Main Logo

Saturday 14 March 2015

ඔත්තු සේවාවල හවුල් කරුවෝ

ඔත්තු සේවාවල හවුල් කරුවෝ

මහින්ද රාජපක්‍ෂ තම පරාජය පිළිබඳ ව ඉන්දියාවේ පළවන හින්දු පුවත්පතට ඉතා පැහැදිලි ව ප්‍රකාශ කර ඇත්තේ පරාජය පිටුපස ඇමරිකාවේ සී අයි ඒ, එංගලන්තයේ එම් අයි 6 හා ඉන්දියාවේ රෝ ඔත්තු සේවා සිටි බව ය. එමෙන් ම මෙරට රෝ ප්‍රධානියාව ආපසු කැඳවන ලෙස ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීම අනුව ඔහු කැඳවා තිබූ බවත් එහෙත් එසේ කළේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසාන අවස්ථාවේ දී බවත් ප්‍රකාශ කර ඇත. මෙය සුළුපටු ප්‍රකාශයක් නො වේ. ඔත්තු සේවා මෙරට ක්‍රියාත්මක වන බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයට පැහැදිලි කරුණක් විය. සැලැස්මකට අනුව සිදු වූ එය කුමන්ත්‍රණයක් නො වේ. 


මහින්ද රාජපක්‍ෂට අනුව රෝ ඔත්තු සේවය තමා පරාජය කිරීමට ක්‍රියා කළේ තම චීන ප්‍රතිපත්තිය වැරදියට වටහා ගැනීම නිසා ය. එමෙන් ම ඉන්දීය අගමැති මෝදි රෝ ඔත්තු සේවයේ කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු නො වේ. මෙය නිවැරදි යැයි අපි නො සිතමු. රෝ පමණක් නොව අනෙක් ඔත්තු සේවා දෙක ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ (ඔවුන්ට අනුව රෙජිමයේ) චීන ප්‍රතිපත්තියට විරුද්ධ විය. ඔවුන්ට අවශ්‍ය බටහිර ගැති ඉන්දියාවට පක්‍ෂපාති චීන විරෝධි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලංකාවකි. එසේ නොවන කල ඒ ආණ්ඩුව පෙරළා දැමීමට ඔත්තු සේවා කටයුතු කරයි. 

මෙහි දී බලපෑවේ ආණ්ඩුවේ චීන ප්‍රතිපත්තිය පමණක් නො වේ. බටහිරයන් විසින් ඇති කෙරී පෝෂණය කෙරුණු ඉන්දියාවේ සහාය ලැබුණු දෙමළ ජාතිවාදයේ අපේක්‍ෂාවන් ඉටු කිරීමට ද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය විය. මෛත්‍රිපාල සිරිසේනට එංගලන්ත අගමැති කැමරන් ඩවුනිං වීදියේ දී කී දේත් මෝදි තමා පිළිගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයේ දී ප්‍රකාශ කළ කරුණුත් අනුව දහතුනෙන් ඔබ්බට යෑමට ඔවුන්ට ඇති අවශ්‍යතාව පැහැදිලි වෙයි. ඔත්තු සේවාවලට මහින්ද රාජපක්‍ෂ පැරදවීමට අවශ්‍ය වූයේ චින ප්‍රතිපත්තිය මෙන් ම දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිර හා ඉන්දියාව අනුගමනය නොකිරීමේ ප්‍රතිපත්තිය ද හේතුවෙනි. ඔත්තු සේවාවල කාර්ය අවසන් වී නොමැති බව ද අවධාරණය කළ  යුතු ය. 
රෝ ඔත්තු සේවයේ කටයුතුවලට මෝදි සම්බන්ධ නැතැයි කීම ද අපි නො පිළිගනිමු. එය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වන නිසා එසේ සම්බන්ධයක් නැතැයි කීමට සිදුවන්නට ඇත. ඒ කෙසේ වෙතත් ඔත්තු සේවා රාජ්‍ය සමග සම්බන්ධකමක් නැතැයි ප්‍රචාරය කරන්නේ රාජ්‍යවලට ඇතැම් කරුණුවල දී එමගින් අත පිසදමා ගැනීමට හැකි බැවිනි. මෝදි මහින්ද රාජපක්‍ෂට අණ නොකළේ අණ කිරීමට නොහැකි වූ බැවින් මිස අණ කිරීමට අකමැති වූ නිසා නො වේ. රනිල් සිරිසේන ආණ්ඩුව අද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි ක්‍රියාකරයි. ආණ්ඩුව ඇතැම් විට මෝදි කියන දේ නොකරන්නේ නම් ඒ චීනයට ඇති බිය නිසා ය. 

අපට තවත් වැදගත් ප්‍රශ්නයක් ඇසීමට ඇත.  ඔත්තු සේවා, විශේෂයෙන් ම රෝ ඔත්තු සේවය ලංකාවේ දී ක්‍රියාත්මක වීමේ දී  ඔවුන්ගේ හවුල් කරුවන් ලෙස කටයුතු කළෝ කවරහු ද? අප ඔවුන් ගැන සොයා බලන්නේ නැත් ද? විදේශීය ඔත්තු සේවා සමග එකතු වී ආණ්ඩු පෙරළීම අභ්‍යන්තර ව ආණ්ඩුවකට විරුද්ධව කටයුතු කිරීමක් නො වේ. ආණ්ඩුවකට විරුද්ධව අභ්‍යන්තර ව නීත්‍යානුකූල ව කටයුතු කිරීමට පුරවැසියකුට අයිතියක් ඇත. එහෙත් මේ අයිතියේ සීමාව කුමක් ද? 

පුරවැසියකුට විදේශීය ඔත්තු සේවයක් සමග එකතු වී පවත්නා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ හැකි ද? එය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් නො වන්නේ ද? අතීතයේ සිට ම මෙරට රජවරුන්ට විරුද්ධව භාරතීය වාංශික රජවරුන්ගේ සහාය ලබාගත් රාජ වාංශිකයෝ සිටියහ. එමෙන් ම රාමායණය පිළිගන්නේ නම් විදේශීය රජවරුන්ගේ ඒජන්තයෙන් ලෙස මෙරට රජවරුන්ට විරුද්ධව කටයුතු කළ විභීෂණලා (ඊනියා යහපාලකලා) සිටියහ. එක්තරා ආකාරයකින් ගතහොත් ඇතැම් නිළමෙලා 1815 දී රජුට විරුද්ධව ඉංගිරිසින් සමග එක් වී කටයුතු කළහ. ඩොයිලි සමග එකතු වූවෝ මෙරට සිටියහ. අප ඒ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ඉඩ දිය යුතු ද? 

නලින් ද සිල්වා

2015 මාර්තු 14