Main Logo

Tuesday 13 June 2023

රනිල්ගේ ලයිට් හවුස් වර්ග ඵල හා තවත් දේ

 

රනිල්ගේ ලයිට් හවුස් වර්ග ඵල හා තවත් දේ

 

මට නම් ඉතිහාසය ගැන එතරම් දැනුමක් නැහැ. මගේ නිල ඉතිහාස දැනුම රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ පළමු වසරට සීමා වෙනවා. වසරේ පාසලේ ඉතිහාසය (කණිෂ්ඨ) ත්‍යාගය ලැබුණේ මට. එකල රාජකීය විදුහලේ සාමාන්‍ය පෙළ පළමු වසර හැඳින්වුනේ කණිෂ්ඨය කියා. ඉන් පසු මා බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ඉගෙන ගත්තේ සියලු විෂයන් මට ප්‍රිය මනාප වුනත් ගණිතයේ හා භෞතික විද්‍යාවේ මතක තබා ගැනීමට ඇති කරුණු අඩු වීමත් මගේ මතකය දුර්වල වීමත් නිසාත් ගණිතයට විශේෂ ඇල්මක් ඇති වූ නිසාත්.

 

සාමාන්‍ය පෙළට පෙර මගේ කැමැත්තක් තිබුණේ ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉගෙනීමට. එහෙත් අපට සාමාන්‍ය පෙළ වසරවල ගණිතය ඉගැන්වූ අරසරත්නම් මහතාගේ දක්‍ෂකමත් මගේ මතකයේ දුර්වලකමත් නිසා මා ඉතිහාසයෙන් නිල වශයෙන් සමුගත්තා. මා පසුව ගණිතය ඇසුරෙන් විශ්වයේ ඉතිහාසය හදාරා යම් ආකාරයක සතුටක් ලැබුවා. මා දන්නේ නැහැ අපෙන් පසුව හතරවැනි වසර රනිල් වික්‍රමසිංහගේ වසරේ දී කණිෂ්ඨ ඉතිහාස ත්‍යාගය දිනා ගත්තේ කවුද කියා. කොහොම වෙතත් මා ඔහුගේ ඉතිහාස දැනුම විතරක් නොවෙයි අංක ගණිත දැනුමත් ප්‍රශ්න කරනවා. මා ප්‍රශ්න කරන්නේ ඔහුගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් නො වෙයි. පඬි නැට්ටන්ට නම් ප්‍රතිචාරවලට ඉඩ නොතබා රනිල්ට ප්‍රශ්න යොමු කිරීම ප්‍රශ්නයක්. මට ඔවුන්ගේ බුද්ධිමය හැකියාව ගැන නම් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අසන්නේ සකර්බර්ග්ගේ දැන ගැනීම පිනිස. 

 

පඬි නැට්ටන් ඊනියා පංති විග්‍රහයෙන් මත් වී රනිල් රාජපක්‍ෂ කෙනකු කරනවා. ඔවුන් සමහරකුට අනුව රනිල් රාජපක්‍ෂලාගේ රූකඩයක්. එහෙත් අද රාජපක්‍ෂලාට රූකඩය නටවන්න බැරි බව පැහැදිලියි. ඔවුන්ට තමන්ට වුවමනා පරිදි ඇමතිකම් ආණ්ඩුකාරකම් ලබා ගැනීමටවත් බැහැ. රනිල් පක්‍ෂ කියන්න ඕන නම් පල්ලවපක්‍ෂ චෝලපක්‍ෂ ආදී නම් තියෙනවා. රනිල් නිතර මානවම්ම ගැන කතා කරන නිසයි පල්ලවපක්‍ෂ කියන්න පුළුවන්. වම්ම කියන්නේ වර්මන් කියන පල්ලව නමෙන් බිඳුණු එකක්.පල්ලවයන්ගෙ උදවුවෙන් තමයි මානවම්ම රජ වුනෙ. චෝල ගැන මා අමුතුවෙන් කියන්න ඕන නැහැ. චෝල ආක්‍රමණිකයා යටතේ කුරුන්දිය විනාශ මුඛයට ගියා.

 

කුරුන්දිය ගැන ගවේෂණයක්  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන හා විශ්වවිද්‍යාලවල (මොටාවල) මොට නොවී ඉන්න තවත් ආචාර්යවරුන් දෙදෙනකු වන සුමේධ වීරවර්ධන හා චන්දිම අඹේවෙල කරල තියෙනවා. මගේ දැනුම අනුව එහි ප්‍රතිඵල ළඟදී කෘතියක් ලෙස පළවීමට නියමිතයි. එතෙක් ඉන්න බැරි නම් දැනට ඔවුන් සමග අධ්‍යයන කටයුතුවල යෙදී ඇති නදීර හර්ෂජිත් දිසානායක මොටාවට නොව මෙටාවට ලියා ඇති ලිපිය කියවන්න පුළුවන්. අතර මා මෙහි ප්‍රතිචාර යටතේ සඳහන් කරනවා කුරුන්දි විහාරයේ වැඩ සිටින උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්ත බෝධි හිමියන්ගේ රූහඬ පටයක සබැඳිය. උන්වහන්සේත් නදීරත් මට වඩා මේ කරුණු දන්නවා. මේ ලිපිය ලියන්නේ දේශපාලන අර්ථයකින්. කුරුන්දිය අද දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වී තියෙනවා. කවුරු හරි පඬි නැට්ටකු අහයි දන්නෙ නැහැ මට දේශපාලනය කතා කිරීමට ඇති සුදුසුකම මොකක් කියල.

 

මා දන්නා තරමින් කුරුන්දි විහාරය කරවා තියෙන්නෙ සද්ධාතිස්ස රජුගේ පුතකු වූ ඛල්ලාටනාග රජු විසින්. අද ඊයේ නොව ක්‍රිස්තු පූර්ව වර්ෂවල. ඉන්පසු සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව පළමුවැනි අග්බෝ රජු සහ තවත් රජවරු පිළිසකර කර තියෙනවා. දැන් නම් ආණ්ඩුවලට පිළිසකර කරන්න ශක්තියක් නැහැ. කියන්නෙ එකල දැනට වඩා සමහර කරුණු අතින් හොඳයි කියන එක ? රනිල් කියන පොත්ථකූඨ ඇමති ඉඳලා තියෙන්නෙ හත්වැනි සියවසේ. විහාරය තනල අවුරුදු අටසීයකට විතර පස්සෙ. ඔහු අවසන් වරට රජ කරවල තියෙන්නෙ හත්ථදාඨ රජු. මානවම්ම හත්ථදාඨ රජුගෙන් පස්සෙ රජ වෙලා.

 

දැන් පොත්ථකූඨ කියන්නෙ දෙමළ නිලධාරියකු ලෙසයි කියැවෙන්නෙ. ඔහු හරි වෙන රජකු හරි හත්වැනි සියවසේ කුරුන්දිය කරවපු බවට සාක්‍ෂි නැහැ. මහාචාර්ය පද්මනාදන්ටවත් දෙමළ සෙල්ලිපියක්වත් හම්බ වෙලා නැහැ. කාලෙ දෙමළ අය ලංකාවෙ ඉඳලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නො වෙයි. ධාතුසේන රජුට ඉස්සර තමයි පළමු වරට චෝල ආක්‍රමණ යෙදිල තියෙනවා. ආක්‍රමණිකයන් එක්කෝ පසුව චෝල දේශයට ගියා (එකල තමිල්නාඩුවක් දෙමළ දේශයක් තිබුණෙ නැහැ.) නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුනා. ඒක මගේ සුසමාදර්ශයක් නො වෙයි. ජනයා සංස්කෘතීන්ට අවශෝෂණය වීම ගැන මා කියන සාධාරණ (පොදු) කතාවක්. කතාවට අවශ්‍ය තරම් සාධක මෙරටින් වුනත් හොයා ගන්න පුළුවන්. අපේ මුත්තා ථකුරත් දඹදෙණි යුගයේ රාජස්ථානය පැත්තෙන් ඇවිත් ඇමතිවරයකු සිට සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ කෙනෙක්. අවශ්‍ය නම් මහාවංසය කියවා බලන්න. අර දැක්කොත් පද්මාවතී කුමරිය ථකුර මුත්තගෙ දුවෙක්. පඬිනැට්ටන් සුසමාදර්ශය (paradigm)  කියන්නෙ මොකක් කියල දන්නෙ නැහැ. අවශෝෂණ කතාව සුසමාදර්ශයක් නො වෙයි.

 

දඹදිවින් පැමිණි අය සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වීමට පෙර සාංක්‍රමණික අවධියේ දෙමළ බෞද්ධ හරි තෙළිඟු බෞද්ධ හරි මලයාලම් බෞද්ධ හරි වෙන්න ඇති. එය ප්‍රශ්නයක් නොවෙයි. එහෙත් මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැහැ. මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල කියන විධියට මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන ඇති වුනෙ දොළොස්වැනි සියවසෙන් පස්සෙ. පොත්ථකූඨට සියවස් පහකට විතර පස්සෙ.

 

දෙමළ බෞද්ධයා කතාව පඬි නැට්ටන්ට ආකර්ෂණීයයි. දක්‍ෂිණ භාරතයෙ බුදුදහම පැතිරිල තිබුණෙ ආන්ද්‍ර ප්‍රදේශයේ. අද තමිල්නාඩුවෙ උතුරත් එකල ආන්ද්‍ර. ඉංගිරිසින් බෙදපු විධියට අපි අද තමිල්නාඩු ආන්ද්‍ර ප්‍රදේශ් කියනවා. බුද්ධඝෝෂ හිමියන් වැඩියෙත් ආන්ද්‍ර ප්‍රදේශයෙන්. උන්වහන්සේ ආන්ද්‍ර බෞද්ධ කියන්න පුළුවන්. 

 

එතකොට අර ප්‍රදීපාගාර හෙවත් ලයිට් හවුස් කතාව. රජවරු දාගැබ් බැන්දෙ නාවිකයන්ට ප්‍රදීිපාගාර ලෙස යොදා ගන්න නො වෙයි. එහෙත් කඳු මුදුන්වල බැන්ද දාගැබ් නාවිකයන් මග සලකුණූ ලෙස යොදා ගත්තා. පාර්ලිමේන්තුව තියෙන්නෙ නීති පනවන්න. ඒත් ඒක කෝලම් මඩුවක් හැටියට පාවිච්චි කිරීම නිසා පාර්ලිමේන්තුව හදල තියෙන්නෙ කෝලම් මඩුවකට කියන්න පාර්ලිමේන්තුවටවත් බැහැ.

 

මා අහල තියෙන විධියට සමනොළ කන්දත් (සමන් කුළ) එලෙස නාවිකයන්ට මග සලකුණක් ලෙස යෙදා ගෙන තියෙනවා. එය ඈතට පේනවා. මා දන්නෙ නැහැ කවුරු හරි සමනොළ කන්ද මැවුව නම් ඒ් ප්‍රදීපාගාරයක් ලෙස කියල. සමනොළ කන්ද කියන්නෙ කුළුපවුවක්. ඉංගිරිසියෙන් නම් rocky mountain. අප පසුගිය දා අපේ පුතකු ඉන්න කැනඩාවේ කෙටි සංචාරයක යෙදුනා. කැනඩාවෙ කුළුපවු නැත්නම් රොකී මවුන්ටන්ස් බලන්නත් ගියා. ඒවත් ඈතට පේනවා. කුළු කියල ගල්වලටත් කියන්න පුළුවන්. ඔය ගල් පතුරු කරන කුළු ගෙඩි ගැන හිතන්න. එහෙමත් නැත්නම් එකල දෙවිදත්තයා බුදුහාමුදුරුවන්ට ගල් පෙරළු ගිජු කුළු පවුව ගැන හිතන්න. අපි දඹදිව ගිය වෙලාවක කුළු පවුවත් දැක ගත්තා. පවුව කියන්නෙ පවු පුරව ගන්න තැනක් නොවෙයි.  මේ පවු කතා මට හිතෙන දේ පමණයි.

 

දැන් වර්ගඵලයට. මා වර්ගඵලය හොයන්න උගත්තෙ පාණදුරේ වෑකඩ ගමේ පාසලේ. රාජකීය ප්‍රාථමික පාසලෙත් උගන්නන්න ඇති. මා ඉගෙන ගත් වර්ගඵලය අනුව නම් මහාවිහාරයට අක්කර තුන්සීයකට වැඩිය තියෙන බව පේනවා. මා මැනලා නැහැ. ඒත් අක්කර සීයක් කියන ප්‍රමාණය හිතා ගැනීම අමාරු නැහැ. එකල රජවරු කිහිප වතාවක් රට සසුනට පූජා කරල තියෙනවා. රට පැත්තකින් තියන්න. සමහර ඉඩම් විහාරවලට පූජා කරල තියෙනවා. ඒවට සාක්‍ෂිත් තියෙනවා. දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය විධියට ඉතිහාසයවත් මායිම්වත් වෙනස් කරන්න බැහැ. කුරුන්දියේ වපසරිය ගැන මට හැඟීමක් නැහැ. මා එහි ගිහින් නැහැ. ලංකාවට පැමිණි විගස කුරුන්දියට යන්න ඕන. බාරයක් තියෙනවා ඔප්පු කරන්න. ඒකට අවසර ගන්න ඕන කියල දන්නෙ නැහැ. බාරෙ මොකට කියල අහන්න එපා. 


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Ffb.watch%2Fl6uMn4YRkn%2F%3Fmibextid%3D2Rb1fB%26fbclid%3DIwAR1hQzvFrn6kJp8kMaERVh39HR4-YXKMUAa8FabYCVukg9ji2UgVUwIWjCI&h=AT1IOPF3ziSzk954vV-V4oBX7sv0HBQpvNRgznDtR-SqR-RG9zlZwZegQqi5bmwTO3vmyVf0zdz9brIsgZoiBw4L-7qd7K4KZHxPLxafIl__YBXhFHXVTjJbE-qaT9wjg1RfBvGK9LNavUxjjVjdPw&__tn__=R]-R&c[0]=AT2yDyLYW3BHZV25cnSUzNAXLLF93qtJ_nXQJrWo6JW0rbSZkJrZNFMSFyn44KVV7ffumpMba4YNVXqvLW-pHqAW_Ez_Do1wSnba5vNR5Mq3s10dLbazhxnV5j--U9vKc9gTDkuJ2FgBbbSk2l0ZaA48Ib2HNw7ooC-OMEdw4qHz6Am_LmJpmh-ewiE9EmIZZ2k_yw