Main Logo

Saturday 7 March 2015

රනිල් මෛත්‍රි ගැටුමක්

රනිල් මෛත්‍රි ගැටුමක්

අප්‍රියෙල් 23 වැනි දිනට පෙර (හැකි නම් මෛත්‍රිපාල සිරිසේන එංගලන්තයෙන් ආපසු පැමිණි වහාම) ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සැලැස්ම මූලික වශයෙන් ඉන්දියාවේ ය. එයට බටහිරයන්ගේ ද සහාය ලැබෙන බව පෙනෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සදහට ම ඉවත්කිරීම, ඔහුට දඬුවම් කිරීම, ඊනියා ජාත්‍යන්තර අධිකරණයකින් හැකි නම් මහින්ද දංගෙඩියට යැවීම ආදිය ය. මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය තම යටතට ගෙන පක්‍ෂයෙහි තම ආධිපත්‍යය පිහිටුවීම ය. ඔහුගේ තර්ජන ගර්ජන ඒ සඳහා ය. 


මෛත්‍රිපාලගේ හොඳම කැබිනට් සගයන් වනුයේ රාජිත හා චම්පික ය. ඔවුන්ට ද මහින්ද සමග බද්ධ වෛරයක් වෙයි. ඔවුහු මහින්දට දඬුවම් කිරීමේ සිහිනය දිවා රෑ දකිති. මොවුන්ගේ සැලැස්මේ (ඇත්තට ම කෞටිල්‍ය සැලැස්මේ) විකල්ප ගණනාවක් ඇත. අවශ්‍ය නම් ජනාධිපති බලතල රාශියක් අගමැතිට පවරා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෛත්‍රිපාල අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම ද එක් විකල්පයකි. එහෙත් එහි දී ජනාධිපති අස්විය යුතු ය. ඒ අතර කාලයේ රනිල් වැඩබලන ජනාධිපති විය හැකි ය. නියම සුබ හා යස නාටකය ඇරඹෙන්නේ එවිට ය. මේ සියල්ල මහින්ද අගමැති වීම වෑළැක්වීමට ය.

එහෙත් ජනාධිපති බලතල සංශෝධනය කිරීම පවා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සමග ගැටගැසීමට ශ්‍රී ල නි පක්‍ෂයේ වත්මන් නිවට නායකයෝ කටයුතු කරති. ඔවුන්ට කිසිම ආත්ම විශ්වාසයක් නැත. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ජ වි පෙ පමණක් නොව එ ජා ප හා ශ්‍රි ල නි ප වත්මන් නායකයෝ ද විරුද්ධ වෙති. එමෙන් ම ශී්‍ර ල නි පක්‍ෂයට ජනාධිපති බලතල නැති කිරීමට ද අවශ්‍ය නැත. අගමැති කමට ලෝබ වී පක්‍ෂය පාවාදුන්නකුට ඇති ප්‍රතිපත්තියක් නැත. ඔහු තම බලතල අත්හැරීමට එකඟ වනු ඇත්තේ මහින්ද අගමැති අපේක්‍ෂක වීම වැළැක්වීම සඳහා තමා ඒ තනතුරට ඉදිරිපත් වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට පමණ ය. 

ඔහුට ඊනියා ජාතික ආණ්ඩුව අවශ්‍ය වන්නේ එ ජා ප සිරකාර කමෙන් නිදහස් වීමට හා ඇමතිකම් ටිකක් විසිකර නිවට ශ්‍රී ල නි ප නායකයන් කිහිප දෙනකු මාර්ගයෙන් පක්‍ෂය තම යටතට ගෙන මහින්ද අගමැති ධුරයට ඉදිරිපත් වීම වැළැක්වීමට ය. අද තරම් මෙරට දේශපාලනය එක් පුද්ගලයකු (මහින්ද) වටා කරකැවුණු කාලයක් මෑත ඉතිහාසයේ තිබී නැත. රට අද බෙදී ඇත්තේ මහින්ද වටා ය. කොටසක් මහින්දට පක්‍ෂ වෙති. තවත් පිරිසක් විරුද්ධ වෙති. මේ බෙදීම යටත්විජිතවාදයට විරුද්ධ ද පක්‍ෂ ද යන්න මත පදනම් වෙයි. 

එහෙත් එ ජා ප හා ඔවුන්ගේ හොරණෑව වූ ජ වි පෙ ජාතික ආණ්ඩුවට විරුද්ධ ය. රනිල්ට එයට ප්‍රසිද්ධියේ විරුද්ධ විය නො හැකි ය. එහෙත් ඔහුගේ අදහස් අනුර කුමාර දිසානායකගේ කටින් පිටවෙයි. රනිල් හා අනුර ඇත්තේ ධනවාදියකු හා විප්ලවාදියකු (නමටවත්) අතර ඇති සම්බන්ධයක් නො වේ. රනිල් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරන්නේ අප්‍රියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉන්පසුව පත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ය. එහෙත් මෛත්‍රිපාලට , රාජිතට හා චම්පිකට අප්‍රියෙල් 23 වැනි දා ගැන වගේ වගක් නැත. ඔවුන් දැනටමත් දින සියයේ සිට ඊනියා වැඩ සියයට මාරු වී ඇත. ඔවුහු විවිධ කොන්දේසි දමමින් තව අවුරුද්දක් වත්මන් පාර්ලිමේන්තුව පවත්වා ගෙන යෑමට උත්සාහ දරති. 

මෛත්‍රිපාල හා රනිල් අතර ඇති වී තිබෙන ගැටුම රටට යහපත් ය. එබැවින් ම ඉන්දියාව හා එංගලන්තය මේ ගැටුම සමනය කිරීමට උත්සාහ දරනු ඇත. ඔවුන්ට අවශ්‍ය රටේ යහපත නො වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට බැවින් අද දින තුරුම්පු ඇත්තේ මෛත්‍රිපාල අත ය. එහෙත් ඉන්දියාවට හා එංගලන්තයට යම් විධියකට වෙනත් අවශ්‍යතාවක් වුවහොත් ඒ වෙනස් කළ හැකි බව අප අමතක නොකළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 07