Main Logo

Friday 20 March 2015

ඩිලාන් වාසු හඳුන්නෙත්ති ගයන අණ්ඩර දෙමළය

ඩිලාන් වාසු හඳුන්නෙත්ති ගයන අණ්ඩර දෙමළය

මෛත්‍රිපාල සිරිසේන ඩිලාන් පෙරේරාගේ පියා වූ මාෂල් පෙරේරා සබරගමුවේ ආණ්ඩුකාරයා ලෙස පත් කළේ ය. එයට රනිල් අනුමැතිය දුන්නාට සැකයක් නැත. අද ඩිලාන් ශ්‍රී ල නි පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ලබා ඇත. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරය පික්පොකට් ගසා ඇති බැවින් ඔහු යටතේ කෙරෙන පත්වීම්වලට නීත්‍යානුකූල භාවයක් නැත. එහෙත් ඩිලාන් සිතා සිටින්නේ ඔහුට ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවෙන් කතාකිරීම පිය උරුමයෙන් ලැබුණු දෙයක් ලෙස ය. ඔහු පාර්ලිමේන්තුවේ දී පවසා ඇත්තේ දෙමළෙන් ජාතික ගීය ගැයීමට හැකි ය යන්න ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්තිය බව ය. ඒ ප්‍රතිපත්තිය පක්‍ෂය විසින් පිලිගැනුණේ කවදා දැයි කලකට පෙර මහජන පක්‍ෂයේ සිටි ඩිලාන් හෝ ඔහුගේ පියා හෝ පවසන්නේ ද? 


මොවුන්ට ඇත්තේ ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති නොව රෝස පාට සමාජවාදයේ චන්ද්‍රිකා ප්‍රතිපත්තිය. ඩිලාන් කියා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ පැරදුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිවාදී අන්තවාදී පිරිස් නිසා බව ය. එහෙත් ඩිලාන් නිමල් සිරිපාල වැන්නවුන් මහින්දට වැඩකළ තරම බදුල්ලේ ජනතාව දනිති. පසුගිය දා මෛත්‍රිපාල වෙනුවෙන් පක්‍ෂය දෙකඩ නොකරන්න යැයි ඉල්ලීමට  මහින්ද හමුවීමට ගිය ශ්‍රී ල නි ප නායකයන්ගේ කණ්ඩායමට ඩිලාන් ඇතුළත් වූ බවක් දැනගන්නට නැත. එහෙත් එහි ගිය පිරිසට බඩකට පුරා පිළිතුරු මහින්දගෙන් ලැබුණු බවට වාර්තා වෙයි. මහින්ද පැරදුණේ ඊනියා ජාතිවාදයක් නිසා නොව සිංහල ඡන්දවලින් 65%කට ආසන්න ප්‍රමාණයක් ලබාගත නොහැකි වූ නිසා ය. මෙවර ඔහුට ලැබුණේ සිංහල ඡන්දවලින් 58%ක් පමණ ය. එයට ඔත්තු සේවා, තරුණයන් නොමග යැවූ සයිබර් අවකාශය මෙන් ම සිංහල ජාතිකත්වය ඉදිරියට නොගෙන ඊනියා යහපාලනයකට ප්‍රධාන තැන දුන් අමන ශ්‍රි ල නි ප නායකයන් ද වගකිව යුතු ය. කෙටියෙන් කිවහොත් මහින්දගේ පරාජයට ඩිලාන්ලා, නිමල් සිරිපාලලා මෙන් ම මාධ්‍ය හැසිරවූ ඩලස්ලා හා බැසිල්ලා ද ඔවුන් යටතේ වැඩකළ ඔත්තු සේවා නියෝජිතයෝ ද සිංහලයන්ට විරුද්ධ වී අද ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති ජාතික හෙළ උරුමයේ නායකයෝ ද වගකිව යුත්තෝ වෙති. මොවුන් ජාතික ව්‍යාපාරයේ හතර මායිමට වද්දා නොගත යුතු ය. මහින්ද පැරදුණේ ඊනියා ජාතිවාදයක් නිසා නොව ජනාධිපතිවරණයේ දී සිංහල ජාතිකත්වය ඉස්මතු නොකළ බැවිනි.

ඩිලාන් වාසු සහ හඳුන්නෙත්ති කියා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය දෙමළෙන් ගැයිය හැකි බව ය. ඔවුහු නොදන්නා අණ්ඩර දෙමළයකට ගොස් වරිගෙ නසති. මොවුන්ගේ අදහස් ගලා එන්නේ ජාතිකත්වයකින් නොව කසිකබල් මාක්ස්වාදයෙනි. ඒ කෙසේ වෙතත්, ඔවුන් හරිහැටි නොදන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි ව්‍යවස්ථාව අනුව ජාතික ගීය එහි තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන පරිදි ශ්‍රී ලංකා මාතා විය යුත්තේ ය. ජාතික ගීයෙහි වචන හා සංගීතය එම උපලේඛනයෙහි ම සඳහන් වෙයි. එපමණක් නොව 83 වැනි ව්‍යවස්ථාවට අනුව හත්වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමතවිචාරණයකින් ය. එය ව්‍යවස්ථාවෙහි සඳහන් නොවන ඊනියා ජාතික විධායක සභාවක මනෝ ගනේෂන් වැනි සිංහලත්වයට මෙරට හිමිතැන නොදෙන සිංහල විරෝධියකුගේ යෝජනාවක් සම්මත කර චක්‍රලේඛ මගින් කළ හැක්කක් නො වේ. මෛත්‍රිපාල තමාට දෙමළ ඡන්ද ලැබීම හේතුවෙන් දෙමළ ජාතිවාදයට කප්පන් දෙයි. හැකිනම් මනෝ ගනේෂන්ගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන ජනමත විචාරණයකින් ද ජයගන්නා ලෙසට අපි අභියෝග කරමු.  

දෙමළ ජාතිවාදීන් එදා සිට ම කටයුතු කළේ මෙරට සිංහලත්වයට හිමි තැන ලබා නො දීමට ය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට ඔවුන් විරුද්ධ වූයේ ද එබැවිනි. අද සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීමට විරුද්ධ වන්නේ ද ඒ නිසා ය. ජාතික ගීය දෙමළෙන් ගැයීම කිසිසේත් යුක්තියුක්ත කළ නොහැකි ය. ඒ යෝජනාව හා යෝජකයන් පරාජය කළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 20