Main Logo

Thursday 12 March 2015

ධනපාල මහතාගේ අවුල (විදුසර ලිපියකි)

                                           ධනපාල මහතාගේ අවුල

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ඊනියා ජීවිතයේ අරුත, බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ආදිය ගැන ලියන ලිපි පෙළට ප්‍රතිචාර දැක්වීම සති කිහිපයකට කල් දැමීමට සිදු වී ඇත. එයට හේතුව බෝධි ධනපාල නම් මහතකු පසුගිය හතරවැනි දා ලියා පළකර ඇති ලිපියකට පිළිතුරු දීම අවශ්‍ය නිසා ය. බෝධි ධනපාල මහතා ගැන මා දන්නේ නමින් පමණකි. ඔහු කැනඩාවේ ජීවත්වන බවත් එහි ක්විබෙක් ප්‍රාන්තයේ පාසලක රසායන විද්‍යාව උගන්වන බවත් එකල විද්‍යොදය විශ්වවිද්‍යාලය නමින් හඳුන්වනු ලැබූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරියකු බවත් වාර්තාවන කරුණු ඇසුරෙන් නිගමනය කළ හැකි ය. 


ඔහු ඉලෙක්ට්‍රොනික තැපෑල මගින් මා සමග බටහිර විද්‍යාව සම්බන්ධ සංවාදයක ද නිරත වන බව පාඨකයාගේ දැනගැනීම සඳහා කිව යුතු ය. එහි ඔහු කියන කරුණු අනුව නිගමනය කළ හැක්කේ ඔහු බටහිර විද්‍යාව සත්‍ය යැයි පිළිගන්නා බව ය. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට ඔහු උරණ වෙයි.  එහෙත් ඔහුට අශෝක අමරතුංග මහතාට මෙන් ම මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන්නේ කිනම් අර්ථයකින් දැයි තේරුම් ගැනීමට නොහැකි වී ඇත. 

මගේ අදහස් පිළිබඳ පාඨකයන්ගේ මතකය අලුත් කර ගැනීම සඳහා පසුගිය ජනවාරි හතරවැනි දා මා විදුසර පුවත්පතෙන් ඉදිරිපත් කළ කරුණු කිහිපයක් උපුටා දක්වමි.  එය බෝධි ධනපාල මහතාට ද ප්‍රයෝජනවත් විය හැකි හැකි ය. “බුදුදහමට අනුව අපේ (පෘථග්ජනයන්ගේ) සියළු සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුම මුසා වෙයි. මේ දැනුම කොටස් තුනකට බෙදිය හැකි ය. ඒ මනසෙන් පමණක් ගන්නා ප්‍රත්‍යක්‍ෂ, මනස හා පංචෙන්ද්‍රිය එකතු වී ගන්නා ප්‍රත්‍යක්‍ෂ හා ප්‍රත්‍යක්‍ෂ නොවන දැනුම ය. ….. .. .. .. .. ප්‍රත්‍යක්‍ෂ යනු පංචෙන්ද්‍රියන් මගින් ලැබෙන (මනස විසින් නිර්මාණය කෙරෙන) සෘජු දැනුම ය. එහි නිරුක්තියට අක්‍ෂි යන්න වැදගත් වුවත්  ප්‍රත්‍යක්‍ෂ සෑම ඉන්ද්‍රියක් සම්බන්ධයෙන් ම ඇත. කණ හා මනස එක් වීමෙන් මෙන් ම නාසය හා මනස එක්වීමෙන් ද ප්‍රත්‍යක්‍ෂ ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ ඉහත සඳහන් පරිදි කොටස් දෙකකට බෙදිය (වර්ග කළ ) හැකි ය. ඒ පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ නොවී මනසෙන් පමණක් නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‍ෂ හා පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‍ෂ යනුවෙනි. ඒ අවස්ථා දෙකෙහිම ප්‍රත්‍යක්‍ෂයෙන් ගන්නා දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනස සියල්ට ම මුල් වෙයි. මනස ප්‍රධාන වෙයි.  

ප්‍රත්‍යක්‍ෂවල දී සංකල්ප යොදා ගැනෙයි. එහෙත් ඉන් ඔබ්බට යන දැනුමක් නැත. ප්‍රත්‍යක්‍ෂ නොවන දැනුම එසේ නො වේ. ඒ උපකල්පනය, එසේත් නැත්නම් හිතළු ය, ඒසේත් නැත්නම් ඉතිහාසය වැනි දැනුමකි. ඒ දැනුම් ඇතැම් විට මනසෙන් (සිතෙන්) මවාගත හැකි ය. තවත් දේ හිතෙන්වත් මවාගත නො හැකි ය….. .. .. .. ගැමුණු රජු පිළිබඳ දැනුම පට්ටපල් බොරුවක් නො වේ. එසේ වුවත් එය ද මුසාවකි. ඒ බුදුදහම අනුව පුද්ගලයකු නැති බැවිනි. අප විසින් වෙනත් පුද්ගලයෝ ද මවනු ලැබෙති. බුදුදහමට අනුව මිරිසවැටිය යනුවෙන් ඊනියා වාස්තවික චෛත්‍යයක් ද නැත. එය ද මුසාවකි.

බටහිර විද්‍යාවෙහි ඇත්තේ වෙනත් ආකාරයක දැනුමකි. එහි දී අපට පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඇත. මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පළමුවෙන් ම බටහිර විද්‍යාඥයන් විසින් සාධාරණීකරණයට ලක් කෙරෙයි. සාධාරණීකරණය වූ දැනුම වියුක්ත දැනුමකි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. කිසිවකුට යම් කරුණක් සම්බන්ධයෙන් සියළු නිරීක්‍ෂණ කළ නො හැකි ය. සියළු බටහිර විද්‍යාඥයන් එකතු වුවත් ඒ කළහැකි නො වේ. සියළු කපුටන් නිරීක්‍ෂණය කර ඔවුන්ගේ පාට පිළිබඳ යමක් කිව නො හැකි ය. බටහිර විද්‍යාඥයන් කරන්නේ නිරීක්‍ෂණ කිහිපයකින් සියළු  කපුටන් කළු පාට යැයි උද්ගමනය කිරීම ය. එය වියුක්ත ය. සියළු කපුටන් යන්න ම වියුක්ත සංකල්පයකි. ඒ මනසෙන් (සිතෙන්) මවාගත නො හැකි ය….. .. .. ..

බටහිර විද්‍යාවෙහි වියුක්ත උද්ගමන නිර්මාණය කිරීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ වියුක්ත හිතළු (අනුමිනිත) ඉදිරිපත් කරති. ඉන්පසු ඒ වියුක්ත හිතළුවලින් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් වියුක්ත නිගමනවලට පැමිණෙති. ඔවුහු ඒ වියුක්ත නිගමන සංයුක්ත නිරීක්‍ෂණ සමග සන්සන්දනය කර වඩා සාර්ථක හිතළුව (එනම් සංයුක්ත නිරීක්‍ෂන සමග වඩා ගැලපෙන) ඊනියා ප්‍රවාදයක් බවට පත්කරති. මෙය කෙතරම් දුරට ඊනියා සත්‍යය හෙළිදරවු කරන්නේ ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද බවට පත්වන හිතළු පට්ටපල් බොරු  වෙයි. ඒ වියුක්ත ය. අඩුම තරමෙන් සිතෙන් මවාගැනීමටවත් නො හැකි ය. බටහිර විද්‍යාවේ බංකොළොත් දර්ශනයට අනුව අප තෝරාගත යුත්තේ වඩා සාර්ථක පට්ටපල් බොරුව ය.”

දීර්ඝ වශයෙන් උපුටා දැක්වූයේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්නෙන් මා කියන්නේ කුමක් දැයි තේරුම් කර දීම සඳහා ය. එය තේරුම් ගැනීම මේ සියලු සංවාදවල මූලික කාර්යය වෙයි. එසේ නොමැතිව පට්ටපල් බොරු යන්නට තම තමන් කැමති අර්ථකථන, විවරණ ආදිය සපයා මා මේ සම්බන්ධයෙන් ලියන ලිපි විවේචනය කිරීමෙන් කිසිවකුටවත් කිසි යහපතක් නො වෙයි. තමන් විසින් විවේචනය කෙරෙන කරුණු අවබෝධ කර නොගෙන විවේචනය කරන්නන් ගැන කිව හැක්කේ කුමක් ද?  හැකි නම් මගේ ජනවාරි 07 වැනි දා ලිපිය සම්පුර්ණයෙන් කියවන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. 

මම නිරීක්‍ෂකයාගෙන් තොරව වාස්තවික ව පවතින ලෝකයක් ගැන විශ්වාස නො කරමි. ඇතැම් බෞද්ධයෝ  එවැනි ලෝකයක් ඇතැයි විශ්වාස කරති. කිසිවකු බුදුන් වහන්සේ එසේ ලෝකයක් පවතින බව ඒකාන්තව දේශනා කර ඇති තැනක් සංදර්භය සහිත ව පෙන්වන්නේ නම් කෘතඥ වෙමි. බුදුදහම, බුදුන් වහන්සේ දෙසූ කරුණු සංදර්භයෙන් ස්වායත්ත නො වේ. සියල්ල සංදර්භයට සාපේක්‍ෂ ය. ආනන්ද හිමියන් එවං මෙ සුතං ආදී වශයෙන් මා විසින් මෙසේ අසන ලදී යනුවෙන් දේශනා කරන්නේ මේ සංදර්භය ය. 

බුදුන් වහන්සේ ද්වෛතය බොහෝ අවස්ථාවල ප්‍රතික්‍ෂෙප කළහ.මා දන්නා තරමින් (මා සූත්‍ර පිටකය මුළුමනින් කියවා නැත) උන්වහන්සේ ද්වෛතයක් ගැන දේශනා කළ එක් අවස්ථාවක්  සුත්තනිපාතයෙහි ද්වායතානුපස්සනා සූත්‍රයෙහි දැක්වෙයි. ඒ අනුව පෘථග්ජනයන් සත්‍ය ලෙස පිළිගන්නා දේ රහතන් වහන්සේට අනුව මුසා ය. රහතන් වහන්සේ පිළිගන්නා දේ පෘථග්ජනයන්ට අනු මුසා ය. මේ ද්වෛතය වැදගත් වෙයි. මම ද පෘථග්ජනයෙක්මි. එහෙත් අපේ සංකල්ප, ප්‍රවාද ඇතුළු සියල්ල මුසා බව මම විශ්වාස කරමි. ඇතැමකු සුත්තනිපාතය බුදුන්වහන්සේගේ දේශනයක් නොවේ යැයි කීමට ද ඉඩ ඇත. අපි දැනට ඒ පිළිබඳ සංවාදයකට නො එළඹෙමු. 

ඉතා කෙටියෙන් කිවහොත් සියලු ප්‍රත්‍යක්‍ෂ (මනසින් පමණක් කෙරෙන ප්‍රත්‍යක්‍ෂ හා මනසෙහි ආධාරයෙන් පංචෙන්ද්‍රියන් මගින් කෙරෙන ප්‍රත්‍යක්‍ෂ) බොරු ය. ප්‍රත්‍යක්‍ෂ නොවන වියුක්ත ප්‍රවාද ආදිය පට්ටපල් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ ඒ අර්ථයෙනි. 

බෝධි ධනපාල මහතා පසුගිය හතරවැනි දා පළකර ඇති ලිපියෙහි මාතෘකාව ම මේ සියල්ලට විරුද්ධ ය.  ඒ මාතෘකාව ක්වොන්ටම්වාදයෙන් හෙළිවන ලෝකයේ ස්වභාවය යන්න ය. මෙයින් කියැවෙන්නේ නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතින බවත් ඒ ලෝකය ක්වොන්ටම් භෞතිකයෙන්  හෙළිවන බවත් ය. ප්‍රශ්නය පටන්ගන්නේ මෙතනින් ම ය. මම සිංහල බෞද්ධයෙක්මි. මගේ සිංහල බුද්ධාගමෙහි (සිංහල බෞද්ධ සංස්කෘතියෙහි) නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින ලෝකයක් නැත. එහෙත් වෙනත් අයකුගේ බුදු්ධාගමෙහි එවැනි ලෝකයක් තිබිය හැකි ය. එවැන්නන්ගෙන් මා ඉල්ලා සිටින්නේ බුදුන් වහන්සේ එලෙස ලෝකයක් ගැන දෙසූ තැනක් සංදර්භය සහිතව පෙන්වන ලෙස ය. මම එය අසාධාරණ ඉල්ලීමක් යැයි නො සිතමි. 

බෝධි ධනපාල මහතා ද අශෝක අමරතුංග මහතා මෙන් ම අනෙක් අය ලියන ලිපි සංයමයකින් නොකියවන බව පැහැදිලි ය. මේ ලිපිය එවැනි එක් කරුණක් ගැන පමණක් සඳහන් කිරීමෙන් අවසන් කරමි. බෝධි ධනපාල මහතා තම ලිපියෙහි අවසාන භාගයෙහි මෙසේ සඳහන් කරයි. මම ධනපාල මහතා හා අමරතුංග මහතා මෙන් අනෙක් අයගේ ලිපි සම්බන්ධයෙන් තමන්ට තේරෙන පරිදි තමන් කරන අර්ථකථන ඉදිරිපත් නො කරමි. දීර්ඝ වුවත් ඔවුන්ගේ ලිපිවලින් ම උපුටා දක්වමි. මේ ධනපාල මහතාගේ ලිපියෙනි.

“අමරතුංග මහතා පරමාණු ගැන සාකච්ඡා කරන විට ශක්තිය සහ ස්කන්ධය "ද්වෛධයක්" යයි කියා ඇත.” ද්වෛධයක් යනු කුමක් දැයි මම නො දනිමි. බෝධි ධනපාල මහතා ඒ වචනය ඉහතත් තම ඉලෙක්ට්‍රොනික ලිපිවලත් යොදන්නේ එහි අර්ථය දැනගෙන ද?  ඒ වචනය තේරුම් කර දෙන ලෙස මා ඉල්ලා ඇති නමුත් අමරතුංග මහතා හෝ ධනපාල මහතා හෝ එයට ප්‍රතිචාර දක්වා නැත. මා දන්නේ ද්වෛතය, ද්විත්වය වැනි වචන ය. අමරතුංග මහතා තම ජනවාරි 28 වැනි දින ලිපියෙන් කියා ඇත්තේ මෙසේ ය. “අනු පරමාණුක අංශුවල හැසිරීම් ක්වොන්ටම් යාන්ත්රණය විසින් පැහැදිලි කෙරෙන්නේ ශක්තිය සහ ද්රව්ය යන ද්වෛධ (energy and matter duality) මගිනි. අංශුවක පිහිටීම සහ ගම්යතාව හෝ එහි ශක්තිය සහ කාලය ක්වොන්ටම් යාන්ත්රණය විසින් නිවැරැදිව සපයා දෙනු ලබන්නේ නැත. එය විසින් සපයා දෙනු ලබන්නේ ඒවායේ සම්භාව්යතාව පමණි”.

මේ සියල්ල ලියා තිබුණේ එක ම ඡෙදයක ය. මේ මහාචාර්යවරයකුගේ ලිපියකි. මෙයින් යමකුට වටහා ගැනීමට හැකිවන්නේ කුමක් ද? මා දන්නා තරමින් ද්වෛධය යනුවෙන් ඉංගිරිසි duality යන්න පරිවර්තනය කළ නො හැකි ය. මගේ නොදැනුම්කම නිසා දෝ මම ද්වෛධය යනු කුමක් දැයි නො දන්නෙමි. මේ වන තුරු අමරතුංග මහතා හෝ ධනපාල මහතා හෝ එය විස්තර කර දී නැත.  ද්වෛධයක් ගැන කීමෙන් පසු අමරතුංග මහතා ඒ ඡෙදයෙහි ම ඊළඟ වාක්‍යයෙහි ශක්තිය හා කාලය ගැන ලියයි. ශක්තිය හා කාලය ඊනියා ද්වෛධයක් ද? අපි පසුව මෙය වැඩිදුරටත් සාකච්ඡා කරමු. 

එයට පළමු ධනපාල මහතාගේ ලිපියෙහි ඉහත සඳහන් වාක්‍යයට පසුව ඒ ඡෙදයෙහි ම ඇති වාක්‍ය කිහිපයක් සලකමු. “නලින් ද සිල්වා මහතා E=mc2 බව සඳහන් කරමින් මෙවැනි ද්විත්වයක් නොමැති බව කියයි. සිල්වා මහතා ගේ මතය අනුව එක ම ශක්තියක් (E) ඇති මූල අංශු දෙකකට එක ම ස්කන්ධයක් (m) තිබිය යුතු ය. මෙය සම්පූර්ණයෙන් වැරැදි ය. එක ම ශක්තියක් ඇති ඉලෙක්ට්රොඅනයක්, ප්රොඅටෝනයක් (proton) සහ ෆොඅටෝනයක් (photon) වෙනස් ස්කන්ධයන් ඇති අංශු බව ද, ෆොඅටෝනයට ස්කන්ධයක් නැති බව ද අපි දනිමු. මෙවැනි නොමඟ ගිය දේ කියන සිල්වා මහතා අමරතුංග මහතාට ගැරහිය නො යුතු ය”

මගේ මතය අනුව එකම ශක්තියක් ඇති මූල අංශු දෙකකට එකම ස්කන්ධයක් තිබිය යුතු යැයි ධනපාල මහතා නිගමනය කර ඇත. ඔහු ඒ නමනයට පැමිණියේ කිනම් අවබෝධයකින් ද?  ඔහුට අනුව මා නොමඟ ගිය  දේ කියයි. මා දැන් නොදන්නේ මා ධනපාල මහතාගේ අවබෝධ ශක්තිය ගැන කුමක් කිව යුතු ද යන්න ය. ඔහු කියනු ඇත්තේ මා ඔහුට ද ගරහන බව ය. විශේෂ සාපේක්‍ෂතාවාදය අනුව යම්කිසි අවස්ථිති සමුද්දේශ රාමුවක මැනෙන අංශුවක ස්කන්ධය m= m0 (1-v2/c2)1/2 යන්නෙන්   දෙනු ලැබෙයි. මෙහි ම0 යනු අංශුවෙහි නිශ්චලතා ස්කන්ධය වෙයි. අප E = mc2        හි කතාකරන්නේ යම් අවස්ථිති සමුද්දේශ රාමුවක අංශුවෙහි ස්කන්ධය මිස එහි නිශ්චලතා ස්කන්ධය නො වේ. ධනපාල මහතා නොමඟ ගොස් ඇත්තේ m යන්න නිශ්චලතා ස්කන්ධය ලෙස ගැනීමෙනි. සාමාන්‍යයෙන් නිශ්චලතා ස්කන්ධය m0 ලෙස ලියවෙන බැවින් ධනපාල මහතාගේ අවුලට හේතුව කුමක් ද?   (මතු සම්බන්ධයි) 

නලින් ද සිල්වා

2015 මාර්තු 11