Main Logo

Sunday 8 March 2015

අස්කළ යුත්තේ කාවද?

අස්කළ යුත්තේ කාවද?

පසුගිය 6 වැනි සිකුරාදා නුවර පවත්වන ලද රැස්වීමට සහභාගි වූ ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන්ට නිසි දඬුවම් දිය යුතු බව රාජිත සේනාරත්න පවසයි. ඔහුට අනුව අදාළ මන්ත්‍රීන් පක්‍ෂයෙන් අස්කළ හැකි ය. එහෙත් බේරුවල ශ්‍රී ල නි ප මහජන නියෝජිතයකු පවසා ඇත්තේ අස්කළ යුත්තේ රාජිත බව ය. 


ඒ මහජන නියෝජිතයා පවසන්නේ ඇත්තකි. එක් පැත්තකින් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ල න ි ප ශාඛා සමිතිවලට නිල වශයෙන් මධ්‍යම කාරක සභා තීරණය දන්වා නැත. ඔහු එය මාධ්‍යවලට නිකුත් කර ඇත. එහෙත් කිසිම පාක්‍ෂිකයකු ජනමාධ්‍යයෙහි පළවන දේ අනුව තීරණ ගන්නේ යැයි සිතිය නො හැකි ය. රජයේ ඇමතිවරයකු මෙන් ම මාධ්‍ය ප්‍රකාශක ද වූ යාපා මහතා ඒ බව නොදන්නේ යැයි සිතිය නො හැකි ය. මාධ්‍ය ප්‍රකාශක කී පමණින් මෙරට රාජ්‍ය දෙපාර්තමේන්තුවල කිසිවක් නො සිදුවෙයි. අදාළ චක්‍රලේඛ නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියකු මාධ්‍යවල පළවන කරුණු අනුව ක්‍රියාත්මක නොවන බව යාපා මහතා දැන සිටිය යුතු ය.

ශ්‍රී ල න ි ප මහජන නියෝජිතයන්ට මධ්‍යම කාරක සභා තීරණය නිල වශයෙන් දන්වා නොමැති බව අපට පිළිගත හැකි ය. එසේ නම් නුවර රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් කිසි වරදක් කර නැත. කිසි විනය නීතියක් කඩා නැත. එහෙත් මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න ආදීන් ගැන කිව හැක්කේ කුමක් ද? 

ඔවුහු ශ්‍රී ල න ි පක්‍ෂයේ ද ශ්‍රී ල නි ප නායකත්වය දැරූ සංධානයේ ද ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂට වැඩ කළෝ ද? මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට විරුද්ධව වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ම තදබල වරදකි. රාජිත ආදීහු පක්‍ෂයේ හා සංධානයේ තීරණයට විරුද්ධව කටයුතු කළහ. ඔවුන්ට දුන් දඬුවම කුමක් ද?

ශ්‍රී ල න ි පක්‍ෂයේ නිවට නායකයන් කිහිප දෙනකු නොවන්නට මෛත්‍රිපාල රාජිත ආදීන් පක්‍ෂයෙන් අස්කළ යුතුව තිබිණි. ඔවුහු පක්‍ෂයට ද්‍රෝහි වූහ. එහෙත් පක්‍ෂයට ද්‍රෝහි වූවෝ අද පක්‍ෂයේ සභාපතිකම උපසභාපතිකම් දරති. එසේ උපසභාපතිකමක් දරණ රාජිත පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කරන ලෙසට බලකරන රැස්වීමකට සහභාගි වූ පමණින් මහජන නියෝජිතයන් අස්කරන ලෙස ඉල්ලයි. 

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල න ි පක්‍ෂයට ද්‍රෝහි වී නැත. එ ජා පක්‍ෂයට ගොස් ආපසු පැමිණ පක්‍ෂයේ උප සභාපති වූ අය මෙන් කටයුතු කර ද නැත. එසේ නම් පක්‍ෂයට ද්‍රෝහි නොවු ද ඡන්ද පනස්අට ලක්‍ෂයක් ගත්තා වූ ද මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලන රැස්වීමකට මහජන නියෝජිතයන් සහභාගි වීම තහනම් කිරීමට ගත් තීරණය ම වැරදි ය. 

අද මේ තීරණ ගන්නේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් යැයි රාජිත කියන්නේ ද? මේ තීරණ ගන්නේ යම් ආකාරයක බියක් මධ්‍යම කාරක සභා සාමාජිකයන් තුළ ඇති කිරීමෙනි. රාජිතලාගේ යහපාලනය එය විය හැකි ය. ශ්‍රී ල න ි පක්‍ෂය ද රට ද පක්‍ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනකුගේ හා පක්‍ෂයට ද්‍රෝහි වූවන් කිහිප දෙනකුගේ ආධිපත්‍යයට ගොදුරු වෙමින් පවතියි. එය දිගට ම කෙරී ගෙන ගියහොත් සිංහල ජාතිකත්වය ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත්වනු ඇත. 

නලින් ද සිල්වා

2015 මාර්තු 08