Main Logo

Tuesday 31 March 2015

ශ්‍රී ල නි ප ගුරු ගෝල කතාව (ඉරිදා දිවයින ලිපියකි)


ශ්‍රී ල නි ප ගුරු ගෝල කතාව

මේ ලිපිය ලියන්නේ රත්නපුර රැස්වීමට පෙර ය. රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුනට දඬුවම් කරන බව ශ්‍රී ල නි පක්‍ෂයේ නිලධාරීහු කියති. මෙවැනි ම වූ තර්ජනයක් මහනුවර පැවති රැස්වීමට පෙර ද කෙරිණි. එහෙත් තර්ජනය නොතකා මහජන නියෝජිතයෝ රැස්වීමට සහභාගි වූහ. එසේ සහභාගි වූවනට කළ දඬුවමක් ගැන අසන්නට නැත. යම් මණ්ඩලයකට නීති පැනවීමේ අයිතිය, දඬුවම් පැමිණවීමේ බලය ආදිය ලැබෙන්නේ එම මණ්ඩලයේ තීරණ මණ්ඩලයට යම් ආකාරයකට යටත්වන සාමාජිකයන් පිළිගන්නේ නම් පමණකි. අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය පක්‍ෂ සාමාජිකත්වය ය විසින් නො පිළිගැනෙයි. 


පාර්ලිමේන්තු මැතිවරණ නාමයෝජනා නම් දණ්ඩ පෙන්වා ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් යම් ප්‍රමාණයක් බිය වද්දා ගත හැකි ය. එහෙත් පළාත්සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් සඳහා ඒ දණ්ඩ කැඩී ඇති බව නායකයෝ නො දනිති.  අද ශ්‍රී ල න ි පක්‍ෂයේ නිවට නායකත්වය සමග ඇත්තේ දණ්ඩට බිය වූ මන්ත්‍රීන් කිහිප දෙනකු හා චන්ද්‍රිකාගේ පැකේජ් මන්ත්‍රීන් කිහිප දෙනකු පමණ ය. 

ශ්‍රී ල නි පක්‍ෂය කැඩුණේ අද ඊයේ නො වේ. එය කැඩුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දිනයෙහි ය.  එහෙත් පක්‍ෂය කැඩුවේ ඒ මහතා යැයි කීමට අප ඉක්මන් විය යුතු නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය කඩනු ලැබුවේ ඉන්දීය රෝ ඔත්තු සේවය මගිනි. එහි සිංහල නියෝජිතයෝ පදනම් ආයතනයෙහි, ඇතැම් ජාතික යැයි කියාගන්නා දේශපාලන පක්‍ෂවල මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයෙහි ද වෙති. අඩුම තරමෙන් ශ්‍රී ල නි ප උපසභාපතිවරයකු ඒ අතර දැකිය හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉන්දිය ඔත්තු සේවයේ නියෝජිතයකුවත් විය නො හැකි ය. ඔහු ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමේ දී යොදාගනු ලැබූ ඉත්තකු පමණ ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයෙහි ලේකම් ව සිටිය දී පැදුරටත් නොකියා පක්‍ෂය හැරදා ගියේ ය. එහි එතරම් වරදක් දැකිය හැකි නො වේ. ඒ මහතාට කැමති නම් පැදුරට කියා ගිය හැකි ය. නැත්නම් පැදුරටත් නොකියා ගිය හැකි ය. එය හුදෙක් ඒ මහතා හා පැදුර අතර තිබෙන සම්බන්ධය මත තීරණය වෙයි. ඉන්පසු ඒ මහතා කුමක්දෝ පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඔහුගේ සලකුණ හංසයා මිස බුලත් කොළය හෝ අත හෝ නො විණ. එහි ද වරදක් නො වී ය. ඒ ඔහුගේ කැමැත්ත ය. කැමැත්ත ගත්තේ මිලකට ද නැද්ද යන්න ද අපේ ප්‍රශ්නයක් නො වේ. එහෙත් අපි ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද මන්ත්‍රීවරුන් සිංගප්පූරු ගිය බව දනිමු. එහෙත් එය ද කැමැත්ත ය. ඔත්තු සේවාවල, සයිබර් අවකාශයේ පිහිටෙන් සිංහලත්වය අමතක කර ඊනියා යහපාලනය ඉදිරියට ගෙන ඒමෙන් විජාතික බලවේග ජයග්‍රහණය කළේ ය. එහි දී සිංහලත්වයට එරෙහි දෙමළ ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය ද යොදා ගැනිණි. 

ජනාධිපතිවරනයෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති විය. ඔහු සභාපති පදවියට පත්කර ගත්තේ කවු ද? ඔහු ජනාධිපතිවරණයේ දී තමා පක්‍ෂයට විරුද්ධව කටයුතු කිරීම ගැන පක්‍ෂයෙන් සමාව ගත්තේ ද? ශ්‍රී ල නි  පක්‍ෂ ව්‍යවස්ථාව අනුව පක්‍ෂයෙන් හෝ පක්‍ෂය ප්‍රධාන කොටගත් සංධානයකින් තරග කර ජනාධිපතිවරණයෙන් ජයගත් තැනැත්තකු පක්‍ෂ සභාපති පදවියට පත්කර ගැනෙයි. පක්‍ෂයට විරුද්ධව තරග කර ජනාධිපතිවරයකු වූ අයකුට පක්‍ෂ සභාපති පදවිය පිරිනැමෙන්නේ පක්‍ෂයේ කිනම් ව්‍යවස්ථාවකට අනුව ද?  

පක්‍ෂයට විරුද්ධව තරග කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට අයිතියක් තිබිණි. එහෙත් ඔහුට පක්‍ෂ සභාපතිත්වයට පත්වීමට නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නො තිබිණි. ඔහු පක්‍ෂ විනය කඩකර ඇත. විනය කඩකිරීමට ලජ්ජාවක් බියක් තිබිය යුතු නැති බව ඔහු ක්‍රියාවෙන් ම පෙන්වා දී ඇත. ගුරුවරයා හිටගෙන කරන විට ගෝලයෝ දුව දුව කරති යනුවෙන් කියමනක් වෙයි. එහෙත් මෙහි දී සිදුවන්නේ ගුරුවරයා දුව දුව කරන විට ගෝලයන් හිටගෙන කිරීමකි. ගෝලයන්ගේ විනය පැහැදිලි ව ම ගුරුවරයාගේ විනයට වඩා උසස් ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා මුල් ගුරුවරයා නම් ශ්‍රී ල නි පක්‍ෂයේ උපසභාපති ආදී තනතුරු දරන්නෝ උපගුරුවරු වෙති. උපගුරුවරුන්ගේ විනය ඇත්තේ දුවන මට්ටමේ ද නැත්නම් හිටගෙන මට්ටමේ ද? ශ්‍රී ල  නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඇත. අද ඊනියා ජාතික ආණ්ඩුවක් නැත. සමස්ත ලංකා කාරක සභාව මේ තීරණය ගැනීමේ දී ජාතික ආණ්ඩුවක් යනු කුමක් දැයි ඊනියා දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරීන්ගේ අදහස් විමසූ බවක් දැනගන්නට නැත. විමසුවත් කාරක සභාවට ලැබෙනු ඇත්තේ බටහිර බුද්ධිමතුන්ගේ අදහස් කිහිපයක් පමණකි. කෙසේ වෙතත් සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත්තේ එ ජා ප හා තවත් පක්‍ෂ කිහිපයක් සමග සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ය. 

එහි ද වරදක් නැතැයි කීමට අපට නො හැකි ය. ශ්‍රී ල නි පක්‍ෂයට එ ජා පක්‍ෂය සමග හවුල් ආණ්ඩුවක් තැනිය නො හැකි ය. ඒ පක්‍ෂ දෙක අතර  කෑ හැකි දීගයක් නැත. යා දෙක නොරත රත සමග පෑහීමක් නැත. එ ජා පක්‍ෂය යනු මෙරට බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පක්‍ෂය වෙයි. එය යටත්විජිතවාදී බටහිරයන්ට ගැති පක්‍ෂයකි. ඒ පක්‍ෂයෙහි නායකයෝ එදත් අදත් බටහිර ගැත්තෝ වෙති. ඔවුන්ට එලිසබෙත් වින්ඩ්සර් සමග අතට අත දීම ජීවිතයේ ලබාගත හැකි ඉහළම ඵලය ය. 

එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එය ජාතිකත්වයේ පක්‍ෂය වන්නේ එහි නායකයන් නිසා නො වේ. එහි සාමාජිකයන් හා අනුගාමිකයන් නිසා ය. ඔවුහු මූලික වශයෙන් යටත්විජිත විරෝධීහු වෙති. ඇතැම් ඊනියා මාක්ස්වාදීන්ට නොතේරෙන කරුණක් නම් එ ජා පක්‍ෂයේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ වෙනස ය. එයට හේතුව ඔවුන් පට්ටපල් බොරුවක් වූ ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදී පංති දෘෂ්ටි කෝණයකින් වෙනස විග්‍රහ කිරීම ය.  දේශ ීය ධනපති පංතිය, සුළු ධනේෂ්වරය ආදී සංකල්ප ව්‍යාජ පඬියන්ට කතා කිරීමට හොඳ මාතෘකා මිස සතපහකට වැඩක් ඇති සංකල්ප නො වේ. බොහෝ මාක්ස්වාදීන් යටත්විජිතවාදීන් වන්නේ පොත්වල ඇති සංකල්ප හා ප්‍රවාද ඇසුරෙන් මිස හදවතින් නො වේ. අවුරුදු දහස් ගණනක් මෙරට ස්වෛරිභාවය වෙනුවෙන් සටන් කර ඇති සිංහලයෝ සමස්තයක් ලෙස ගත්කල හදවතින් යටත්විජිත විරෝධීහු වෙති. 

ඔවුන්ගේ පක්‍ෂය එ ජා පක්‍ෂය සමග ගැට ගැසීම සමාව දිය නොහැකි වරදකි. ශ්‍රී ල නි ප සමස්ත ලංකා කාරක සභාව එ ජා පක්‍ෂය ද සමග සභාග ආණ්ඩුවක් පිහිටුවිය යුතු ය යන යෝජනාව සම්මත කර ගැනීමට මෙහෙයවූවෝ ජාතිකත්වය පාවාදුන්හ. අද දඬුවම් කළ යුත්තේ මුල් ගුරුවරයාට හා උපගුරුවරුන්ට මිස ගෝලයන්ට නො වේ. ගෝලයෝ භ්‍රි ල නි  පක්‍ෂය එ ජා ප සමග ඇතිකරගෙන ඇති අමන සම්බන්ධය කැඩීමට උත්සාහ කරති. එහි ඇති වරද කුමක් ද? අර පැරණි කියමන දැන් නැවතත් සංශෝධනය කළ යුතුව ඇත. මුල් ගුරුවරයා දුව දුව කරන දෙය උපගුරුවරු හිටගෙන කරති. ගෝලයෝ රෙදි ඇඳගෙන සිටිති.       

නලින් ද සිල්වා

2015 මාර්තු 29