Main Logo

Sunday 4 June 2023

මහින්දාගමනය හා සිංහලයෝ

 

මහින්දාගමනය හා සිංහලයෝ

 

විවිධ ආක්‍රමණ මධ්‍යයේ මෙරට අවුරුදු 2400 වැඩි කාලයක් බෞද්ධ සංස්කෘතියක් පවත්වාගෙන යෑම සුළු පටු කරුණක් නො වෙයි. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කිරීමට පෙරත් බෞද්ධයන් සිටි බවට ඇතැම් සෙල් ලිපි සාක්‍ෂි දරණවා. එහෙත් බෞද්ධ සංස්කෘතියක් සැලැස්මක් ඇතුව නිල වශයෙන් ඇති වුනේ මහින්දාගමනයෙන් පසුව. මිහිඳු මහා රහතන් වහන්සේට රජු මුණ ගැසුනා. එය අහම්බයක් කියා කීමට අවශ්‍ය නැහැ. එහෙත් මිස්සක පවුවේ ඇති වූ හමු වීමේ ප්‍රධාන ලක්‍ෂණ කිහිපයක් තියෙනවා.

 

මා දන්නවා විවිධ පුද්ගලයන් හමු වීම ගැන විවිධ කතා කියනවා. ඇතැමුන්ට අනුව රජු (දේවානම්පිය තිස්ස වේවා උත්තිය වේවා) අශෝක රජුට උඩින් හිටි අයෙක්. මෙරට රජුට භාරතයේත් ඇතැම් පෙදෙස් අයිති තිබුණා කියා කියනවා. සෙනරත් පරණවිතාන මහතා ග්‍රීකයෝ හා මෞර්යයෝ කෘතියේ මෙරට රජවරුන්ට භාරතයේ ඇතැම් ප්‍රදේශවල රාජ්‍යත්වය තිබූ බව කියනවා. කුමක් වුවත් මිහිඳු හිමියන් මෙරටට වැඩි බවත් උන්වහන්සේගෙන් ධර්මය ඇසීමෙන් පසු රජු දේවිය ඇතුළු පිරිසක් බෞද්ධ ජීවන රටාවක් අනුගමනය කළ බෞද්ධයන් වූ බවත් බැහැර කරන්න බැහැ. මෙහි කිසිම බලපෑමක් සිදු වී නැහැ.

 

අප ඉන්පසු අශෝක රජුගේ යටත් විජිතයක් වී නැහැ. දෙවනපෑ තිස් රජුගේ දෙවැනි අභිෂේකය එක් එක් විධියට විවරණය කෙරෙනවා. ඇතැමුන් කියන්නේ එමගින් රජු භාරතයේත් ඇතැම් පෙදෙස්වල අභිෂේකය ලැබූ බවයි. කෙසේ වෙතත් අභිෂේකයෙන් පසු අප දඹදිවෙන් පාලනය වූ බවක්වත් අප දඹදිව ඇතැම් පෙදෙස් පාලනය කළ බවක්වත් කියන්න බැහැ. මිහිඳු හිමියන් අනුරාධපුරය සැලසුම් කරන ආකාරය පිළිබඳ නම් රජුට උපදෙස් දී තියෙනවා.

 

අප බොහෝ දෙනා අවධාරණය නොකරණ දෙයක් නම් මිහිඳු හිමියන් වැඩම කරන කාලයේදීීත් ඊට පෙරත් මෙරට කාන්තාවන්ට හිමි තිබූ වැදගත්කම. විජය කතාවේත් කුවේණියගේ ඊනියා අමනුෂ්‍යකම බැහැර කළ විට කියැවෙන කරුණ නම් කුවේණිය අඩුම තරමෙන් ප්‍රාදේශීය නායිකාවක් වූ බව. මිහිඳු හිමියන්ගෙන් ධර්මය ශ්‍රවනය කෙළේ පිරිමින් පමණක් නොවෙයි. ඉන් කියැවෙන්නේ මෙරට හෙළයන් අතරත් කාන්තාවන්ට වැදගත් තැනක් හිමි වූ බවයි. එපමණක් නොව ධර්මශ්‍රවනයෙන් පසුව මෙරට පළමුව  මාර්ගඵල ලැබීමට අනුලා දේවිය සමත් වුනා.

 

මා කියන්නේ මෙරට සමාජයේ තිබූ ඊනියා කාන්තා විමුක්තියක් ගැන නො වෙයි. ඊනියා සම අයිතිවාසිකම් ගැන නො වෙයි. කාන්තාවනට එකල සමාජයේ නිසි තැන ලැබුණු බවයි. සමහර විට ඉංගිරිසින්ට බව තේරෙන්න ඇති. ආසියාවේ පළමු වරට 1931 දී සර්වජන ඡන්දය ලබා දීමේ දී මෙරට කාන්තාවනට ඡන්ද බලය හිමි වුණා. බටහිර සමහර රටවල කාන්තාවනට ඡන්ද බලය හිමි නොවී තිබුණු විටක. ලෝකයේ පළමු අගමැතිනිය මෙරටින් බිහි වූයේ අහම්බයකින් නො වෙයි. වසර දහස් ගණනක සංස්කෘතික සම්ප්‍රදායක ප්‍රතිඵලයක්.

 

මිහිඳු හිමියන් අපේ වැඳුම් පිදුමවලට ගරු කළා. උන්වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩැම්ම වීමට කටයුතු කෙළේ අපේ හෙළ සංස්කෘතියට බෞද්ධ සංස්කෘතියක් මුසු කිරීමෙන්. මියන්මාහි බෝධි වන්දනාවක් දකින්න නැහැ. එහෙත් එරට සාම්ප්‍රදායික ඇදහීම් බෞද්ධ සංස්කෘතියක් සමග එකට පවතිනවා. මේ බෞද්ධ සංස්කෘතීන්හි ලක්‍ෂණයක්. ලෝකයට පොදු වූ අධිපතිවාදී බෞද්ධ සංස්කෘතියක් නැහැ. 

 

අප පසු කලෙක ගැමුණු රජ දවස මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටෙවුවා. රුවන්වැලි සෑය එහි සංකේතයයි. එය මෙරට කාගේත් උරුමයක්. අද අප උරුමකම් කියන්නේ බටහිරයන් අපට ලබා දුන් සෙංකෝලය වැනි ක්‍රිස්තියානි සංස්කෘතික භාණ්ඩවලට. චාල්ස්ගේ මෞලි මංගල්‍යයේ දී දැක ගන්න ලැබුණා. වලගම්බා රජු දවස අප ත්‍රිපිටකය ග්‍රන්ථාරුඪ කළා. එයට විවිධ දේශගුණික විපර්යාස බලපාන්න ඇති. එහෙත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් අපෙන් ලෝකයට සිදු වී ඇති සේවය මෙතෙකැයි අගයන්න බැහැ.

 

එහෙත් අද අපට උතුරු හා නැගෙනහිර පළාත්වල උරුමය ආරක්‍ෂා කර ගන්න බැහැ. මෙරට පුරාවිද්‍යාවක් කියා දෙයක් ඇත්නම් එය ඉතා ඈතට යන එකක් වෙන්න ඕන. අද පුරාවිද්‍යාව යනුවෙන් ඇත්තේත් ඉතිහාසයක්. මහින්දාගමනයෙන් පසු  මෙරට ඉතිහාසය දහතුන්වැනි සියවස පමණ වන තෙක්  බෞද්ධ ඉතිහාසයක් පමණයි. යක්‍ෂ නාග දේව සහ භාරතීය ජනකොටස් එක් කර ඇත්තේ  බුදුදහම මුල් කරගත් බෞද්ධ සංස්කෘතියක.

 

මේ කතාව අවුරුදු පන්සීයකට පමණ පෙර අප මත අවියෙන් හා දේශපාලන බලයෙන් පටවන ලද කතෝලික සංස්කෘතිය සමග සසඳන්න. කතෝලික සංස්කෘතික ආධිපත්‍යය යටතේ දොන් ජුවන් ධර්මපාල පෘතුගාලයේ යටත් රජකු බවට පත්වුනා. අදත් සභා මෙයෙවෙන්නේ වතිකානුවෙන් හා එංගලන්තයෙන්. දැන් කතා බහට ලක්වන බෝන් අගේන් නමැති ප්‍රභේදය ඇමරිකාවෙන් මෙහෙයවෙන්නක්.

 

අද සිංහල බෞද්ධ විරෝධීන්ගේ වෑයම අපේ සංස්කෘතික උරුමයන් විනාශ කර බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයක් පිහිටුවීමටයි. එහි දී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් රුකුළක් ලැබෙනවා. එහෙත් ඔවුන්ට එය කරන්න බැහැ. අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ශක්තියට මුහුණ දෙන්න ඔවුන්ට බැහැ. බටහිරයන්ගේ අවාසනාවකට මෙන් මෙරට සිංහල බෞද්ධ විරෝධීන් දක්‍ෂයනුත් නො වෙයි.  කිසි දිනෙක වැඩ කරන හිතළුවක් ගොතා ගන්න බැරි වූ මාක්ස්වාදය ලංකාවෙන් මුළුමනින් අතුගැවී අවසන් බැවින් ඔවුන්ට එහි පිහිටක් ලැබෙන්නෙත් නැහැ.