Main Logo

Saturday 21 March 2015

මෛත්‍රිපාලට අමතක වූ මෑත ඉතිහාසය

මෛත්‍රිපාලට අමතක වූ මෑත ඉතිහාසය

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි ප තරුණ සම්මේලනය හා සම්බන්ධ උත්සවයක දී  අපූරු කතාවක් කියා ඇත. ඒ පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා විසින් රනිල් වික්‍රමසිංහට පමණක් කියා නිවාඩු ගොස් ඇති මහා බැංකු අධිපති අර්ජුන් මහේන්දූන් සිංගප්පුරු පුරවැසියකු බව පිළිගනු ලැබීමට පෙර ය. එහෙත් හර්ෂ ද සිල්වාට ද අමතක වූ කරුණක් ඇත. ඒ ලංකාවේ ද්විත්ව පුරවැසියකු වෙනත් රටක පුරවැසියකු වන අතර ලංකාවේ ද පුරවැසියකු වන බවත් එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පමණක් පුරවැසියකු වන බවත් ය. මෛත්‍රිපාල කියා ඇත්තේ බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණේ එ ජා ප, කොටින් ආදීන් විසින් නොව ශ්‍රී ල නි ප සාමාජික භික්‍ෂූන් වහන්සේ හා කැබිනට් ඇමතිවරුන් විසින් බව ය. මෙය බුද්ධරක්ඛිත හිමි(?) හා විමලා විජේවර්ධන ගැන කෙරුණු සඳහනක් යැයි සිතමි.


ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වයට පමණක් නොව ඕනෑම දේශපාලන පක්‍ෂයක නායකත්වයට අභියෝග එල්ල වන්නේ ඒ ඒ පක්‍ෂය තුළින් ම ය. එ ජා පක්‍ෂයේ පමණක් නොව වික්‍රමබාහුගේ ත්‍රිරෝද පක්‍ෂයට ද එය පොදු ය. මෛත්‍රිපාලට අවශ්‍ය නම් සිරිතුංග ජයසූරියගෙන් ඒ බව අසා දැනගත හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයෙන් ම උදාහරණයක් ගත්තත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට අභියෝග කළේත් මෛත්‍රිපාල ඉහත සඳහන් කතාව කළ ටී බී ජයා මාවතේ (ඩාලි පාරේ) පිහිටි පක්‍ෂ කාරායාලය මංකොල්ල කෑමට තැත් කළේත් එතුමියගේ ආදරණීය දෝණියක වූ චන්ද්‍රිකාත් බෑණ පොඩ්ඩ වූ සිංහල විරොාධී විජය කුමාරතුංගත් ය. ඩිලාන්ලා රාජිතලා එ දෙපොළ පිහිටු වූ මහජන පක්‍ෂයේ සාමාජිකයෝ වූහ. මෛත්‍රිපාල එකල දේශපාලන වශයෙන් අඥාත පුද්ගලයකු වූ අතර පක්‍ෂය බේරාගැනීම සඳහා කටයුතු කළේ මහින්ද රාජපක්‍ෂ ය. 

මෛත්‍රිපාල ශ්‍රී ල නි ප තරුණයන්ට කීමට තැත්කර ඇත්තේ තම ඊනියා නායකත්වයට පක්‍ෂයෙන් ම බාධා එල්ලවන බව ය. එහෙත් ඔහුට මේ මාස කිහිපයට අමතක වූ කරුණු දෙකක් ඇත.  පළමුවෙන් ම ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයා නොව විදේශ ඔත්තු සේවාවල ආධාරයෙන් ඒ තැනට පැමිණි පික්පොකට් නායකයා බව ය. ඒ පික්පොකට් නායකත්වය අව්‍යාජ විජාතික බලවේගවලට හිස නොනමන නායකයකුට ලැබිය යුතු ය. ඒ සඳහා ඩිලාන්ලා රාජිතලා පමණක් නොව නිමල් සිරිපාල ලා ද පක්‍ෂයට පිටින් හිඳ පක්‍ෂය විනාශ කිරීමට කටයුතු කළ චම්පිකලා ද ශ්‍රී ල නි ප හතර මායිමෙන් එළවා දැමිය යුතු ය. 

ඔහුට අමතක වී ඇති දෙවැනි කරුණ නම් මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්‍ෂ අභ්‍යන්තරයෙන් සහභාගි වූවන් අතර ඔහු ද සිටින බව ය. ශ්‍රී ල නි ප නායකත්වයට ද්‍රෝහි වී ඇත්තේ කැබිනට් ඇමතිනි විමලා විජේවර්ධනලා පමණක් නො වේ. කැබිනට් ඇමති මෛත්‍රිපාල සිරිසේනලා ද පක්‍ෂ නායකත්වයට ද්‍රෝහි වී ඇත. එපමණක් නොව මෛත්‍රිපාල එහි දී විමලා විජේවර්ධනගේ ඥාතියකු වූ රනිල් වික්‍රමසිංහ සමග ද එකතු වී ඇත.  මෛත්‍රිපාල කුමක් කීවත් එක වල්ලේ පොල් හඳුනාගැනීම සිංහල ජාතිකත්වයට ප්‍රශ්නයක් නො වේ.   

නලින් ද සිල්වා

2015 මාර්තු 21