Main Logo

Monday 26 June 2023

දේශීය ණය හා ජාමුල

 

දේශීය ණය හා ජාමුල

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක ඉක්මණින් කරන්න කියල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුල) කියලා. සමහර විට සඳහා පාර්ලිමේන්තුව සති අන්තයක රැස්වෙන්නත් ඉඩ තියෙනවා. බැංකු දින කිහිපයක් වහන්න වෙනවා කියනවා. ඒත් දැන් රට ගිය අවුරුද්දෙ තිබුණට වඩා හොඳය කියල රනිල්ගෙ හිතවතුනුත් පොහොට්ටුවෙ හා සමගි ජන බලවේගයෙ සමහරුත් කියනවා. වි පෙ කියන්නෙ මොකක් කියල දැන ගන්නවත් අවශ්‍ය නැහැ. චම්පකගෙන් අහන්න තියෙන්නෙ ඊළඟ පක්‍ෂය හදන්නෙ කවද ඒකෙ නම මොකක් කියල පමණයි.

 

මේ නන්දලාල් වීරසිංහ රට බංකොළොත් කියල පිළිගත්තට පස්සෙ සිද්ධ වෙන දේ. ඔහු තම කැමැත්තට ස්වාධීන රට බංකොළොත් කිවුව වෙන්න බැහැ. ගෝඨාභයගෙ කීමකට ප්‍රකාශය කළා වෙන්නත් බැහැ. ඔය ප්‍රකාශ පිටුපස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි රනිල් වික්‍රමසිංහ හිටිය කියල අපට දැන ගන්න ලැබෙන්නෙත් නැහැ. ඒත් අනිවාර්යයෙන් ජාමුල ඉන්නවා. අවුරුද්දක පමණ වේලෙ හිටන් අප වැඩ කරන්නෙ බටහිරයන් හා ඉන්දියාව කියන විධියට. ජාමුල එහි නියෝජිතයා පමණයි.

 

මේ ආණ්ඩුව ගත්තු ණය. ආණ්ඩුව කිවුවට රජය ගත්තු ණය. මෙහි රජය කියන්නෙ රාජ්‍යය කියන එකට මිසක් ආණ්ඩුව කියන එකට නො වෙයි. රජය විදේශවලින් ණය අරන් තියෙනවා. ඉතා වැඩි පොළියටත් ණය අරන් තියෙනවා. විශේෂයෙන් යහපාලන කාලෙ. ස්වෛරී බැඳුම්කරත් තියෙනවා. ඒවා ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම දැන් කාලයක ඉඳන් කෙරී ගෙන යනවා. මත ජාමුල අපට සොච්චමක් දීල ණය හැටියට. අපට දැන් තවත් ණය ගන්න පුළුවන්. ඒත් ණය ගෙවන්නේ කොහොමද කියන එක ගැන කතාවක් නැහැ. ඔය කිවුවට මස්ක් තියා තරමක ධනහිමියකුවත් ආයෝජනය කරන්න මෙරටට එන්නෙ නැහැ.

 

අපට මස්ක් තියා මස්කටුවක්වත් නැහැ. ඥානකටු නම් ලැබෙනවා. බටහිර විද්‍යාවෙ තියෙන්නෙ වැඩ කරන හිතළු කිවුව බොහෝ දෙනාට කේන්ති යනවා. ඔවුන් හිතන්නෙ බටහිර විද්‍යාව සත්‍යය හරි සත්‍යයට ළඟා වෙනවා හරි කියල. ඊනියා යථාර්ථය දැන ගනීවි කියල.   අපට බටහිර විද්‍යාවෙ හිතළු නැහැ. ඔවුන් එහෙම කිවුව හිනහාවෙනවා. ඒත් ඔවුන්ට බටහිර විද්‍යාවෙ හිතළුවක් ගොතපූ සිංහලයෙක් පෙන්නන්න බැහැ. බටහිර ඊනියා ස්වාභාවික විද්‍යා පැත්තකින් තියන්න. බටහිර ආර්ථික විද්‍යාව වැඩ කරනවා ? ඒකෙ හිතළු වැඩ කරනවා ? එකක් හරි ගස්සන විට වෙන තැනකින් පුපුරනවා. ජාමුල කියන්නෙත් වගේ හිතළු.

 

අපේ මූලික ප්‍රශ්නය අපට බටහිර ඥානකටු හදන්න බැරි එක. අපට පූළුවන් ඥානකටු ලෙවකන්න පමණයි. අවුරුදු දෙසීයක පමණ කාලයක අප එක ඥානකටුවක් හදල නැහැ. අවුරුදු දෙසීයක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. මේ අවුරුදු දෙසීය තුළ අප සතපහකට වැඩක් නැති මධ්‍යම පංතියක් නම් බිහි කරල තියෙනවා. මේ මධ්‍යම පංතිය මධ්‍යම වෙන්නෙ ධනයෙන් නො වෙයි. බටහිර අධ්‍යාපනය හේතු කොටගෙන මධ්‍යම පාංතික ආකල්ප අති විශාල පිරිසකට ඇති කරල තියෙන නිසා. ඔවුන් හිතන්නෙ ඔවුන් තාර්කිකයි විද්‍යාත්මකයි කියල. ඔවුන් දියුණුව කියල හිතන්නෙ අධිපරිභෝජනය එහෙමත් නැත්නම් අධිශක්ති පරිභෝජනය. පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම. අනික් මිනිහට වඩා වියදම් කිරීම.

 

අප ජාමුල දෙන ඥානකටුත් ලෙව කනවා. බොහොම ආශාවෙන් ලෙව කනවා. ජාමුල කියන විධියට අපි දැන් නටන්න ඕන. අද අප පාලනය කරන්නෙ ඇමරිකන් තානාපතිනිය, බිරිතානි මහා කොමසාරිස් හා ඉන්දීය මහා කොමසාරිස්. දැන් මේ ලැහැස්ති වෙන්නෙ රජය දේශීය වශයෙන් ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ප්‍රතිව්‍යුගත කරනවා කියන්නෙ ණය ගෙවන දිනය කල් දැමීම. පොලිය අඩු කිරීම, සමහර විට ණය කපා හැරීම ආදිය. විදේශීය වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ ණය ලබාගත් අයත් සමග සාකච්ඡා කරල. එහි දී ණය හිමියා මිස ණය කාරයා නොවෙයි වැදගත් වෙන්නෙ.

 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙත් එහෙම ? එහෙම නැත්නම් ඒක පාර්ශ්වික ? කියන්නෙ ණය කාරයා කියනවා මා ණය ගෙවන්නෙ අහවල් දිනේට. මා පොලිය අඩු කර ගන්නවා. ණය ප්‍රමාණයත් අඩු කරනවා. මා සම්පූර්ණ මුදල ගෙවන්නෙ නැහැ. ගෙවන්නෙ මෙච්චරයි. ගෙවන්නෙ අහවල් දිනේට.මට තේරෙන විධියට දේශීය ණය සම්බන්ධයෙන් ණය හිමියාට වඩා ණය කාරයා බලවත්. නන්දලාල් වීරසිංහ  කියනවා පොලිය අඩුවෙන්නෙ නැහැ කියල. අඩුවෙන්න දෙයක් නැහැ. සති කිහිපයක ඉඳන් අඩු වෙලා. ඒත් ඔය බැඳුම්කරවලට එහෙම මොනව වෙන්න යනවද කියල ලබන මාසෙ මුල තමයි දැනගන්න ලැබෙන්නෙ.

 

ආණ්ඩුව ජාමූලට අවශ්‍ය තවත් දේ කරාවි. රාජ්‍ය වියදම් කපා හරින්න තව තවත් දේ කරාවි. රාජ්‍ය සේවය කප්පාදු කරාවි. හමුදා සෙබළ සංඛ්‍යාව අඩු කරාවි. සුබසාධන අඩු කරාවි. රාජ්‍ය දේපොළ විකුණාවි. සියල්ල කරල කියාවි රනිල් දක්‍ෂයෙක් කියලා. ඕවා කරන්න බෑරි කාට ? ඔය ඔක්කොම කරල ඡන්ද තියන්න බැරි වේවි. ඊට කලින් ජනමත විචාරණයක් තියන එක නෙ කරන්න ඕන.