Main Logo

Monday 1 January 2024

සිංහල අපි

 

සිංහල අපි

 

අප සිංහලයන් වූයේ කවදා ? ඇතැම් පඬි නැට්ටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ මගේ සිංහලකම. ඇතැම් කතෝලිකයන්ට මගේ නම ප්‍රශ්නයක්. ඔවුන් තමන් කතෝලික වූ පරිිදි අපේ පරම්පරාවේ අයත් පෘතුගීසි සිල්වා නම අරන් කියනවා. තවත් සමහරු කියන්නේ අපේ පරම්පරාව කේරළයෙන් පැමිණි අයගෙන් සමන්විත කියා. මා දැක්කා එක් අයකු කියා තියෙනවා නියම සිංහලයන් වනනේ සිංහ නම අගට ඇති ගුණසිංහ විජේසිංහ අමරසිංහ වැන්නන් පමණක් කියා.

 

එහෙත් සාමාන්‍යයෙන් අප අතර ඇති මතය සිංහලයන් විජයගෙන් සහ ඔහු සමග පැමිණි හත්සීයෙන් පැවත එන්නන් බව. තවත් සමහරු බලංගොඩ මානවකයාට සම්බන්ධ වෙන්න හදනවා. ඇතැමුන් එයින් නොනැවතී අවුරුදු දෙලක්‍ෂයක ඉතිහාසයකට යන්න හදනවා.

 

මේ සියල්ලන් පාහේ ජාතිය පිළිබඳ ජාන මතයට කොටු වෙලා. ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමවුපිය සම්බන්ධය හරහා ජතිය ගොඩ නගන්න. තවත් සමහර පඬි නැට්ටන් බටහිර පොතක් කියවල තම වලිග වනනවා. එසේ වනන්නේ තම බටහිර ස්වාමීන් වණමින්. බෙනඩික්ට් ඇන්ඩර්සන් ලියු කතා සහ තවත් කතා මූලික කරගෙන ජාතිය යන්න කල්පිත ප්‍රජාවක් බව වලිග තුඩින් කියන්න හදනවා.

 

ජාතිය නොවෙයි හැම සංකල්පයක් හිතළු තමයි. සමාජය සම්බන්ධයෙන් පමණක් නොව ගස් ගල් වැනි භෞතික වස්තු සඳහාත් අපට ඇත්තේ හිතළු. සියළු සංකල්ප සියළු ප්‍රවාද ආදී දේ මිනිසුන්ගෙ සංස්කරණ. තම සංස්කරණවලට ඊනියා වාස්තවික පැවැත්මක් ආරෝපණය කරන්නෙත් මිනිසුන්. භෞතික වස්තූවලින් ඈතට යත් සංකල්පවල හිතළු බව පේන්න පටන් ගන්නවා. මනෝ විද්‍යාව මනෝ විශ්ලේෂණය වගේ ක්‍ෂෙත්‍රවලත් හිතළු පේනවා.

 

ජාතිය යන්න විවිධ ආකාරයෙන් නිර්වචනය කරන්න පුළුවන්. එය කිසිසේත් ජාන සමග සම්බන්ධයක් නැහැ. මගේ මුත්තා පැමිණියේ ඇතැම් පඬි නැට්ටන් හිතන විධියට කේරළෙන් නො වෙයි. එහෙත් කරාව දුරාව සලාගම කුලවල විශාල පිරිසක් පැවත එන්නේ දහතුන්වැනි සියවසෙන් පසුව කේරළයෙන් පැමිණි අයගෙන්. අපට අම්බලම කෝලම නාඩගම හා ඇතැම් ආහාර වර්ග ලැබිල තියෙන්නෙ කේරළෙන්. කේරළෙන් පැමිණි අම්බලම් නාඩගම් කෝලම්  ආදිය එකල හිනහවට ලක් වුණා. අදත් අපි මේ මොන කෝලමක් නාඩගමක්ද වගේ ව්‍යවහාර තියෙනවා. අම්බලමටත් අපි හිනහ වෙලා තියෙනවා. අම්බලමේ පිනා පිනා කවිය බුදුහාමුදුරුවන් ගැන කියපු කවියක් ලෙස අර්ථදක්වන්න හැදුවත් එය අම්බලම්වල ලැගුම්ගත් අය සමච්චලයට ලක් කිරීමට කී කවියකට වඩා දෙයක් නො වෙයි.

 

මා අයත් වන්නේ කරාව කුලයට. කරාව කුලයේ විශාල පිරිසක් කේරළයෙන් පැමිණි අයගෙන් පැවත එන්නන්. ඔවුන් සමහරු මසුන් මරන්නන්. එහෙත් එයින් කියන්නේ නැහැ කරාව කුලයේ සියලු දෙනා කේරළයෙන් පැමිණි අයගෙන් පැවත එන්නන් බව. එහෙමත් නැත්නම් මසුන් මරන්නන් බව. කරාව ඇතැමුන් හමුදා නිලධාරීන්. රජවාසළ කටයුතු කළ අය. අපේ මුත්තා දඹදෙණි යුගයේ රාජස්ථානයෙන් පැමිණි ඨකුර. ඔහුගෙන් පැවත අර්ථදේව ආදිත්‍ය ආදින් නිසා අප ථකුරාර්ථ දේවාදිත්‍ය පරම්පරාව බවට පත්වුණා. ඔවුන් බොහෝ දෙනකු සෙනෙවියන්. රාජ්‍යාරක්‍ෂකයන්. අවශ්‍ය නම් රාක්‍ෂසයන් කියන්න පුළුවන්.  මේ සියල්ල ඓතිහාසික සාක්‍ෂි සහිත කතා. අදත් ඉන්දියාවේ ඨකුරලා ඉන්නවා. එහෙත් අප ඉන්දීයයන් නො වෙයි.

 

අන්න එතැනයි ජාන කතාව ඉවර වෙන්නෙ. ඨකුර් හා ඔහුගේ දියණිය පද්මාවති ලංකාවට පැමිණියේ සිංහල බෞද්ධයන් ලෙස නොවෙයි. ඔවුන් රාජස්ථාන හින්දුන්. සුරුපී පද්මාවතී ඉන්දියාවෙන් පැමිණි කුමරකු සමග ආපහු ඉන්දියාවට ගියා. එහෙත් ඨකුර්ගෙන් පැවත එන මෙරට ජීවත් වූ අය සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුණා. සමහරු දොන් හුවාන්ගේ (ජුවාන්) කාලයේ රජු සමග කතෝලික වුණා.  ජාතියක මූල නාරටිය ජාන නොව සංස්කෘතියයි. එහෙත් සංස්කෘතිය එක සාධකය නො වෙයි. යම් නිශ්චිත ප්‍රදේශයක (රටක) ජීවත්වීම, වඩාත් වැදගත් රාජ්‍යයක් තිබීම වැදගත් වෙනවා. රටක් රාජ්‍යයක් යන සංකල්පය ජාතියකට වැදගත්.  එමෙන් එක් භාෂාවක් කතා කිරීමත් වැදගත්. ප්‍රදේශයේ සුළු භාෂා වෙනස්කම් තිබීම ප්‍රශ්නයක් නො වෙයි.

 

ලංකාව පිහිටා ඇති ආකාරය අනුව මෙරටට විවිධ පුද්ගලයන් සංක්‍රමණය වී තියෙනවා. විජය ඉන් එක් අයකු පමණයි. ඨකුරලා දහස් ගණනින් මෙරටට සංක්‍රමණය වී තියෙනවා. දැනටත් මහා පරිමාණයෙන් නොවුවත් සංක්‍රමණය වෙනවා. එසේ ආනයනය කරනු ලැබූ පිරිස් ඉන්නවා. වෙල්ලාලයන් මෙන් කඳුරට දෙමළ කතා කරන ජනයා එලෙස ආනයනය කෙරුණු අය. මුස්ලිමුන් මෙන් ලන්දේසින් හා ඉංගිරිසින් මෙරටට ආනයන කළ දෙමළ කතා කරන කොටස් සිංහල බෞද්ධ සංසකෘතියට අවශෝෂණය වී නැහැ.

 

සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ අය සිංහලයන් වුණා. මෙරට තිබූ සංස්කෘතියක් සහ මුල් සංක්‍රමණියන්ගේ සංස්කෘති මිශ්‍ර වීමෙන් තමයි සිංහල සංස්කෘතිය ගොඩ නැගී තියන්නෙ. පසුව එය සිංහල බෞද්ධ වෙලා තියෙනවා. එකල සිංහල බෞද්ධ යෙදුම තිබුණා යන්න එහි දී ප්‍රශ්නයක් නො වෙයි. (මතු සම්බන්ධයි)