Main Logo

Tuesday 27 June 2023

බුදු හාමුදුරුවන් කසිකබල් දාර්ශනිකයකුවත් විද්‍යාඥයකුවත් නොවෙයි

 

බුදු හාමුදුරුවන් කසිකබල් දාර්ශනිකයකුවත් විද්‍යාඥයකුවත් නොවෙයි     

 

මා මේ දිනවල ජීවත් වෙන සිලිකන් මිටියාවතේ ගෙදර සිට ටික දුරක් ගිය විට ස්ටැන්ෆරඩ් විශ්වවිද්‍යාලය හමු වෙනවා. ඉන් ටිකක් එහා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බර්ක්ලි මණ්ඩපය තියෙනවා. විශ්වවිද්‍යාල දෙකේ ඉතා ඉහළ ගණයේ භෞතික විද්‍යාඥයන් විශ්වවේදීන් කිහිප දෙනකු ඉන්නවා. ඔවුන් සමග සන්සන්දනය කළා බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මා අඟුටුමිට්ටෙක්. පසුගිය දා මිත්‍රයෙක් මට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ  මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ වෙබ් පිටපත එවා තිබුණා. එහි බොහෝ දේ අඩංගුයි. එහෙත් සතපහක වටිනාකමක් නැහැ. කිසිම අලුත් අදහසක් නැහැ. අයින්ස්ටයින් කතිරය (Einstein Cross)  පිළිබඳ මූලික ගණනය කිරීම් එහි තියෙනවා. එමෙන් වස්තුවක භ්‍රමණය වන දිශාව මාරු වීම ගැනත් ගණනය කිරීමක් තියෙනවා. එහෙත් එකක්වත් මගේ අදහස්වලින් ලබා ගත් ප්‍රතිඵල නො වෙයි. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය පිළිබඳ හිතළු තහවුරු කරන දේ පමණයි.

 

කලින් සඳහන් කළ විශ්වවිද්‍යාල දෙකේ කිහිප දෙනකුත්, ලෝකයේ කිවුවට බටහිර රටවල කිහිප දෙනෙක් අලුත් අදහස් ඉදිරිපත් කර තියෙනවා. ඔවුන් විශ්වයේ ත්වරණ සහිත ප්‍රසාරණය ක්වොන්ටම් අංශු ගැන අදහස් පළ කර තියෙනවා. ක්වොන්ටම් කතා බෝර්ගෙන් පසු හුඟක් වෙනස් වෙලා. දැන් කෝපන්හේගන් විවරණය ගැන කියන්නේ නැහැ. අංශු ගැන කතා කරන්නෙත් නැහැ. තරංගයක් එක විට විචිධ අවස්ථාවලින් තිබෙන බවත් මැනීමේ දී ඉන් එක් අවස්ථාවකට පමණක් පත් වෙන බවත් කියනවා. එහෙත් එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්නෙ නැහැ. පැටළුණු අංශු (entangled particles)  ගැනත් කියනවා. අංශුත් තරංග හැටියට තමයි කියන්නෙ. එකට නිපදවෙන තරංග.  අපි අංශු කියමු. එකට නිපදවෙන අංශු දෙකක් විශ්වයේ අනෙක් අංශු සමග අන්තර්ක්‍රියාවක නොයෙදෙනා තාක් දෙක සමග පමණක් පැටලී තියෙනවා කියනවා. වෙනත් අංශුවක් සමග අන්තර්ක්‍රියාවක් ඇති වූ සැණින් අර පැටලීම නැති වෙලා අංශු දෙකක් ලෙස වෙන වෙන පවතිනවා. එවිට අංශු විශ්වයේ අනෙක් අංශු සමග පැටලිලා!

 

මේ අදහස් එහෙම නැත්නම් හිතළු ඉදිරිපත් වෙන්නෙ බොහෝ විට යුදෙවුවන් අතින්. ලෝකයේ යුදෙවුවන්ගේ සංඛ්‍යාව සිංහලයන්ගේ සංඛ්‍යාවට වඩා ටිකක් වැඩි ඇති. එත් සිංහලයන්ගෙන් තබා සමස්ත ඉන්දියානුවන්ගෙන්වත් එවැනි අදහස් එපමණට ඉදිරිපත් වන්නෙ නැහැ. මගේ මතකයට එන්නේ බෝස්, රාමන් හා චන්ද්‍රසේකර් පමණයි. බෞද්ධයන්ගෙන් එවැනි අදහස් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ආසියාවේ මුස්ලිමුන්ගෙන් අප දන්නේ සලාම් පමණයි. එහෙම වෙන්නෙ කොහොමද?

 

ප්‍රශ්නයට මා දී ඇති පිළිතුර චින්තන වෙනස යන්නයි. මට අදහස් ලැබෙන්නේ වෙනත් ක්‍ෂෙත්‍රයක. බටහිර විද්‍යාව ගැන අපට යම් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වුණත් හිතළුවක් ඉදිරිපත් කර ගන්න බැහැ. අප හිතන්නේ වෙනත් චින්තනයක වෙනත් සංස්කෘතියක. අද සිංහල බෞද්ධයන් ලෝකයේ ඉහළ විශ්වවිද්‍යාලවල ඉන්නවා. ඔවුන්ට පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඔවුන් අලුත් හිතළු ඉදිරිපත් කරන්නේ නැහැ. සමහර විට තව පරම්පරා දෙක තුනකින් ඔවුන්ගෙන් පැවත එන්නන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ යම් සංස්කෘතියකට අවශෝෂණය වුණු පසු අලුත් හිතළු ඉදිරිපත් කරාවි.

 

ඔය බටහිර කවුරුත් කරන්නෙ විශ්වය මොකක් එය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එකට හිතළු ඉදිරිපත් කිරීමක්. ඔවුන් යම් යථාරථයක් පිළිගන්නවා. යථාර්ථය මොකක් කියා දැන ගැනීමටයි ඔවුන් වෙහෙසෙන්නෙ. සඳහා හිතළු ඉදිරිපත් කිරීමට මට බැහැ. මා අදාළ චින්තනයේ නො වෙයි. එහෙත් මගේ චින්තනයේ, මගේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මා දන්නා දෙයක් තියෙනවා. මා සංස්කෘතිය හා දැනුම පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්නේ චින්තනයේ හා සංස්කෘතියේ.

 

ලෝකයේ බටහිර විද්‍යාඥයන් යථාර්ථයක් ඇතැයි උපකල්පනය කර ගෙන (එය උපකල්පනයක් පමණයි) විස්තර කිරීම සඳහා හිතළු ඉදිරිපත් කරද්දී මට කියන්න පුළුවන් වෙලා තියෙනවා අප කරන්නේ හිතළු ඉදිරිපත් කර ලෝකයක් (විශ්වයක්) නිර්මාණය කිරීම පමණක් කියා. අප ලෝකය තේරුම් ගන්නවා නොව ලෝක නිර්මාණය කරනවා. ඊනියා යථාර්ථයත් තවත් හිතළුවක් පමණයි. එය තහවුරු වෙනවා කියාත් කාට හරි හිතන්න පුළුවන්. එහෙත් යථාර්ථය හැමදාමත් වෙනස් වෙනවා. පසුගිය සියවසේ මුල තිබූ කෝපන්හේගන් විවරණයට අනුව නොවෙයි දැන් ඊනියා යථාර්ථය විස්තර කරන්නෙ. යථාර්ථයත් වෙනස් වෙලා. වෙන විධියකට කියනවා නම් අප එක එක යථාර්ථ නිර්මාණය කරනවා. අභිසංස්කරණය කරනවා.

 

මේ ඊනියා දැනුම් සියල්ල මායාවන් පමණයි. මට එය කියා දුන්නේ බුදුහාමුදුරුවන්. මායාවන් කියන්නෙ අවසානයේ දි බොරු කියන එකයි. වෙනත් විධියකට කියනවා නම් දැනුම කියන්නෙ අප අවිද්‍යාව නිසා සංස්කරණය කරන දේ. බටහිර විද්‍යාවත් අපේ අවිද්‍යාව නිසා සංස්කරණය කර ගත් බොරු ටිකක් පමණයි. මා දැනුම මායාවක් කියන්නෙ නැතුව බොරු කියනවා. වියුක්ත දැනුම්වලට පට්ටපල් බොරු කියනවා.

 

අනෙක් සියල්ලන්ම, දාර්ශනිකයන් විද්‍යාඥයන් එකී මෙකී නොකී විද්වතුන් ලෝකය (විශ්වය) තේරුම් ගැනීමට උත්සාහ කරද්දී බුදුහාමුදුරුවන් ලෝකය මායාවක් කියා දේශනා කළා. විශ්වය කියන්නෙ අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳ අවිද්‍යාව නිසා අප සංස්කරණය කරන්නක්. හිස් බව (ශූන්‍යය) අප විවිධ දැනුම් මගින් පුරවනවා කියන්නත් පුළුවන්.

 

බුදුහාමුදුරුවන් කසිකබල් දාර්ශනියකුවත් විද්‍යාඥයකුවත් වෙනත් විද්වතකුවත් නො වෙයි. අසමසම උන්වහන්සේ අපට හිස් බව කියා දුන්නා. හිස් බව මැද ජීවත් වන්නේ කොහොමද කියා දේශනා කළා. උන්වහන්සේ ගැන කියන්න ඉතිපි සො ගාථාව මදි කියා මට හිතෙනවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් මට ඇත්තේ භක්තියක් කියා. මා උපතින් ගෙනා බෞද්ධකමක් නොවෙයි මට ඇත්තෙ. මාත් බටහිර දැනුම පස්සෙ ගිය කාලයක් තිබුණා. මා දෙවැනි වර බෞද්ධයකු වුණෙ විමසීමෙන් පසුව. මා බැතිමතෙක් නොව සැදැහැවතෙක්.