Main Logo

Sunday 8 March 2015

විග්නේස්වරන්ගේ දෙමළ ජාතිය

විග්නේස්වරන්ගේ දෙමළ ජාතිය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු පළාතට ගිය අවස්ථාවේ දී එහි මහා ඇමති විග්නේස්වරන් ජනාධිපති හා වෙනත් අය අමතා කළ කතාවක කියා ඇත්තේ මෙරට දෙමළ ජනයා වෙන ම ජාතියක් බව ය. මෙය අලුත් කතාවක් නො වේ. චෙල්වනායගම් නාගනාදන් ආදීහු අවුරුදු හැත්තෑවකට පමණ පෙර ද මේ කතාව කීවෝ ය.
එයට පෙර අරුණාෂලම්ලා ද රාමනාදන්ලා ද සුන්දරලිංගම්ලා ද ඒ වචනවලින් ම නොවූවත් ඒ අදහස ප්‍රකාශ කළහ. 1976 වඩුකොඩෙයි සම්මේලනයේ දී ඒ කතාව යෝජනාවක් ලෙස සම්මත කෙරිණි.

විග්නේස්වරන් උතුරු පළාතේ මහා ඇමති ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇතැම්හු ඔහුගේ උගත්කම, විදග්ධභාවය, පෞරුෂය, සත්‍යගරුකබව ආදී වශයෙන් ගුණ ගැයූහ. ඇතැම් ඊනියා උගත් සිංහලයෝ ද එයට එකතු වූහ. ඔවුන්ට අනුව විග්නේස්වරන් කොළඹ හැදී වැඩී සිංහලයන් ගැන දත්තෙකි. ඔහුට උසස් පාසල් අධ්‍යාපනයක් ලැබී ඇත. ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවෙක් විය. ඔහු අනෙක් බොහෝ දෙමළ දේශපාලනඥයන්ට වඩා වෙනස් ය ආදී වශයෙන් නගරවල හැදුණු වැඩුණු සිංහලයන්ගෙන් ඇතැම්හු විග්නේස්වරන් ගුණ ගැයුහ. 

එහෙත් මේ බොහෝ අය අමතක කළ කරුණක් වූයේ පැරණි දෙමළ දේශපාලන නායකයන්ගෙන් ද බොහෝ් දෙනා කොළඹ උගත් අය බව ය. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් දේශපාලන වශයෙන් බෞතීස්ම කරනු ලැබුයේ ම දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදා ගනිමිනි. සාමාන්‍ය දෙමළ ජනයාට දෙමළ ජාතිවාදයක් නො තිබුණේ ය. දෙමළ ජාතිවාදය තිබුණේ ම ප්‍රභූ වෙල්ලායන්ට ය. ඔවුන් අතරින් ද ඉංගිරිසි උගතුන්ට ය. ඔවුන්ට තිබූ ප්‍රශ්නය වූයේ රටේ නායකත්වය තමන් අතට ගැනීම ය. රටේ ජනගහනයෙන් ඊනියා ලාංකික දෙමළ ජනයා  සියයට දහයක් පමණක් වුවත් ඉංගිරිසි උගතුන් අතර දෙමළ ජනයා බහුතරය විය. මේ බහුතරය ඉංගිරිසින් විසින් අධ්‍යාපනය මගින් ඇති කරන ලද්දකි. 

ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ රටේ නායකත්වයට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් පත්කිරීම ය. දෙමළ ප්‍රභූන්ට තමන් සිංහලයන්ට වඩා උසස් ය යන හැඟීම විය. මේ අදහස් ඉංගිරිසින් විසින් මෙන් ම දකුණු ඉන්දියාවේ දෙමළ කතොාලික උගතුන් විසින් ද පෝෂණය කෙරිණි. දෙමළ ජාතිවාදයේ න්‍යායික නායකත්වය මුල දී සැපයුනේ වත්මන් තමිල්නාඩුවේ දෙමළ කතෝලික පූජකවරුන් අතිනි. අදත් ලංකාවේ ඒ සම්ප්‍රදාය දිගට ම පැවැත්වෙයි.

විග්නේස්වරන් ඉතා පැහැදිලි ව ම දෙමළ ජාතිවාදියෙකි. ඔහු තමා කොළඹ දී ලැබූ අධ්‍යාපනය හා ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරකම තම දෙමළ ජාතිවාදය වසා ගැනීමට යොදා ගනියි. එහෙත් අපට නම් ඇත්තේ ඔහු ලබා දුන් විනිශ්චය පිළිබඳ ප්‍රශ්නයකි. විග්නේස්වරන් පොන්නම්බලම් අරුනාෂලම්ගෙන් වෙනස් නො වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අරුනාෂලම් විග්නේස්වර්ගෙන් වෙනස් නො වේ. අරුනාෂලම් මෙරට ප්‍රථම ලාංකික නීතිපති වූ බව ද ඔහු ඒ තනතුරට පත්කරන ලද්දේ ඉංගිරිසින් විසින් බව ද අමතක නොකළ යුතු ය. 

1833 සිට පැවති දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදයක් බවට පත්වූයේ දෙමළ නායකයන් සිංහල බහුතරය හමුවේ සර්වජන ඡන්දයෙන් පසු රටේ නායකත්වයට පත්විය නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු ය. සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා නාගනාදන්ලා කරළියට පැමිණියේ ඉන් පසු ය. ඔවුහු ද ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ උගත්තු වූහ. දෙමළ බෙදුම්වාදය යුක්තියුක්ත කෙරුණේ ඊනියා දෙමළ ජාතිය, ස්වයංනීර්ණ අයිතිය ආදී සංකල්ප යොදා ගනිමිනි. 

එහෙත් මෙරට ජාතික ව්‍යාපාරයට මේ දෙමළ ජාතිවාදී අදහස පරාජය කිරීමට හැකි විය. පසුව දෙමළ බෙදුම්වාදය මත පදනම් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ අපේ රණවිරුවන්ට හැකි විය. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර පඬියන් තේරුම් නොගත්ත ද එහි දී  පංචෙන්ද්‍රිය ගෝචර නොවන බලවේගවල ශක්තිය ද අපේ හමුදාවන්ට ලැබිණි. දෙමළ ජාතිවාදීහු පසුබැස්සෝ ය.

එහෙත් අද සිංහල ජාතිකත්වය තරමක් පසු බැස ඇත. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට සියලු විජාතික (දේශීය හා විදේශීය) බලවේග එකතු විය. දෙමළ ජාතිවාදය අද නැවතත් ඉදිරියට පැමිණ ඇත. විග්නේස්වරන් ඊනියා දෙමළ සංහාර ගැන පළාත් සභාවේ යෝජනා සම්මත කර ගනියි. ඒ අතර ජනාධිපති ඉදිරියේ දී ම වෙන ම දෙමළ ජාතියක් ගැන කතා කරයි. මේ නැවතත් දෙමළ ත්‍රස්තවාදයට පසුබිම සකස් කිරීමකි. චෙල්වනායගම් නොවන්නට ප්‍රභාකරන් නැත. එහෙත් ඇතැම් සිංහලයන් ද සිතන්නේ චෙල්වනායගම් සාන්තුවරයකු වූ බව ය. එහෙත් ඔහු සිංහලයන් කෙරෙහි වෛරී දේශපාලනයක නිරත විය. 

නැති දෙමළ ජාතියක් ගැන කතාකිරීමෙන් විග්නේස්වරන් කරන්නේ වැඩි කලක් නොගොස් ම ප්‍රභාකරන් කෙනකු ඇති කිරීම ය. මෙරට තබා ඉන්දියාවේවත් (භාරතයේවත්) කිසි දිනෙක දෙමළ ජාතියක් තිබී නැත. එකල වත්මන් දකුණු ඉන්දියාව් චෝල, චේර පාණ්ඩ්‍ය ආදී වාංශික රාජ්‍ය පමණක් තිබී ඇත. එහෙත් වාංශික රාජ්‍ය තිබූ පමණින් දෙමළ රාජ්‍ය තිබිණි යැයි කිව හැකි නො වේ.  ලංකාවේ ඉංගිරිසින්ට විරුද්ධව දෙමළ නායකයන් කළ සටනක් නැත. දෙමළ ජනයා කිසිවක් කර නැත. මෙරට දෙමළ වෙල්ලාල ප්‍රභූන් කර ඇති එකම කාර්යය ඉංගිරිසින්ගේ බළල් අතක් ලෙස සිං්හල ජාතිකත්වයට එරෙහිව ක්‍රියා කිරීම පමණකි. අද අවශ්‍ය වන්නේ බටහිරයන්ට හා යටත්විජිතවාදයට විරුද්ධව සිංහලයන් සමග එකතු වී කටයුතු කළ හැකි දෙමළ නායකත්වයකි. එය කිසි දිනෙක විග්නේස්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අතින් සිදු නො වේ.    

නලින් ද සිල්වා

2015 මාර්තු 08