Main Logo

Thursday 22 June 2023

මෝදි ඇමරිකාවේ සංචාරයක

 මෝදි ඇමරිකාවේ සංචාරයක

 

ඉන්දීය අගමැති මෝදි දින හතරක් ඇමරිකාවේ සංචාරයක යෙදෙනවා. ඔහුට ඉතා ඉහළ පිළිගැනීමක් ධවල මන්දිරයෙන් ලැබෙනවා. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකුට නොපැවෙත්වෙන පරිදි ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන සංග්‍රහයක් මෝදි වෙනුවෙන් පැවැත්වීමට නියමිතයි. ඔහු අතර ලෝකයේ ඉහළ ධන හිමියකු වන මස්ක් මුණ ගැසිලා.

 

මෙහි පුදුම වෙන්න දෙයක් නැහැ. ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහණය ඇති "ප්‍රජාතන්ත්‍රවාදී"  රාජ්‍යය ලෙස සැලකෙනවා. ඇමරිකාවට හා බටහිර රටවලට නොයෙකුත් හේතු නිසා ඉන්දියාව අවශ්‍යයි. එහෙත් මේ අවශ්‍යතාව ඉතා මෑතක දී ඇති වූවක්. මෝදි මුල් වරට ඉන්දියාවේ අගමැති වූ විට ඇමරිකාව ඔහුට වීසා දීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහුගේ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ වාර්තාව සලකා බලා.

 

අද හදිසියේ මෝදි මානව හිමිකම් සුරකින පුද්ගලයකු වෙලා නැහැ. ඉන්දියාවේ මුස්ලිමුන්ට හා ක්‍රිස්තියානින්ට සලකන ආකාරය පිළිබඳ නිතර ප්‍රශ්න මතුවෙනවා. ලංකාවේ ඇති ප්‍රශ්නයක් නැහැ. ඒත් ආතල්ගම සිංහල බෞද්ධ විරෝධය දැක ගන්න ලැබුණා. ඇමරිකාව මෝදී පිළිගැනීම පිළිබඳ විවිධ සංවිධාන විරෝධය පළ කර තියෙනවා. සංවිධාන බොහොමයක් ඇමරිකන් සංවිධාන. අතර මුස්ලිම් සංවිධාන තියෙනවාමෝදි වෙනස් වෙලා නැහැ. එහෙත් ඇමරිකාවේ මානව හිමිකම් පිළිබඳ නිර්වචනය වෙනස් වෙලා වෙන්න ඕන.

 

මානව හිමිකම් කියන එක බටහිරට පමණක් නොව කාට කාටත් වෙනස් වෙන සංකල්පයක්. ගෝඨාභයට විරුද්ධ ගෙනා මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා රනිල්ට විරුද්ධ ගෙනෙන්නේ නැහැ. ගෝඨාභය තමන් නෙරපීමට පැමිණි පරගලයන්ටවත් විරුද්ධ කිසිම පියවරක් ගත්තේ නැහැ. එහෙත් ඔහු ඒකාධිපතියෙක් හිට්ලර් කෙනෙක්. රනිල් එක්ක ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට පෙළපාලි ගොස් නා ගැනීම හැර කරන්න දෙයක් නැහැ. ගෝඨාභය එළ වූ අපට රනිල් කජ්ජක් කියා ඇසූ පරගලයන් රනිල්ට නම් කජ්ජක්. එහෙත් බටහිරයන් රනිල්ට විරුද්ධ ජෙනීවා යන්නේ නැහැ.

 

කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා කියා කතාවක් තියෙනවා. මෝදි දැන් තලගොයා බවට පත් වෙලා. නැහැ බටහිරයන් මෝදි කන්නේ නැහැ. ඔවුන්ට මෝදි අවශ්‍යයයි. නිසා ඔහුට මස් මාංශ රහිත රාජ්‍ය වෙජි  කෑමක් දෙනවා. මෝදි ඉන්නේ දෙලොවක. දෙලොවක් අතර නො වෙයි. ඉන්දියාව දුප්පත් එහෙත් බලවත් රටක්. ඉන්දියාවේ අන්ත දුගීන් ඉන්නවා. අන්ත ධනහිමියන් ඉන්නවා. රාජ්‍යයක් ලෙස ඉන්දියාව බලවත්. අදානිට සමකරන්න පුළුවන් අයෙක් ලංකාවෙ නැහැ. ලංකාවට අදානි නැතුව බැහැ. එහෙත් ඉන්දියාවට මෙරට කිසිම ධනහිමියකු අවශ්‍ය නැහැ.

 

ඉන්දියාව නේරුගෙ කාලෙ ඉඳන් අර නොබැඳි පිළිවෙත අනුගමනය කළා. ඔවුන් සෝවියට් දේශය හා චීනය සමග සම්බන්ධකම් ඇති කර ගත්තා. පනස්හය වන තුරු ලංකාව සෝවියට් දේශය සමග සම්බන්ධකම් ඇති කර ගත්තේ නැහැ. ඉන්දියාව අදත් රුසියාව සමග මිත්‍රයි. ඔවුන්ට රුසියන් ඉන්ධන හා තවත් දේ අවශ්‍ය වෙනවා. ඉන්දියාව යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාවට හිතවත්. එමෙන් රුසියාවත් චීනයත් සමග බ්‍රික්ස් (BRICS) සංවිධානයේ ඉන්නවා. අතර චීනයට විරුද්ධ ජපානය ඕස්ත්‍රේලියාව ඇමරිකාව සමග ක්වොඩ් (QUAD - හතර) සංවිධානයේත් ඉන්නවා.

 

ඉන්දියාව අද තරග කරන්නේ ඇමරිකාව සමගවත් රුසියාව සමගවත් නො වෙයි. වෙළෙඳ හා දේශපාලන ආධිපත්‍යය සඳහා අපේ කලාපයේ ඉන්දියාවට චීනයත් සමග තරගයක් තියෙනවා. ඇමරිකාවට අද ගෝලීය වශයෙන් තර්ජනය ඇත්තේ චීනයෙන්. ඉන්දියාවේ කලාපීය අවශ්‍යතා නිසාත් ඇමරිකාවේ ගෝලීය අවශ්‍යතා නිසාත් මෝදිගේ මුස්ලිම් විරෝධයවත් ක්‍රිස්තියානි විරෝධයවත් කාට ප්‍රශ්නයක් වුනත් ඇමරිකාවට ප්‍රශ්නයක් නො වෙයි. මෝදි ඇමරිකාවේ යෝග අභ්‍යාසවල යෙදෙනවා.

 

හැත්තෑවේ දශකයේ බ්‍රෙට්න්වුඩ් ගිවිසුමත් සමග ක්‍රමයෙන් ශක්තිමත් වූ ඩොලරයට අද චීන යුවාන් තර්ජනයක්. ඉන්දියාවට එය ප්‍රශ්නයක් වෙතොත් අපේ කලාපයේ පමණයි. අද ලංකාවේ නම් ඉන්දීය රුපියල මෙන් චීන යුවාන් භාවිතා වෙනවා. අපේ රුපියල නම් පාවෙනවා. කුමක් වුනත් ලංකාව සම්බන්ධයෙන් බොහෝ විට ඉන්දියාවත් බටහිරත් එකඟත්වයකින් කටයුතු කරනවා. සිංහල බෞද්ධ ජාතිකත්වයට දෙගොල්ලන් විරුද්ධයි. ඉන්දියාවේ හින්දි හින්දු ජාතිකත්වයට අමෙරිකාව විරුද්ධ වන්නෙ නැහැ. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධ ඉන්දියාවත් සමග එකට ඉන්නවා.

 

දේශපාලනයේ එහෙම ප්‍රතිපත්ති කියා වර්ගයක් නැහැ. ලංකාව හැරෙන්න අනෙක් රටවල් තම රටේ සුභසිද්ධිය වෙනුවෙන් අදාළ විධියට වැඩ කරනවා. ලංකාවේ රටට වඩා තමන් වැදගත්. තමන් අනුව රටේ ඊනියා ප්‍රතිපත්ති වෙනස් කරනවා. අනෙක් රටවලත් මිනිසුන් මුදලට ගන්න පුළුවන්. ඒත් ලංකාවෙ වගේ බැහැ. ලංකාවෙ රුපියල වගේ මිනිසුනුත් බාල්දු වෙලා

 

ඉන්දියාවේ ජාතිකත්වය ඇමරිකාවට හොඳයි. චීනය නිසා. ඒත් ලංකාවේ ජාතිකත්වය බටහිරයන්ට විසයි. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් මහින්ද හා ගෝඨාභය ඉවත් කළාට මෝදි ඉවත් කරන්නේ නැහැ. මස්ක් ඉන්දියාවේ ව්‍යාපාර පිහිටුවාවි. එය දෙපැත්තට   වාසි සහගතයි. ඒත් ලංකාවට ආයෝජකයන් එන්නේ නැහැ. සමහර විට ඉදිරි ඉන්දීය මැතිවරණයේ දී ඇමරිකාවේ යම් සහායක් මෝදිට ලැබෙන්නත් පුළුවන්.