Main Logo

Wednesday 18 March 2015

මෛත්‍රිපාල ශ්‍රි ල නි පක්‍ෂයට දෙන නායකත්වය

මෛත්‍රිපාල ශ්‍රි ල නි පක්‍ෂයට දෙන නායකත්වය

මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි ප රැස්වීමක දී ආයාචනයක් කර ඇත. ඒ ආයාචනය කාහට යන්න පැහැදිලි ව කියා නැතත් අපට සිතන්නට ඇත්තේ ඒ මහින්ද රාජපක්‍ෂට බව ය. ඒ ගැන කතාකිරීමට පළමුව ශ්‍රී ල නි පක්‍ෂයට සම්බන්ධ රැස්වීම් බොහෝමයක් පදනම් ආයතනයේ දී පැවැත්වෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය නොඅසා ම බැරි ය. අද එහි ප්‍රධානියා ඉන්දියාවේ පශ්චාත් උපාධියක් ලබා ඇත්තෙකැයි කියැවෙයි. ඔහු කොටි සංවිධානයට එරෙහි මානුෂික මෙහෙයුම් පිළිබඳ ව ඉන්දීය දෘෂ්ටි කෝණයකින් පොතක් ලියා ඇති බව නම් මම දනිමි. මෛත්‍රිපාල සිරිසේන, චම්පික රණවක, කරුණාරත්න පරනවිතාන, රතන හිමි ආදීන් ඒ පොත කියවා ඇත් දැයි නො දනිමි. 


ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන කියා ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරීමෙන් පසුව මහින්දට ඒ කරගෙන යෑමට ඉඩ දී අයින් වූ බවත් තමාට ද එසේ පක්‍ෂයේ සභාපතිකම කරගෙන යෑමට ඉඩ දීය යුතු බවත් ය. එයින් ගම්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ මෛත්‍රිපාලට ප්ක්‍ෂයේ සභාපතිකම කරගෙන යෑමට ඉඩ නොදෙන බව ය. මේ කතාව ඇත්තක් ද? මෛත්‍රිපාල තවමත් කියන්නේ ඔහු ඇමතිවරයකු ව සිටිය දී ඇමතිකමේ වැඩ කටයුතු කරගෙන යෑමට ඉඩ නොදුන් බව ය. මේ වැඩ බැරි අයකුගේ දුක් ගැනවිල්ලක් පමණක් ද?

මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම පික්පොකට් ගැසූ තැනැත්තෙකි. මහින්ද රාජපක්‍ෂ තම දේශපාලන ජීවිතයේ කළ වඩාත් ම වැරදි දෙය නම් පක්‍ෂයේ සභාපතිකම අත්හැරීම බව අපි කිහිප විටක් ම කියා ඇත්තෙමු. ඔහු දැන්වත් පක්‍ෂයේ සභාපතිකම පක්‍ෂ සම්මේලනයක් මගින් ලබාගත යුතු ය. මහින්ද රාජපක්‍ෂ නැතිව ශ්‍රී ල නි පක්‍ෂයට පැවැත්මක් නැත. ඔහු නොමැතිව ශ්‍රී ල නි ප මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔවුන්ට දෙමළ ජාතික සංධානයට තරම්වත් ආසන සංඛ්‍යාවක් නො ලැබෙනු ඇත. එවැනි පසුබිමක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී   සංඛ්‍යාව අතින් හතරවැනි තැන ලබාගන්නේ කවු ද යන්න පිළිබඳ ව ශ්‍රී ල නි පක්‍ෂයට ජ වි පෙරමුණ සමග තරග කිරීමට සිදුවනු ඇත. 

පක්‍ෂ නායකත්වය පික්පොකට් ගැසූ මෛත්‍රිපාල අද ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වයක් නො සපයයි. ඔහු කිසි දිනෙක ජාතික නායකයෙක් නො වී ය. ඔහු වැඩිම වුවහොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකයා විය. අඩුම තරමෙන් රජරට පක්‍ෂ නායකයා වීමටවත් ඔහුට නො හැකි විය. එවැනි පසුබිමක් සහිත අයකුගෙන් ශ්‍රී ල නි පක්‍ෂයට බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද? ඔහු කිසි දිනෙක ශ්‍රී ල නි පක්‍ෂයේ හෝ සංධානයේ හෝ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා නොගැනෙනු ඇත. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්කරනු ලැබුයේ ඇමරිකන් හා එංගලන්ත ඔත්තු සේවාවල අනුග්‍රහය ලැබූ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හා ඔවුන්ගේ සිංහල ඒජන්තයන් විසිනි. එයට අවසානයේ දී රනිල්ගේ ද අනුමැතිය ලැබිණි. දුර්වලයකු වූ මෛත්‍රිපාල අද මෙහෙයවනු ලබන්නේ රනිල් විසිනි. මහින්ද නොවන්නට මෛත්‍රිපාල රනිල් විසින් මු්‍රළුමනින් ම මෙහෙයවනු ඇත. මහින්ද මෛත්‍රිපාලට බලපෑම් නො කරයි. එහෙත් මෛත්‍රිපාලට මහින්ද නොසලකා කටයුතු කිරීමට නො හැකි ය. ඒ බව වසාගැනීමට මෛත්‍රිපාල තමාට පක්‍ෂ සභාපතිත්වය කරගෙන යෑමට ඉඩ නොදෙන්නේ යැයි මැසිවිලි කියයි.

මහින්ද වරදක් වුවත් සිය කැමැත්තෙන් ම පක්‍ෂ සභාපතිකම අත්හැරියේ ය. එහෙත් චන්ද්‍රිකා එසේ කළේ නැත. මහින්දට පක්‍ෂ නායකත්වය ලබා ගැනීමට තරමක සටනක් කිරීමට සිදුවිය. එහෙත් චන්ද්‍රිකාට සියල්ල හකුළා ගෙන යෑමට සිදුවිය. ඒ මහින්දගේ පෞරෂය හේතුකොට ගෙන ය. මෛත්‍රිපාලට එවැනි පෞරෂයක් නැත. එයට මහින්ද වරදකරුවා නො වේ. අද කැබිනට් මණ්ඩලය මෛත්‍රිපාල නැතිව ද රැස්වෙයි. මේ කැබිනට්ටුව රනිල්ගේ කැබිනට්ටුවක් මිස මෛත්‍රිපාලගේ කැබිනට්ටුවක් නො වේ. ජාතික හෙළ උරුම නායකයෝ දේශපාලන තොත්ත බබාලා මෙන් හදිසියේ ම මෙය එ ජා ප ආණ්ඩුවක් බව වටහා ගනිති. සිංහලයන් පාවා දුන් බලලෝභී කුහක ජා හෙළ උරුමය ජාතික ව්‍යාපාරයේ හතර මායිමට වද්දා නොගත යුතු ය. ඔවුන්ට මෝදිගේ ව්‍යාපාරයේ නම් තැනක් ඇත. 

විනිමය වංචාවක් පිළිබඳ නඩුවක් ඇති රවි කරුණානායක මුදල් ඇමති ලෙස පත්කෙරුනේ මෛත්‍රිපාල විසිනි. අද රවි කරුණානායක තම අමාත්‍යාංශයට වග කිව යුතු නියෝජ්‍ය විනිමය පාලක ලවා තමා වරදකරුවකු නො වේ යැයි කියවා ගන්නේ ද? නඩු විභාගය අවසන් වන තුරු රවි කරුණානායක ඇමති ධුරයෙන් ඉවත් කිරීමට මෛත්‍රිපාලට නො හැකි ය. ඒ රනිල්ගේ නායකත්වය මෛත්‍රිපාලට පිළිගැනීමට සිදු වී ඇති බැවිනි. 

මහා බැංකුවේ යමපාලනය යටතේ සිිදු වී ඇති යහදූෂණය ගැන සෙවීමට කමිටුවක් පත්කර ඇත. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වනු ඇතැයි කියැවෙයි. ඒ කෙසේ වෙතත් මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු පුරවැසියකු බව කියැවෙයි. ඔහුට හදිසියේ ම ශ්‍රී ලංකා පුරවැසි කමක් දවිත්ව පුරවැසි පනත යටතේ ලබා දී ඇත. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට නොහැකි යැයි කියන රනිල් එවැන්නන් මහා බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට උපදෙස් දෙන්නේ කෙසේ ද? එහෙත් එයටත් වඩා පුදුමය නම් අර්ජුන් මහේ්න්ද්‍රන් තමා වංචා පරීක්‍ෂණය නිමවන තෙක්  මහා බැංකුවේ අධිපතිකමෙන් නිවාඩු ගන්නා බව දන්වන්නේ අගමැතිට වීම ය. රනිල් අගමැති මිස ජනාධිපති හෝ මුදල් ඇමති හෝ නො වේ. එහෙත් ඔහු ක්‍රියාකරන්නේත් අර්ජුන්ලා කටයුතු කරන්නේත් රනිල් ජනාධිපති ලෙස සලකමිනි. 

මෛත්‍රිපාලට රටටවත් ශ්‍රී ල නි පක්‍ෂයටවත් නායකත්වය දිය නො හැකි බව පැහැදිලි ය. ඔහු පසුගිය දා එංගලන්තයට ගියේ ය. එලිසබෙත් හා කැමරන් තම ගැත්තාට දැක්වූ සැලකිල්ලෙන් ඔහු උද්දාමයට පත් වී ඇත. වාර්තාවන අන්දමට ලංඩනයේ පැවැත්වූ රැස්වීමක දී මුලිකත්වය ගෙන ඇත්තේ මෛත්‍රිපාල නොව ඇමති ස්වාමිනාදන් හා අසාද් අලි ය. රැස්වීමට සහභාගි වූ ඇතැම් සිංහලයන්ට තමන්ට නායකයකු නැත යන හැඟීම මෛත්‍රිපාලගේ හැසිරීමෙන් ලැබී ඇත. එක් එක් අයට චෝදනා නොකර මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ල නි ප’ක්‍ෂයට හා රටට නායකත්වය දිය යුතු ය.

නලින් ද සිල්වා

2015 මාර්තු 18