Main Logo

Monday 19 June 2023

සුප්‍රබුද්ධයෝ ලිංමැඩියෝ හා රෙද්ද

 

සුප්‍රබුද්ධයෝ ලිංමැඩියෝ හා රෙද්ද

 

මා හිතන්නේ නැහැ මෙකල තරම් ප්‍රබුද්ධයන් මෙරට අවුරුදු දෙදහස් පන්සීයක කලයක හිටියා කියා. ඔවුන් සුප්‍රබුද්ධ රජුටත් වඩා ප්‍රබුද්ධයන්. සුප්‍රබුද්ධ රජු මෙකල හිටියා නම් තම නම වෙනස් කර ගන්නවා සිකුරුයි. මේ සුප්‍රබුද්ධයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ඔවුන් කියන විධියට නම් අර දෙදහස් පන්සීයෙ රෙද්ද. ඔවුන් හිතනවා ඇත්තෙ තමන් අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යභාරයක යෙදිල ඉන්නවා කියා.

 

ඔවුන්ට අවශ්‍ය මට පේන විධියට (නැහැ නැහැ මගේ ඊනියා කියවීමක් නො වෙයි. කියවීම අනෙකා ආදී වචන යොදා ගැනීමට තරම් මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි) මා වැනි බටහිර දැනුම ගැන අවබෝධයක් නැති, මිථ්‍යා මත පසුපස හඹා යන, ථෙරවාදය ගැන විශ්වාසයක් තියෙන, විද්‍යාව ගැන තමන් තරම් දන්නෙ නැති ලිංමැඩියන්ට තාර්කික විද්‍යාත්මක දැනුම ලබා දී සිංහලයන් විචාරශීලී උගතුන් බවට පත් කරන්න. එහෙත් ඔවුන්ගේ අවාසනාවක මහත. රටේ ඉන්න ලිංමැඩියන් මේ සුප්‍රබුද්ධ කතා අහන්නෙ නැති කම.

 

සකර්බර්ග්ට පින් සිද්ද වෙන්න ඔවුන් තම තමන් අතර නම් සුප්‍රබුද්ධ කතා කියා ගන්නවා. කතා නියමයි කියා ගන්නවා. සකර්බර්ග් ඔවුන් ලියන දේ කියවන්නෙ නැතුව වෙන්න ඕන. නැත්නම් මෙලහකට සකර්බර්ග් ලංකාවට ඇවිත් තමන් නොදන්න දේ ඉගෙන ගන්න. රනිල් ගිය ආරංචියක් මිසක් සකර්බර්ග් ආපු ආරංචියක් දැන ගන්න නැහැ. ආරංචි අනුව නම් මෙටාවෙවත් මොටාවෙවත් සකර්බර්ග්ගෙ ඒමක් ගැන කතාවක් නැහැ.

 

සුප්‍රබුද්ධයන් තමන් පහුගිය අවුරුදු තුන්හාර සීයක බටහිර බුද්ධිමතුන් සමග සන්සන්දනය කරනවා වෙන්න පුළුවන්. බටහිර චින්තකයන් තම සම්ප්‍රදාය වෙනස් කරන්න කටයුතු කරල තියෙනවා. අද නූතනත්වය කියල කියන සමාජයීය ව්‍යුහය සකස් කරන්න ඔවුන් කටයුතු කරල තියෙනවා. මගේ ලිංමෑඩි දැනුම අනුව නම් මෙහි වැදගත් කාර්යයක් කෙළෙ ජර්මනියෙ හිටිය මාටින් ලූතර් කියන පූජකවරයා. ඔහු පාප්තුමාට විරුද්ධ 1517 දි පෝස්ටරයක් ඇලෙවුවා. ගැලීලියෝල නිවුටන්ල රූසො වෝලටෙයාර් වගේ ප්‍රංශ විප්ලවයට දායකත්වයක් සැපයූ චින්තකයන් පහළ වුනෙ ඊට පස්සෙ. අද සුප්‍රබුද්ධයන් පෝස්ටර අලවනවා.

 

යුරෝපීය චින්තකයන් තම සම්ප්‍රදාය වෙනස් කරන්න කටයුතු කළා. ඒත් ඔවුන් වෙනත් සම්ප්‍රදායකින් අදහස් ගෙඩිය පිටින් ගත්තෙ නැහැ. එකලත් යුරෝපයට ආවේණික වෙච්ච සම්ප්‍රදාය කිහිපයක් තිබුණ. රෝම අධිරාජයන් හරහා පැමිණි යුදෙවු පරණ තෙස්තමේන්තුවේ දෙවියන් වහන්සේ පදනම් කර ගත් සම්ප්‍රදාය, ග්‍රීක සම්ප්‍රදාය. මා කලින් දවසක ප්‍රශ්නයක් ඇහුව ආසියාවෙ උපන් යුදෙවුවකු වූ ජේසුස් වහන්සේගේ ආගම යුරෝපයේ පැතිර ගියේ මොකද කියල. සුප්‍රබුද්ධයන් විවිධ පිළිතුරු දීල තිබුණ. එක් සුප්‍රබුද්ධයකු කියා තිබුණෙ යුරෝපීයයන් බුද්ධිමත් කියල.

 

ඒකත් ඇත්ත වෙන්න ඇති. යුදෙවුවන් බුද්ධිමත්. හැම යුදෙවුවකු බුද්ධිමත් කියලවත් අනෙක් ආසියාතිකයන් බුද්ධිමත් නැහැ කියලවත් නො වෙයි මා කියන්නෙ. බුද්ධිමත් කමෙත් වර්ග තියෙනව කියල ලිංමැඩි මට හිතෙනවා. මගේ වාසගමෙත් ලිඳමුලගේ කියල කොටසක් තියෙනවා. කොහොම වුනත් යුදෙවුවන්ට සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා වියුක්ත හිතන්න පුළුවන්.  අවාසනාවකට මෙරට සුප්‍රබුද්ධයන්ට නම් කොහොමටවත් වියුක්ත හිතන්න බැහැ. යුදෙවුවන්ට වියුක්ත බුද්ධියක තිබුණත් ඔවුන් අධිරාජ්‍ය ගොඩ නගල නැහැ. රෝම අධිරාජයා තමයි තුන්වැනි සියවසේ යුදෙවුන්ගෙ දෙවියන් වහන්සේ ගැන කතා අරගෙන තමන්ට අවශ්‍ය විධියට සකස් කරල අධිරාජ්‍ය ගොඩනගල මගින් කතෝලික ආගමක් ලෝකෙ පැතුරුවෙ. එය යටත්විජිතවාදී පැතිරවීමක්.

 

ග්‍රීකයන් යම් සම්ප්‍රදායක් ලෝකෙට දීල තිබුණ. මා නම් කැමති චින්තනයක් කියන්න. මාටින් ලූතර් ඔය රෝමය හරහා ලැබුණු යුදෙවු සම්ප්‍රදායත් ග්‍රීක සම්ප්‍රදායත් පොඩි වෙනසකට භාජනය කරල පෞද්ගලිකත්වය ඉස්මතු කළා. තමයි ඔහු එකතු කළ ක්‍රිස්තියානි සම්ප්‍රදාය නැත්නම් චින්තනය. ඉන් පස්සෙ නූතනත්වයට පදනමක් ලැබුණා. නූතනත්වය ඇති වුනෙ ලූතර්ගෙන් පස්සෙ නොවෙයි. එහි ආරම්භය ඉතාලියෙ පිරෙන්ට්සි නැත්නම් ඉංගිරිසින් කියන විධියට ෆ්ලොරන්ස් නගරයෙ සිද්ධ වුනෙ. මට අවස්ථාවක් ලැබුණ නගරයෙ අසිරිය නරඹන්න. එහි ඇති ඩේවිඩ්ගෙ ප්‍රතිමාව ගැන මා කිහිප වරක් කියල ඇති. නූතනත්වය පිළිබිඹු කළ ඩේවිඩ් තමයි යුරෝපීය වැඩවසම් ක්‍රමය නියෝජනය කළ ගෝලියාත් පරාජය කෙළෙ.

 

කොහොම වෙතත් මෙතැන දි වැදගත් වෙන්නෙ තුන්වැනි සියවසේ රෝම අධිරාජයා යුදෙවුවන්ගෙන් යමක් ලබා ගැනීමත් සමහර විට ග්‍රීකයන් භාරතයෙන් යම් යම් දේ ලබා ගැනීමත් අරාබිය හරහා අපේ ශූන්‍යය ඇතුළු භරතීය ගණිතයක් හා විද්‍යාවක් ලබා ගැනීමත් ඔවුන්ගෙ සංස්කෘතියට අවශෝෂණය කිරීමත්. යුදෙවුවන් ආසියාවෙ වගේ යුරෝපයේත් හිටියා. ඔවුන් ඉන්දියාවටත් ආවා. කේරළයට ගියොත් යුදෙවු පල්ලි බලා ගන්න පුළුවන්. ඒත් අද වන විට යුදෙවුවන් යුරෝපීය හා ඇමරිකා මහාද්වීපවල වැඩි වශයෙන් දකින්න පුළුවන්. ආසියාවෙ අද යුදෙවුවන් වැඩියෙන් ඉන්නෙ ඊශ්‍රායලයෙ හෙවත් පොරොන්දු දේශයේ.

 

මේ සියල්ල මා කිවුවෙ මගේ ලිංමැඩි දැනුම ප්‍රදර්ශනය කරන්න නො වෙයි. සම්ප්‍රදාය වෙනස් වෙනවා. සම්ප්‍රදාය රැකෙන්නෙත් වෙනස් වීමෙන් පමණයි. නැත්නම් සම්ප්‍රදාය විනාශ වෙලා යනවා. සම්ප්‍රදාය වෙනස් වීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. එහෙත් වෙනස් වීම කෙරෙන්න ඕන සම්ප්‍රදාය ඇතුළෙන් හා පිටින් ගන්න දේ අවශෝෂණය කර ගැනීමෙන්. අර රෝම අධිරාජයා වුනත් යුදෙවු අදහස් ගත්තෙ, අවශෝෂණය කර ගත්තෙ තම රෝම සම්ප්‍රදායෙ හිඳිමින්. ඔහු රෝම රෙද්ද කඩන්න හැදුවෙ නැහැ. පසු කලෙක රෝම අධිරාජ්‍යය එංගලන්තෙටත් පැතුරුණා.

 

සුප්‍රබුද්ධයන් කරන්නෙ මොකක් ? ඔවුන් රෙද්ද කඩන්න හදනවා. ඔවුන් සිංහල බෞද්ධයන්. ඔවුන් ජීවත් වෙන්නෙ සිංහල බෞද්ධ කතා උපමා ආදිය යොදා ගනිමින්. වැඩ කරන්නෙ සම්ප්‍රදායෙ. එහෙත් ඔවුන් දක්‍ෂයන් නො වෙයි. අද අදක්‍ෂයන් හිතනවා ඔවුන්ට කැපී පේන්න නම් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න ඕන කියල. එහෙමත් නැත්නම් එසේ පහර දීමෙන් සමහරුන්ට  විවිධ හීනමාන තියෙන අයට සුප්‍රබුද්ධ වෙන්න පුළුවන් කියල හිතෙනවා. ඔවුන් අලුතෙන් කරන නිර්මාණයක් නැහැ. කරන එකම දේ බටහිර දැනුමක් තම තම නැණ පමණින් දැන ගෙන මත හිඳගෙන සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම පමණයි. ඔවුන් කරන අවශෝෂණයක් නැහැ. ඔවුන් අවශෝෂණය ගැන දන්නෙ නැහැ. ඒක තේරෙන්නෙත් නැහැ. සකර්බර්ග් ඔවුන්ට ඉඩක් සපයල දීල. වුනත් ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. පෙරහැර දිගට යනවා. පොසොන් පහුවෙල දැන් ඇසළ පෙරහැරවල්. ඊළඟට නුවර පෙරහැර.

 

මා අවුරුදු පනහකට පමණ පෙර පේරාදෙණි මොටාවෙ උගන්නන කාලෙ නුවර පෙරහැර බලන්න ආපු සෙනග දිහා බැලුවෙ මේ මොන ලිංමැඩියන් කොහොම වෙතත් මෝඩයන් කියා. මා එකල ප්‍රබුද්ධයෙක්. අද මා ඔවුන් මෙන් ලිංමැඩියෙක්. නැහැ මට සුප්‍රබුද්ධ රජු හමුවුනෙ නැහැ.