Main Logo

Thursday 29 June 2023

ජාතික ගීය බුද්ධියට යට කිරීම

 

ජාතික ගීය බුද්ධියට යට කිරීම

 

ඇතැමුන් හිතන්නේ තමන් මහා ප්‍රාඥයන් බව. මෙටාවෙ හා මොටාවෙ ඔවුන් දැක ගන්න පුළුවන්. සමහරු දෙකේ ඉන්නවා. මෙහි ප්‍රතිචාරයට එක් කර ඇති රුහඬපටය විනාඩි කිහිපයක් පමණක් දිග හැරෙනවා. එහි සත්ගුරු එක් ඉන්දීය තරුණ ප්‍රාඥයකුට වැදගත් පාඩමක් කියා දෙනවා. තරුණයා ඉන්දීය පඬි නැට්ටකු වෙන්න ඕන. ඔහු ජාතික ගීයට නැගිටීම ප්‍රතික්‍ෂෙප කළ විට සත්ගුරු ඔහුට කියා දුන් පාඩම එහි අහන්න පුළුවන්.

 

ඉන්දිය පඬි නැට්ටා ඉන්දියාවෙ හරි කොහේ හරි පාසලක ඉගෙන ගන්න ඇති. ඔහු බෑරි වෙලාවත් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ වැඩකට හරි වෙනත් කරුණකට හරි පාසලට ගියොත් පාසල් ගීය ගයන විට නැගිටිනවා කියා කිසිවකු ප්‍රශ්න කර නැහැ. ඔහුට ඇත්තේ මෙරට ඇතැම් පඬි නැට්ටන්ට තියෙන ප්‍රශ්නය. ජාතියක් ලෙස එකට සිටින්න ජාතියක් කියා දෙයක් (ස්තිථියක්, භූතාර්ථයක්) නැහැ කියා ඔහු හිතනවා. එය බටහිර පඬියන්ගෙන් ලැබෙන්නක්. ඇමරිකාවේ ජීවත් වූ ඇංග්ලො අයිරිෂ් පඬියකු වූ බෙනඩික්ට් ඇන්ඩර්සන් වැන්නන් පඬි නැට්ටන්ට උගන්වන කරුණු මත පඬි නැට්ටන් පදනම් වෙනවා.

 

ඉන්දීය ජාතිය මෑතක දී ඇති වුණූ එකක්. එහෙත් අද ඔවුන් ජාතියක් ලෙස නැගී සිටින්න කටයුතු කරනවා. අද ඉන්දියාව ලෝක බලවතකු බවට පත් වීමට පියවර ගන්නවා. කෙසේ වෙතත් ජාතියේ සංකේත ලෙස ජාතික ගීය ජාතික ධජය ආදීිය යොදා ගැනෙනවා. පඬි නැට්ටකු අහන්න පුළුවන් ජාතික ගීය බටහිරයන්ගේ සංකල්පයක් නිසා අප එය ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැත්තෙ ඇයි කියා. මා නැවතත් කියනවා අප බටහිර ඇතැම් දැනුම සංකල්ප ආදිය අපට අවශ්‍ය ආකාරයට යොදා ගන්නවා. සමහර සංකල්ප අප ප්‍රතික්‍ෂෙප කරනවා. අප විරුද්ධ වන්නේ ප්‍රතික්‍ෂෙප කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයයි.

 

ඉන්දීය ජාතියට කෙසේ වෙතත් සිංහල ජාතියට අඩු තරමෙන් පණ්ඩුකාභය රජු දවස සිට පැවැත්මක් තියෙනවා. පණ්ඩුකාභය රජු යක්‍ෂ හා විවිධ අර්ධ වෛදීක (පූර්ණ වෛදීික භාවයට පත් නොවූ ඇතැම් භාරතීයයන්) වංශ එකතු කිරීමෙන් සිංහල ජාතියට පදනමක් ලබා දුන්නා. විවිධ වංශ අතර වංග පුණ්ඩ්‍ර අංග කාලිංග ශාක්‍ය පිරිස් හිටියා. මා කියන්නේ නැහැ සියල්ලන් එකතු වුණා කියා. එය ආරම්භයක්. විවිධ කාලවල මෙරටට පැමිණි අය මේ ජාතියට අවශෝෂණය වුණා. අද ප්‍රශ්නය ලන්දේසීන් මෙරට ගෙනා වෙල්ලාලයන් මේ ජාතියට එකතු කර ගන්නේ කෙසේ යන්නයි. එය පඬි නැට්ටන් කියන ආකාරයකට කරන්න බැහැ. ජාතියක් නැහැ කියන ඔවුන් වෙල්ලාලයන්එකතු කරන්නේ කුමකට ? ඔවුන්ගේ අදහස්වල ඇත්තේ පරස්පර.

 

මිනිසුන්ට බුද්ධියක් මෙන් භාවයන් තියෙනවා. බුද්ධිය කිවුවත් මා හිතන්නේ බුද්ධි හා භාව තියෙනවා කියා. අප එක් එක් අයට විවිධ භාවයන් ඇති වෙනවා වගේ විවිධ බුද්ධි ඇති වෙනවා. බුද්ධිය හා භාවය වෙන් කරන්නත් බැහැ. ඇතැමුන් හිතන්නේ බුද්ධිය මොළය ඇසුරෙන් ඇති වෙන අතර භාවය හදවත ඇසුරෙන් උපදිනවා කියා. මට නම් හිතෙන්නේ මේ සියල්ල මනසේ කාර්යයන් කියා. බුද්ධිය ඇති වීමේ දී සමහර විට මොළය මගින් සිදුවනවා ඇති. එහෙත් මොළය සඳහා අවශ්‍ය නැහැ. මා කිහිප වතාවක් කියා ඇති එංගලන්තයේ මොළය කියන අවයවය නොතිබූ අයෙකු ගණිතය පිළිබඳ පළමු පංතියේ උපාධියක් ලබා ගත් බව. මොළය තියෙන ඇතැමුන්ට අංකගණිතයවත් බැහැ. එක් එක් අයගේ මනස් විවිධයි.

 

භාවයන් බුද්ධියට ලඝු කරන්න එහෙමත් නැත්නම් ඌනනය කරන්න බැහැ. ජාතිය පිළිබඳ ඇත්තේ හැඟීමක්. බටහිර මතචාද විසින් අර ඉන්දීය තරුණයාගේ මනස් හසුරුවනු ලැබ තියෙනවා. මට දැන ගන්න නැහැ බෙනඩික්ට් ඇන්ඩර්සන් ඇමරිකානු ජාතික ගීයට නැගිටීම ප්‍රතික්‍ෂෙප කළා කියා. බොහෝ විට පඬියන් පඬි නැට්ටන්ට කියන බොහෝ දේ අනුගමනය කරන්නේ නැහැ. කෙසේ වෙතත් ඉන්දීය පඬි නැට්ටාට ඇත්තේ  පෞද්ගලිකත්වය හා සාමුහිකත්වය අතර ප්‍රශ්නයක්. ඔහු තම පෞද්ගලිකත්වය ඇතැම් සාමුහිකත්වවලට වඩා  උසස් ලෙස සලකනවා. ජාතික සංකේත ප්‍රතික්‍ෂෙප කරනවා. ඊනියා බුද්ධිමාමක වෙලා. බුද්ධියෙන් මත් වෙලා. භාවයන්ගෙන්වත් බුද්ධියෙන්වත් මත් වෙන්න අවශ්‍ය නැහැ. එක් පඬි නැටටකු කියා තිබුණා මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ භක්තිය වැඩි වී ඇති වූණු මහන්තත්වයකින් කියා. මට කිසිම දෙයක් ගැන භක්තියක් නැහැ. බටහිර විද්‍යාව ගැනත් නැහැ.

 

බටහිර ඇමරිකාව වගේ රටවල සමහරුන් පෞද්ගලිකත්වයෙන් මත් වී කොවිඩ් වසංගතය පැවති දිනවල මුව වැසුම් පැළඳීම ප්‍රතික්‍ෂෙප කළා. ඔවුන් එයින් පහර දුන්නේ සාමූහිකත්වයට, අනෙක් අයගේ පෞද්ගලිකත්වයට. බුද්ධිය තර්කය ඔඩු දුවා ගොස් කළ දේ. සාමුහිකත්වයේ දී අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරනවා. අප පන්සලේ දී හැසිරෙන්නේ එලෙසයි. පන්සලේ දී බුද්ධිය හා භාවය එක්තරා ආකාරයකින් සමතුලිත තත්වයකට පත් වෙනවා. එහි දී අප නොදැනුවත්ව නීති රීතිවලින් තොරව පිළිවෙළකට කටයුතු කරනවා. බටහිරයන්ට පිළිවෙළකට කටයුතු කරන්න නීති රීති ඕන වෙනවා. අප නීති රීති අනුකරණය කරන්න ගියා අනාගන්නවා. පාරෙ වාහන ගමන් කරන ආකාරය සලකන්න.

 

මාක්ස් කම්කරු පංතියක් ගැන කියෙවුවා. එහෙත් කම්කරු පංතියක් කියා කම්කරුවන් එකට බැඳ තියා ගන්න බැහැ. කම්කරුවන්ට  එහෙම හැඟීමක් නැහැ. ලෙනින් ඊනියා කම්කරු පංතියට ඊනියා පංති විඥානය පිටින් ගෙන යෑමට යෝජනා කළා. එහෙත් ඔහු අසාර්ථක වුණා. ලෝකයේ කොහේවත් කම්කරු පංතියක් නැහැ. ජිලාස් කී විධියට වෙනත් පංතියක් ඇත්තෙත් නැහැ. පුටින්ගෙන් අහල බලන්න. බුද්ධියෙන් ලබා ගත් මනස්ගාත. පංතියක් නැති වුණාට අපට ජාතියක් තියෙනවා. බටහිරයන්ට නැතුව ඇති. ඔවුන් ජාතිය හදන්නෙත් නීතියෙන්. ජාතික රාජ්‍යය සංකල්පය සඳහා සංස්කරණය කරගත් එකක්. අපට ජාතික රාජ්‍යය සංකල්පය අවශ්‍ය නැහැ.

 

සියල්ල බුද්ධියට ඌනනය කරන්න බැහැ. මා නිතර කියන්නෙ ඔය තර්කයට ආරම්භයක් තියෙනවා කියා. ඒවට ස්වසිද්ධි කියමු. ස්වසිද්ධි ඇත්ත කියල ඇරිස්ටෝටල්වත් දන්නෙ නැහැ. අවසානයේ දී මනසේ නිර්මාණ එහෙමත් නැත්නම් අවිජ්ජා නිසා සංස්කරණය කරගත් මනස්ගාත එක්ක තමයි අපි ජීවත් වෙන්නෙත් සසර සැරිසරන්නෙත්.   


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fna01.safelinks.protection.outlook.com%2F%3Furl%3Dhttps%253A%252F%252Fyoutu.be%252FZN-r1NqvB_4%26data%3D05%257C01%257C%257C8eabf1510dce4c3fa15308db77db43ae%257C84df9e7fe9f640afb435aaaaaaaaaaaa%257C1%257C0%257C638235555832299664%257CUnknown%257CTWFpbGZsb3d8eyJWIjoiMC4wLjAwMDAiLCJQIjoiV2luMzIiLCJBTiI6Ik1haWwiLCJXVCI6Mn0%253D%257C3000%257C%257C%257C%26sdata%3DyqdSC7dfvLhD%252Bvk5259bXfEc2qK%252Bg4kT8kDPjvvo0Ss%253D%26reserved%3D0%26fbclid%3DIwAR01lUCL_CV7JkcEOyeCoxANWWLfg1T7w5BzkJu-0uSRIlxuYAAriBHIi0w&h=AT14MbRBu8qqnjkhF2nHLml9WlDYjefJTNwCb7YIckAT_v8ibhRHZXjdWgyRsgng448vjijEdmJpzH7h8aa6LE3gIsSOQBlk_hV-Tx3PdlbgdNkiuymp8xCvxm1P34yLpXrvjmJDI8gT4yKFawlD&__tn__=R]-R&c[0]=AT1R9O3TN4NUHwPEwnKUDFatzzYlwRw4NfjQkgqjSRI3555lzPrYw2jqk0rMrp4Q4bZsLU7x_ewerQHO8S0V21fuhiL6UAX1x5EXRom0LDA2_kWB6q9qOU96DDo7KrHjrnc6yWUNQUUFcg4OHeSF4zwagNqbaLeEnsfI0CSUl0PyMbJ4XOZqkwYRsZIC_GZ2mrHxL32gyUiT