකයන්ගේ යුගය ය.

එසේත් නැත්නම් කළ හැක්කේ කතානායකවරයාට විපක්‍ෂ නායකයා තෝරා ගැනීමේ වගකීම  පැවරීම ය. අද කෙරෙන්නේ එය යැයි සිතමි. ඒ එසේ නම් කතානායකවරයාට පැවරෙන්නේ භාරදුර කාර්යයකි. ඒ කුමක් වුවත් පළමුව ඇත්තේ විපක්‍ෂය කුමක් ද ආණ්ඩු පක්‍ෂය කුමක් දැයි තෝරා ගැනීම ය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු විපක්‍ෂ නායක ධුරයට පත්කර ගැනීමට නො හැකි ය. එහෙත් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය හඳුනා ගැනීමකින් තොරව අහවල් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්‍ෂයේ ද නැත්නම් විපක්‍ෂයේ ද යැයි තීරණය කළ නො හැකි ය. 

යම් මන්ත්‍රීවරයකු ආණ්ඩු පක්‍ෂයට මෙන් ම,විපක්‍ෂයට ද අයත් විය හැකි ද? එය එසේ විය නො හැකි ය. එවිට ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර පැහැදිලි වෙන්කිරීමක් සිදු නො වේ. කෙටියෙන් කිවහොත් අංසභාග ආණ්ඩුවක් තිබිය නො හැකි ය. යම් පක්‍ෂයකින් කොටසක් ආණ්ඩු පක්‍ෂයේත් තවත් කොටසක් විපක්‍ෂයේත් වේ නම් එතැන ඇත්තේ ජාතික ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් හෝ නොව අංසභාග ආණ්ඩුවකි. වෙනත් වචනවලින් කිවහොත් අං සහිත සභාග ආණ්ඩුවකි. 

අද ඇත්තේ අංසභාග ආණ්ඩුවක් යැයි කිව හැකි නමුත් එය ශ්‍රී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව විසින් ගන්නා ලද තීරණයකට පටහැණි වෙයි. අදාළ තීරණයට අනුව ශ්‍රී ල නි ප ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී ඇත. ජාතික ආණ්ඩුව යනු කුමක් දැයි දැනගෙන එවැනි තීරණයක් ගත් බවට සාක්‍ෂි නැතත් ඒ යෝජනාවෙන් අවම වශයෙන් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා ප හා වෙනත් පක්‍ෂ සමග සභාග ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ය. ඒ යෝජනාව කිසිසේත් ම අංසභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූවක් ලෙස අර්ථකථනය කළ හැකි නො වේ. 

ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව ශ්‍රී ල නි පක්‍ෂය අද ඇත්තේ ආණ්ඩු පක්‍ෂයේ ය. පක්‍ෂයෙහි මන්ත්‍රීවරුන් සියළු දෙනාට ම ඇමති ධුර ලැබේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. එහෙත් ඇමති ධුර නොලැබූ අය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සැලකිය නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු සියල්ලෝ ම පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ තීරණය අනුව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු වෙති. එසේ නම් ශ්‍රී ල නි පක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකුට විපක්‍ෂ නායක විය හැකි ය. 

එයින් කියැවෙන්නේ නිමල් සිරිපාලට විපක්‍ෂ නායක ධුරය දැරිය නො හැකි බව ය. අද ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ සමස්ත ලංකා කාරක සභාවේ තීරණයට පිටින් ගොස් ක්‍රියා කිරීම පිළිබඳ ව විපක්‍ෂ නායක ලෙස කටයුතු කරන නිමල් සිරිපාලටත් ඔහු ඒ තනතුරට පත්කළ අයකු හෝ අය හෝ ශ්‍රී ල නි පක්‍ෂයේ ඇත්නම් ඒ සියල්ලන්ට විරුද්ධව විනයානුකූල පියවර ගැනීම ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 25