Main Logo

Saturday 3 June 2023

බුදුදහම, මාක්ස්වාදය, බටහිර විද්‍යාව හා සිංහලයෝ

 

බුදුදහම, මාක්ස්වාදය, බටහිර විද්‍යාව හා සිංහලයෝ

 

අද පොසොන් පුන් පොහෝ දා. මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට වැඩම කෙළේ අද වැනි දිනක. උන්වහන්සේ වැඩම කිරීමට පෙර මෙරට බෞද්ධයන් සිටි බව මා පිළිගන්නවා. සමන් දෙවි, චූලෝදර මහෝදර මණිඅක්ඛීක නා රදුන් බෞද්ධයන්. යක්‍ෂයන් කිහිප දෙනකුත් බෞද්ධ වෙන්න ඇති. වර්ගපූර්ණිකාවට අනුව නම් එහෙමයි. යක්‍ෂ දේව නාග ආදීන් ජනකොටස් මිස අමනුෂ්‍යයන් නො වෙයි. ඔවුන් සමහරවිට තම මළවුන් නමින් අදහන්න ඇති. ජනකොටස් තවමත් ඉන්දියාවේ ඉන්නවා.

 

මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කෙළේ ගොඩෙන් දියෙන් ඉර්දියෙන් (සෘද්ධියෙන් ) වැනි ප්‍රශ්න පඬිනැට්ටන්ගේ ප්‍රශ්න මිසක් මගේ ප්‍රශ්න නො වෙයි. උන්වහන්සේ වැඩම කෙළේ දේවානම්පිය තිස්ස රජු සමයේ නැත්නම් උත්තිය රජු සමයේ යන්නත් මෙහි දී අදාළ නැහැ. එහෙත් රජු හමුවන්න ඇත්තේ මිහින්තලේ දී හා පොසොන් මස නැකැත් කෙළිි පැවැත් වූ පසළොස්වක පොහෝ දින වෙන්න ඕන. නැකැත් අපේ. නකත් එහෙම නැත්නම් නක හෙවත් නාවික හෙවත් නාගයන්ගේ නිපැයුමක්.

 

මා හිතන විධියට අප එකල අද දකුණු ආසියාව කියන ප්‍රදේශයේ ජන කොටස්. අප යම් යම් දැනුම් අභිසංස්කරණය කළා. දකුණු ආසියානු සංස්කෘතියට එකතු වුනා. නකත් එවැන්නක්. නකත් යන්න සංස්කෘත නක්‍ෂත්‍ර යන්නෙන් බිඳුණු එකක් නොවෙයි. සංස්කෘතයෙන් නක්‍ෂත්‍ර යන්නට නිරුක්ති නැහැ. නක්‍ෂත්‍ර කියන්නෙ නකත් සංස්කෘතකරණයට ලක් වීමෙන් හැදුනු වචනයක් වෙන්න ඕන. ගැන අවශ්‍ය නම් සංස්කෘත දන්න අයකුගෙන් අහන්න. අද කෙසේ වෙතත් එදා අපේ දැනුම් කලාපයේ දැනුම් බවට පත් වී තිබෙනවා.

 

මිහිඳු මහා රහතන් වහන්සේ බුදුදහම නිල වශයෙන් මෙරටට හඳුන්වා දුන්නා. උන්වහන්සේ ධර්මය දේශනා කෙළේ රජුගෙන් ප්‍රශ්න ඇසීමෙන් පසුව. ප්‍රශ්න හා පිළිතුරු ගැන මා කිහිප වරක් ලියා තිබෙනවා. ප්‍රශ්න හා පිළිතුරු මගින් බටහිර ගණිතයේ කුලක වාදයේ අඩුපාඩුකම් පෙන්වා දෙනවා. මා මගේ නෑයෙක් නොවේ නොනෑයෙක් නොවේ කී විට අපට චතුස්කෝටික න්‍යාය මතක් වෙනවා.

 

මිහිඳු මහා රහතන් වහන්සේ  අපට චුල්ලහත්ථි පදොපම සූත්‍රය දේශනා කළා. තර්කය ඇසුරෙන් පමණක් නිගමනවලට එළඹෙන්න එපා කියන්න. ඊනියා සාධක මගින් පමණක් එළඹෙන නිගමන වරදින්න පුළුවන්. ඇතා දැකල නිගමනය කරන්න කියන එකයි උන්වහන්සේ අපට ඉගැන්නුවෙ. වත්මන් බටහිර විද්‍යාව නොවෙයි. ඩාවින්ගේ පරිණාමවාදය දැක්ක එකක් නො වෙයි. අද කියන බහුවිශ්ව කිසිවකු දැක නැහැ. කමක් නැහැ.

 

මෙහි දී එක් කරුණක් එකතු කරන්න ඕන. ඇතා දැකල කැලේ මැදින් ගිහින් තියෙන්නෙ ඇතකු යැයි නිගමනය කරන්නෙ සම්මුති අරුතකින් පමණයි. එතැන ඇතෙක් නැහැ. වෙනස් වෙන ක්‍රියාවලියකට සම්මුති අප (ඊනියා අප) ඇතකු (ඊනියා ඇතකු) යැයි කියනවා. බුදුදහම දේශනා කරන්න ඇත්තෙ මාගධියෙන් වෙන්න ඕන. එය බුදුදහම දේශනා කිරීමට එදා දඹදිව පැවති හොඳ භාෂාව වෙන්න ඕන. බුදුහාමුදුරුවන් ධර්මය දේශනා කරන්න හිත හිත ඉන්න විට සහම්පති බමුණා තමයි මගධය ගැන මතක් කරල තියෙන්නෙ. එය එහෙම වුනත් මා හිතනවා බුදුදහම දේශනා කරන්න හෙළයත් ඉතා හොඳ භාෂාවක් වෙන්න ඇති කියා.

 

බුදුදහම දේශනා කිරීමට චතුස්කෝටිකය ඇති භාෂාවක් අවශ්‍ය කියන එකයි මගේ හැඟීම. එංගලන්තයෙ චාල්ස්ගෙන් තමන් නෑයෙක් නො නෑයෙක් වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔහු තමා තමාගෙ නෑයෙක් කියනවා නො අනුමානයි. ඉංගිරිසි සංස්කෘතිය හා භාෂාව අනුව. බටහිර ගණිතයේ සරල රේඛාවක් තවත් සරල රේඛාවකට එක්කෝ සමාන්තර වෙන්න ඕන, නැත්නම් සමාන්තර නොවෙන්න ඕන. ඇරිස්ටෝටල්ගෙන් සංකේතවත් වෙන ද්විකෝටික න්‍යාය අනුව. නිසා බටහිර ජ්‍යාමිතියෙ සරල රේඛාවක් සරල රේඛාවට සමාන්තර වෙනවා කියනවා.

 

සිංහලයන්ට බුදුදහම ගහට පොත්ත වගේ. මෝඩාභිමානයක් ඇති වමාලා පඬිනැට්ටන් තාර්කිකයන් විද්‍යාඥයන් ආදීන් මොන තරම් වෑයම් කළත් මෙරටින් බුදුදහමවත් බෞද්ධ සංස්කෘතියවත් නැති කරන්න බැහැ. අප සංස්කෘතිය මත පදනම් වෙලා ඉතා වැදගත් දේ ලෝකයට දීල තියෙනවා. වෙනස් වන්නකු නැතිව වෙනස් වීමක් ගැන අපි කියල තියෙනවා. කරන්නත් පුළුවන් නාම පදවලට වඩා ක්‍රියා පදවලට මූලිකත්වයක් දෙන භාෂාවක. ඉංගිරිසියෙහි වඩා වැදගත් නාම පද. අද වන විට ඇමරිකන් ඉංගිරිසියෙහි එය තව තවත් වැඩි වෙනවා.

 

අපට බුදුදහම නිල වශයෙන් හඳුන්වා දී අවුරුදු 2400ක් පමණ වෙනවා. පරසතුරු ආක්‍රමණ පරගල මැද එය රැකෙනවා. අර ගහට පොත්ත කතාව නිසා. අප ශුන්‍යයට සංකේතයක් (හල් කිරීම පසුව ද්‍රවිඩ භාෂාවල පුල්ලිය හා අවසානයේ බිංදුව) දීල තියෙන්නෙ සංස්කෘතියෙ. අප ධර්මය පොත්වල ලිවුව. අපට මාක්ස්වාදය හඳුන්නල දීල තාම අවුරුදු සීයක් නැහැ. ඒත් අද මාක්ස්වාදයක් මෙරට නැහැ. මෙරට කිසිම මාක්ස්වාදියෙක් මාක්ස්වාදයට ඇලපිල්ලක් එකතු කරල නැහැ. අර සහෝදරයා මේ සහෝදරයා හිටියට වැඩක් වෙලා නැහැ. මාක්ස්වදයෙ කියනව ආගම පීඩිතයගෙ සුසුම අබිං කියල. කොහොම වෙතත් අද මෙරට වමාලගෙ සුසුම අබිං වෙලා තියෙන්නෙ මාක්ස්වාදය. අද ඔවුන් නොකෙරෙන විප්ලවයක් ගැන නොලැබෙන සමාජවාදයක් ගැන සුසුම් හෙලමින් මාක්ස්වාද අබිං කනවා.

 

බටහිර විද්‍යාව ගැනත් බටහිර තර්කය ගැනත් කියන්න තියෙන්නෙ එවන්නක්. අප සමහරු විද්‍යාඥයන් ලෙස හිතන් හිටියත් බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කර නැහැ. අපට බටහිර විද්‍යාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. බටහිර විද්‍යාවත් මාක්ස්වාදය වගේ වැඩි කලක් බටහිරවත් තියෙන එකක් නැහැ. වමාලට තාර්කිකයන්ට තියෙන්නෙ මාක්ස්වාදය තර්කය ආදිය ගැන මෝඩාභිමානයක්. අද ලෝකය පවත්වාගෙන යන්නෙ තාක්‍ෂණයෙන්. තාක්‍ෂණයත් විද්‍යාවත් දෙක එකක් නො වෙයි. අද බටහිර දියුණුව කියන්නෙ වැඩි වැඩියෙන් ශක්තිය පරිභෝජනය කිරීමට. අපත් දියුණු වෙන්න හදන්නෙ ශක්ති පරිභෝජනය වැඩි කර ගෙන. අපි මිහිඳු හාමුදුරුවන් අමතක කරල ණයට අරන් අධිපරිභෝජනය කරල. බුදුහාමුදුරුවන් අපට දේශනා කරල තියෙන්නෙ කාමසුඛල්ලිකානු යෝගයත් අත්හරින්න කියල.

 

අද පොසොන් පුන් පෙහෝදා අපි නැවතත් මැද මාචත මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගනිමු.