Main Logo

Saturday 21 March 2015

දහනවය හමස් පෙට්ටියට

දහනවය හමස් පෙට්ටියට

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට කණකෙකා හඬළන බව පැහැදිලි ය. එයට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් පාර්ලිමේන්තුවේ දී ලබාගත නො හැකි ය. එබැවින් අද එය අකුළා ගැනීමට රනිල් වික්‍රමසිංහට සිදු වී තිබේ. එහෙත් රනිල් පරාජය වී ඉවත්වන්නකු නොවන බව අපි දනිමු. තිස්වතාවක් පමණ පෑරදුණු නමුත් ඔහු තවමත් එ ජා පක්‍ෂයේ නායකයා වෙයි. ඔහු සමග සංසන්දනය කිරීමේ දී සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය වැන්නෝ දේශපාලන ළදරුවෝ වෙති. 


දහනවය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇත. ඔහුට ඇත්තේ එකම එක අභිප්‍රායකි. ඒ තම අතට විධායක බලතල ලබාගැනීම ය. විධායක බලතල අහෝසි කිරීම ඔහුගේ අරමුණ නො වේ. ඔහුට අවශ්‍ය විධායක බලතල මෛත්‍රිපාල සිරිසේනගෙන් තමන් අතට ගැනීමත් මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම ඉවත්කර හැකිනම් ඔහුට දඬුවම්කර ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීමත්, දෙමළ ජාතිවාදයට අවශ්‍ය ආකාරයට බලතල විමධ්‍යගත කිරීමත් ය. මෛත්‍රිපාල සිරිසේන ගෙදර හැරිය හැකි නම් රනිල් වික්‍රමසිංහ එය ද කරනු ඇත. ඒ බටහිරයන්ගේ ද අභිප්‍රාය වෙයි. 

මෛත්‍රිපල නොදැන සිටියාට ඔහුට එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා ද ඩේවිඩ් කැමරන් මෝටර් රථය ළඟට ම පැමිණ ද අතට අත දී ඇත්තේ ඔහුට කරන ගෞරවයක් ලෙස නොව ඔහු සුද්දන්ට කර ඇති සේවය මතක් කර දී ඔහුගෙන් තව තවත් වැඩ ගැනීමට ය. රනිල්ට විධායක බලතල පැවරීම හා දෙමළ ජාතිවාදයට කප්පන් දීම ඔහු ලවා කරවා ගැනීමට, විශේෂයෙන් ම එංගලන්තයට අවශ්‍ය වෙයි. මෛත්‍රිපාල යනු සුද්දන්ට කල් මැරීම සඳහාත් යම් යම් වැඩ කිහිපයක් කර ගැනීම සඳහාත් පත්කර ගන්නා ලද තාවකාලික ජනාධිපතිවරයෙකි. ඔවුන්ගේ නියම විධායකයා රනිල් වික්‍රමසිංහ ය.

රනිල්ගේ සැලැස්ම හැකි ඉක්මණින් විධායක බලතල තමා අතට ගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා එහි ප්‍රතිඵල අනුව ඉදිරි මාවත සකස් කර ගැනීම ය. යම් අයුරකින් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය මගින් නව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හැකි නම් එක්කෝ රනිල් මෛත්‍රිපාලට දෝෂාභියෝගයක් ගෙනැවිත් ගෙදර යවා හෝ නැතිව හෝ  නාම මාත්‍රික ජනාධිපතිවරයකු ඇතිව  තමන් විධායක අගමැති ලෙස රට පාලනය කරනු ඇත. නැතහොත් නැවතත් විධායක ජනාධිපති ධුරයක් ඇතිකර පාර්ලිමේන්තුවෙන් විධායක ජනාධිපති වී (අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනවලින් පසුව) රටේ පාලනය අතට ගනු ඇත. නව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් නො ලැබුනහොත් වෙනත් දහනවවැනි සංශෝධනයක් මගින් වත්මන් පාර්ලිමේන්තුවේ ඇතිකෙරෙන විධායක අගමැති ධුරයේ වැඩ කටයුතු කරනු ඇත.

රනිල් නීත්‍යානුකූල ව පත් වූ අගමැතිවරයකු නො වේ. ඔහු ව්‍යවස්ථාවට පටහැණි ව අගමැති වී ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වයට රනිල් නීත්‍යානුකූල අගමැති නොවන බව නො තේරෙයි. අද කළ යුතු ප්‍රධාන ම කාර්යය නම් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් සම්මත කර වෙනත් අගමැතිවරයකු පත්කර ගැනීම ය. එහෙත් ඒ නිමල් සිරිපාලවත්, රාජිතවත්, චම්පික රණවකවත් වෙනත් එවැනි බටහිර හෝ ඉන්දීය හෝ ගැත්තකු නො වේ. 

රනිල් අගමැති ව සිටින තාක් කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ශ්‍රී ල නි ප එකඟ විය යුතු නො වේ. කළ යුත්තේ හැකි ඉක්මණින් පාර්ලදමේන්තුව විසුරුවා හැර මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් සංධානය මැතිවරණය තරග කිරීම ය. වෙනත් විකල්පයක් ශ්‍රී ල නි පක්‍ෂයට හා සංධානයට නැත. ඒ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරි මාවත තීරණය කෙරෙනු ඇත. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කිනම් ආකාරයකට වුවත් හමස් පෙට්ටියට දැමිය යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 21