Main Logo

Monday 9 March 2015

සිංහල ජාතිකත්වය වෙනුවෙන් (ඉරිදා දිවයින ලිපියකි)

සිංහල ජාතිකත්වය වෙනුවෙන්

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මතුවීමට තිබුණේ සිංහල ජාතිකත්වය ය. අපි ඒ බව සංධානයට කීවෙමු. එහෙත් එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූවෝ අවසන් සතිය දක්වා ම ජාතිකත්වය අමතක කළහ. ඒ අතර සිදුවූයේ ජාතිකත්වය අමතක කර ඊනියා දුෂණය ගැන කතාකිරීමට එ ජා ප ප්‍රචාරකයන් ඉදිරිපත් වීම ය. අවුරුදු තුනකට වැඩි කලක් තිස්සේ එ ජා ප මේ ප්‍රචාරය ගෙන ගොස් තිබිණි. එහි දී ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ  (සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය ඇති කළේ එංගලන්තය වුවත් අද එය මෙහෙයවන්නේ ඇමරිකාව ය) බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සහාය නොමඳ ව ලැබිණි. ඉන්දියාවේ උගත් රෝ ඔත්තු සේවයට වැඩ කරන සිංහලයෝ මෙහි දී විශේෂයෙන් යොදාගනු ලැබුණහ. මේ එකකු මා හමුවීමට ද පැමිණියේ කොටින්ට විරුද්ධව රණවිරුවන් කළ මෙහෙයුම් ඔහු ඉන්දීය දෘෂ්ටි කෝණයකින් විස්තර කර ලියූ පොතක් ද රැගෙන ය. කළ යුතු පරිද්දෙන්ම මම ඔහු ගෙදරින් එළවා ගත්තෙමි.  


සිංහල ජාතිකත්වය හා සිංහල බෞද්ධ චින්තනය විස්තර කරන ලිපි ඉදිරියේ දී තව තවත් ලිවීමට බලාපොරොත්තුවෙමි. එහෙත් කිව යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් කෙසේ කීව ද සිංහලයන්ගේ ඡන්දවලින් 65%ක් හෝ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් හෝ ගත්තේ නම් මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණය ජයගැනීමට තිබුණු බව ය. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද එය දැන සිටියහ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ 65% ඡන්දය අඩුකිරීම ය. ඒ සඳහා ඔවුහු වෙනසක් අවශ්‍යය, දූෂණයට එරෙහි විය යුතු ය, ඊනියා සාධාරණ සමාජයක් බිහිකළ යුතුය, ඊනියා යහපාලනයක් ඇතිකළ යුතු ය, ඊනියා පිවිතුරු හෙටක් උදාකළ යුතු ය ආදී සිහින ඡන්දදායකයා, විශේෂයෙන් ම තරුණ ඡන්දදායකයා හමුවේ තැබූහ. එහි දී ඔවුහු, විශේෂයෙන් ම බටහිරයෝ , සයිබර් අවකාශය යොදාගත්හ.

ජ වි පෙරමුණේ මිනීමැරුම්, බටලන්ද, වයඹ පළාත් සභා ඡන්දය, වෝටර්ස් එජ් ආදී කිසිවක් ගැන පමණක් නොව කොටි බෝම්බ ගැන ද නොදත් තරුණ තරුණියෝ ජාතිකත්වය පිළිබඳ අවබෝධයක් නැතිව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්හ. මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබුණේ දළ වශයෙන් සිංහලයන්ගේ ඡන්දයෙන් 58%කි . එය 65%ට වඩා අඩු විය. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය වූයේ 65%, 58% දක්වා අඩුකිරීම ය. අද ඉන්දීය ඔත්තු සේවයේ පදනම් නැති ඊනියා පඬියෝ එය තවත් අඩුකිරීමට ශ්‍රී ල නි පක්‍ෂය නොමග යවති. 

ශ්‍රී ල නි පක්‍ෂය බණ්ඩාරනායක මහතාගේ නිර්මාණයක් නො වේ. එය සිංහල ජාතිකත්වයේ නිර්මාණය ය. බණ්ඩාරනායක මහතා බිහි කළේ බටහිර අච්චුවේ ලිබරල් පක්‍ෂයකි. ඒ මහතා ඩඩ්ලි සේනානායක මහතා ආදීහු බටහිර අච්චුවේ පැරණි ලිබරල්වාදීහු වූහ. 1951 දී බිහි වූ ශ්‍රී ල නි ප සිංහල ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වූයේ මින්නේරිය අතුරු මැතිවරණය ආසන්නයේ දී ය. 1952 මැතිවරණයේ දී ල ස ස පක්‍ෂයට වඩා ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වූ ශ්‍රී ල නි ප සිංහල රාජ්‍ය භාෂාව කළ යුතුය යන යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු මින්නේරිය අතුරු මැතිවරණය ජයගත්තේ ය. 1956 දී විප්ලවකාරී සමසමාජ පක්‍ෂය හා තවත් පක්‍ෂ කිහිපයක් සමග එකතු වී ම එ පෙරමුණ පිහිටුවා මැතිවරණය ජයගෙන ආණ්ඩුවක් ද පිහිටුවේ ය. 

පක්‍ෂය පිහිටුවා අවුරුදු පහකින් ශ්‍රී ල නි පක්‍ෂයට (එය ප්‍රධාන සංධානයකට) ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වීම සුළු පටු කරුණක් නො වේ.  ජ වි පෙරමුණට දැන් වයස පනහ ද පැන ගොස් ය. ල ස ස ප, කො ප ආදී පක්‍ෂවලට අවුරුදු හැත්තෑවට වඩා වැඩි ය. ජාතික හෙළ උරුමයට ජනතා තරුණයෝ කාලයේ සිට ගණන් බැලුවහොත් අවුරුදු විසිපහක් පමණ වෙයි. මෙයින් පෙනෙන්නේ ශ්‍රී ල නි ප හා සිංහල ජාතිකත්වය අතර ඇති සම්බන්ධය ය. බටහිරයෝ ඒ බව දනිති. ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්ව ප්‍රතිපත්ති වෙනස් කිරීමට  කිහිප වතාවක් ම ඔවුහු උත්සාහ කළහ. 

ශ්‍රී ල නි පක්‍ෂය හා සිංහල ජාතිකත්වය අතර කිසිම වෙනසක් නැතැයි මම නො කියමි. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග ලවා සිංහල ජාතිකත්වයට එරෙහි වූ විවිධාකාර ගණවල මාක්ස්වාදියෝ ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්ව ප්‍රතිපත්ති නැතිකිරීමට උත්සාහ කළහ. එහෙත් එය අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඔවුන්ගේ ඔත්තු සේවාවල සේවකයෝ ද ශී්‍ර ල නි පක්‍ෂය ජාතිකත්වයෙන් ඉවත් කිරීමට උත්සාහ කරති. අද ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වය නැති කිරීමට උත්සාහ කෙරෙන්නේ ඊනියා යහපාලනය, සාධාරණ සමාජය, විභීෂණය ආදී සංකල්පවලට මුවා වී ය. එහි දී මෛත්‍රිපාල සිරිසේන මහතා යොදා ගැනීමට ඔවුහු උත්සාහ කරති. ජාතිකත්වය ඇත්තේ ඇඳුමෙහි නොව යටත්විජිතවාදයෙහි, ඉන්දියානු කලාපීය ආධිපත්‍යයෙහි ඉත්තකු නො වීමෙහි ය. ඇතැම් විට ඊනියා විභීෂණ යනු රාවණගේ භීෂණයකට විරුද්ධව රාමලා ඉදිරිපත් කළ සංකල්පයක් මත ගොඩ නැගූ රාවණගේ සහෝදරයකු විය හැකි ය. විභීෂණගෙන් පසු ලංකාවට (එය කුමක් වුවත්, කොහේ තිබුණත්) සිදු වූයේ කුමක් ද? අද මෙරට සිදුවන දෙයින් අපට ඉතිහාසය වෙනත් අයුරකින් විස්තර කිරීමට ඉඩක් ලැබී ඇත.    

අද ශ්‍රී ල නි ප සිංහල ජාතිකත්වය හැර යෑමෙහි ඉඩක් ඇත. එසේ වුවහොත් සිංහලයන් ඉතා සුළු කලකින් ම සිංහල ජාතිකත්වයේ පක්‍ෂය ලෙස එක්කෝ වෙනත් පක්‍ෂයක් බිහි කරනු ඇත. එසේත් නැතහොත් ජාතිකත්වයේ සංධානයක් ගොඩනගනු ඇත. එවිට ශ්‍රී ල නි ප අභාවයට යෑම වැළැක්විය හැකි නො වේ. ඒ ගොඩනගන පක්‍ෂය ජාතික හෙළ උරුමය ය යන පාපී සිතිවිල්ල ඇතිකර ගත යුතු නො වේ. 

ජාතිය, ජාතිකත්වය, ජාතිකවාදය ආදිය ගැන ඊනියා ශාස්ත්‍රීය වශයෙන් කතාකිරීමට ගිය තැන මෙරට පඬියෝ බටහිර බුද්ධිමතුන් ඒ සම්බන්ධයෙන් ගොඩනගා ඇති ප්‍රවාද, සංකල්ප ආදිය යොදා ගනිති. එ ඔවුන්ට බටහිරයන් උගන්වා ඇති ආකාරයට ය. මෙරට පාසල්වල, විශ්වවිද්‍යාලවල උගන්වන්නේ බටහිර මතවාද ය. බටහිර විද්‍යාවට මුවා වී ඇදුරෝ බටහිර දැනුම මෙරට ප්‍රචලිත කරති. බටහිර විද්‍යාව ඊනියා වාස්තවික දැනුම් පද්ධතියක් ලෙස හඳුන්වනු ලැබෙයි. එහෙත් බටහිර විද්‍යාව යනු සාපේක්‍ෂ දැනුම් පද්ධතියක් බවත් ඒ නිර්මාණය වී ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි බවත් තේරුම් ගැනීමටවත් මෙරට අනුකාරක උගතුන්ට විවේකයක් නැත. 

මේ අනුකාරකයන්ගෙන් ඉතා වැඩි පිරිස බෞද්ධයෝ වෙති. ඒ ඇතැම්හුූ දෙමළ ජාතිවාදයට ද විරුද්ධ වෙති. එහෙත් ඔවුන්ට බුදුදහම ගැන ඇත්තේ මෞර්යයන්ගෙන් හා බටහිරයන්ගෙන් ලැබුණු දැනුමකි. ඔවුන්ගේ බුදුදහම ද වාස්තවික වෙයි. තමන්ගන් බාහිර ව වාස්තවික ව පවතින ලෝකයක් ගැන මේ බෞද්ධයෝ විශ්වාස කරති. බුදුන් වහන්සේ ඒකාන්තව නිරීක්‍ෂකයාගෙන් බැහැර ව ලෝකයක් ඇති බව දේශනා කර ඇති සූත්‍රයක් උපුටා දක්වන මෙන් මම ඔවුන්ගෙන් ඉල්ලමි. එහෙත් ඒ සමග සංදර්භය ද සඳහන් කළන යුතු ය. බුදුන් වහන්සේගේ දේශනා සංදර්භයෙන් ස්වාධීන නො වේ. සුද්දන්ගේ අධ්‍යාපනයෙන් නොමග ගොස් ඇති බොහෝ සිංහල බෞද්ධයෝ සංදර්භයෙන් ස්වායත්ත වූ බුදුදහමක් ගැන කතාකරති. ඔවුහු සුද්දන් පසුපස ගොස් සංදර්භයෙන් පිට ගොස් බුද්ධ වචනය සාධාරණීකරණයට ලක්කර අඳුරේ අතපත ගාමින් වාස්තවික බුදුදහමක් සොයති. 

එ අතර තවත් සමහරු සිංහලකමෙන් තොර බෞද්ධකමක් ගැන කතා කරති. ඔවුහු ඕල්කට් බෞද්ධයෝ වෙති. ඔවුන්ට සිංහල ජාතිකත්වයක් නැත. ඒ අතර භික්‍ෂූන් වහන්සේ ද වෙති. ඕල්කට් බෞද්ධයෝ ද වාස්තවික බෞද්ධයෝ වෙති.් එහෙත් සිංහල ජාතිකත්වයෙහි ඇත්තේ සිංහල බුද්ධාගමකි. සිංහල ජාතිකත්වය වෙනුවෙන් අද කිරීමට ඇති ප්‍රධාන කාර්යයක් නම් බටහිර දැනුමෙහි වෙස් මුහුණ ගලවා දැමීම ය. බටහිර දැනුම බටහිර විද්‍යාවේ ආධිපත්‍යය මත රැඳෙයි. බටහිර විද්‍යාව වෙනත් සංස්කෘතියක නිර්මාණය වී ඇති බවත් එය පට්ටපල් බොරුවක් බව දැන ඉගෙන ගත යුතු බවත් සිංහල ජාතිකත්වයේ නාමයෙන් සිංහල බෞද්ධයකු ලෙස මතක් කළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 08