Main Logo

Thursday 5 March 2015

විභීෂණ කවු ද?

විභීෂණ කවු ද? 

අප විභීෂණ ගැන දැනගන්නේ රාමායණයෙනි. ලෝකයේ වෙනත් විභීෂණලාත් සමහර විට සිටින්නට ඇත. එහෙත් රාමායනයේ විභීෂණ රාවණගේ සොයොහුරකු ලෙස දැක්වෙයි. එමෙන් ම රාවණ ලංකාවේ සිටි බව ද රාම, සීතා, ලක්‍ෂමණ හනුමන්ත් ආදීන් වත්මන්  ඉන්දියාවේ සිටි බව ද කියැවෙයි. මේ කතාව පිළිබඳ විවිධ අර්ථකථන වෙයි. ඇතැමුනට අනුව රාවණගේ ලංකාව මේ අපේ ලංකාව ය.
මේ ඒ පිළිබඳ තවත් අර්ථකථනයක් හෝ දැනටමත් ඇති අර්ථකථනයක් තහවුරු කිරීමක් හෝ නො වේ. වත්මන් කෝණයකින් විභීෂණ දැකීමට දරණ උත්සාහයක් පමණකි. අපි අපේ කතාව සඳහා රාවණ අපේ ලංකාවේ සිටි බවත් රාමලා වත්මන් ඉන්දියාවේ වූ බවත් සිතමු.

අප ජීවත්වන යුගය අපට ඉතිහාස කතා වෙනස් ම ආකාරයකින් දැකීමට උපකාරී වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව කරන ලද ප්‍රචාර ජනාධිපතිවරණයත් සමග අවසන් වී නැත. රනිල් හා මෛත්‍රිපාල තරගයට මෙන් මහින්ද රාජපක්‍ෂ ගැන අසත්‍ය ප්‍රකාශ කරති. ඔවුන්ගේ ඇම්බටි ඇමතිවරු ද ඔවුන්ට තරගයක් දීමට උත්සාහ ගනිති. විශේෂයෙන් ම චම්පික මෙහි දී කැපී පෙනෙයි. ඔහුට අවශ්‍ය කෙසේ නමුත් මහින්දට දඬුවම් කිරීමට ය. 

මහින්ද හා මෛත්‍රිපාල, රාජිත, චම්පික, රතන හිමි අතර අරගලය එක් පැත්තකින් ලංකාව හා ඉන්දියාව අතර වූ අරගලයකි. මහින්ද හා රනිල් අතර ඇත්තේ ලංකාව හා එංගලන්තය (ඇමරිකාව) අතර වූ අරගලයකි. රාවණ හා විභීෂණ අතර ද වූයේ ලංකාව හා භාරතය (පහසුව සඳහා වත්මන් ඉන්දියාව යැයි ගනිමු) වූ සටනකි. රාවණ සටන් කළේ රාම සමග ය. එහි දී විභිෂණ රාවණට විරුද්ධ ව යොදා ගනු ලැබිණි. මහින්ද රාජපක්‍ෂ සටන් කළේ සෝනියා ප්‍රමුඛ ගාන්ධිලා සමග ය. එහි දී මෛත්‍රිපාල හා කණ්ඩායම මහින්දට විරුද්ධ ව යොදා ගැනෙයි. 

ගැමුුණු එළාර කතාවෙහි ගැමුණු ට විරුද්ධ ව බොරු ප්‍රචාරයක් ගෙන යන ලදී. ගැමුණු දුෂ්ටයකු ලෙස එළාරගේ කණ්ඩායම විසින් හඳුන්වනු ලබන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. අපි ගැමුණුට දුෂ්ට යැයි කීමට අකමැති වෙමු. එබැවින් දුටු යන්න දැක්ක යන අරුතින් ගැනීමට අපි කැමැත්තෙමු. එහෙත් ඉතිහාසය අපේ කැමැත්ත අනුව සිදු වී යැයි කිව නො හැකි ය. ශ්‍රි වික්‍රම හා ඇහැළෙපොළ අතර පැවතියේ ලංකාව හා එංගලන්තය අතර සටනකි. ඇහැළෙපොළ එංගලන්තය විසින් යොදා ගැනිණි. ශ්‍රී වික්‍රම විෂම ගති ගුණ ඇති අයකු වී යැයි අපට කියා දී ඇත. 

මෛත්‍රිපාල ගැන කියැවෙන්නේ දූෂණයට විරුද්ධ අයකු ලෙස ය. විදූෂණ, විදූෂක ආදී නම් එහි දී සිහියට නැගෙයි. විභීෂණ යන්නෙන් භීෂණයට විරුද්ධ යන අර්ථය ගෙන දෙයි. විභීෂණගේ නියම නම කුමක් දැයි අපි නො දනිමු. අප දන්නේ රාමායණයෙහි කියැවෙන නම ය. රාමායනය ලියා ඇත්තේ වාල්මිකී ය. ඔහු අපේ නො වේ. අප කවුරුත් කතා කියන්නේ අපට සාපේක්‍ෂව ය. බටහිර විද්‍යාව කතා කියන්නේ බටහිරට, එනම් බටහිර සංස්කෘතියට සාපේක්‍ෂව ය. වාල්මිකී කතාව ලීවේ රාමා දෙවියකු කර රාවණ දුර්ජනයකු කිරීම සඳහා ය. 

වාල්මිකීගේ රාවණ භයානක දුෂිත චරිතයක් ඇත්තෙකි. ඔහු ගැහැණුන් පැහැර ගෙන එයි. දණ්ඩක වනය ද පාලනය කරයි. රාම කෙතරම් ගුණවත් පුද්ගලයෙක් ද? ඔහු විෂ්ණුගේ අවතාරයකි. රාවණ මොන යක්‍ෂයාගේ අවතාරය ද? රාවණගේ භීෂණයට විරුද්ධව වාල්මිකී විභීෂණ මවා ඇත. චරිත තම තමාට සාපේක්‍ෂ නො වෙයි. චරිත අනෙක් අයට (අනෙකාට නොව)  සාපේක්‍ෂ වෙයි. මා ගැන සමාජයේ පවතින කතා සමාජය විසින් නිර්මාණය කෙරුණු ඒවා ය. මහින්්ද ගැන ඇත්තේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් එක් පැත්තකින් ද ඉන්දියාව අනෙක් පැත්තෙන් ද ගෙතූ කතා ය. ප්‍රජාතන්ත්‍ර විරෝධියා, දූෂිතයා, මහජන මුදල් විනාශකයා ආදී වශයෙන් මහින්ද හැඳින්වෙයි. විභීෂණ වාල්මිකීගේ වීරයෙකි. වාල්මිකීලා ඔහු දෙවියකු බවට පත්කළේ ය. එහෙත් රාවණ දෙවියකු බවට පත් නොකෙරිණි. වාල්මිකී ඉතිහාසය ලියුවේ ඒ ආකාරයට ය. එහෙත් මේ විභීෂණ දෙවියාගෙන් පසුව ලංකාවට සිදුවූයේ කුමක් ද? එය ඉතිහාසයෙන් මැකී ගිය නොවැදගත් රටක් බවට පත්විය. වත්මන් විභීෂණලාගෙන් (ඊනියා සුදනන්ගෙන්) පසු අපේ ස්වාධීනත්වයට කුමක් වේ ද? 

නලින් ද සිල්වා

2015 මාර්තු 05