Main Logo

Sunday 28 January 2024

හද්දා පරණ සීනුව ගැන බුද්ධිමතීගෙන්

 

හද්දා පරණ සීනුව ගැන බුද්ධිමතීගෙන්

 

එක් වාර්තාවකට අනුව මාලිමාවේ බුද්ධිමතී කියල තිබුණ  නිර්ධන පංතිය සුළු ධනේශ්වරය හද්දා පරණ වචන කියල. වාර්තාව කියැවුණේ සීනු හඬින් නිසා විශ්වාස කිරීම තරමක් අපහසුයි. මේ සීනුව හා මාලිමාව අතර සටනක් කියලත් හිතෙනවා. දැනට පැරදී ඇති සීනුව මාලිමාවට සියුම් පහරක් එල්ල කරල ? හෙට අනිද්දා වෙන තුරු දිනන තුරු සහේදරයාගෙ ප්‍රතිචාරය දැන ගැනීමට ඉන්න වෙනවා.  සනත් නිශාන්තගෙ මළබත කොහොම වෙතත් කිරිබත කන්න තියෙනවා.

 

මට තියෙන කණගාටුව තමයි මාලිමාවට බලය නොලැබීම. බලය ලැබුණොත් අපට අර වැවු දාහ හදා ගන්න පුළුවන්. හම්බන්තොට ප්‍රාදේශීය සභාව දියුණු කරවන්න පුළුවන්. මාලිමාව කොහොම වෙතත් සීනුව ඔය ආණ්ඩු කිහිපයක බලය බෙදා ගෙන තියෙනවා. නැහැ සම්බන්ධන්ලා ශ්‍රීධරන්ලා කියන බලය බෙදීම නො වෙයි. ඇමතිකම් ලබා ගැනීම. අර ඉංගිරිසියෙන් කියනවා ට්‍රැක් රෙකෝඩ් එකක් ගැන. අද ඊයෙ කොල්ලො නම් කියන්නෙ ට්‍රැක් පැනලා කියලා.

 

නැහැ බුද්ධිමතී ගැන නොවෙයි කියන්නෙ. ඒත් නිර්ධන පංතිය සුළු ධනේශ්වරය හද්දා පරණ වචන කියන එක ගැන නම් මා එකඟ නැහැ. නිර්ධන පංතිය ගැන කියන්න පටන් ගත්තෙ විජේවීර සහෝදරයා. ඊට කලින් සමසමාජ පක්‍ෂය කිය කියා හිටියෙ කම්කරු පංතිය ගැන. විජේවීර සහෝදරයා බුද්ධිමතෙක්. ඔහු මැරුණු දවසෙ කී දෙනකු කිරිබත් කෑවා කියන්න මා දන්නෙ නැහැ. වැඩි දෙනකු කන්න නැතුව ඇති. මළවුන්ගේ මළබත වෙනුවට කිරිබත කෑම ජෙප්පන්ගේ වැඩක්. විජේවීර මැරුණ දා ජෙප්පන් කිරිබත් කෑවා කියා හිතන්න අමාරුයි.

 

ප්‍රොලිටේරියට් තමයි වචනෙ. සමසමාජ පක්‍ෂය ඒකට කිවුවෙ කම්කරු පංතිය කියලා. බුද්ධිමතාට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු නිර්ධන පංතිය කියන එක හැදුවා. නිර්ධන වුණා දුගී මගී යාචක ඔක්කොම අහුවෙනව කියල මගෙන් අහන්න එපා. අය පංතියක් කියලත් අහන්න එපා. පංතිය කියන එකේ නිර්වචනය අහන්නත් එපා. ඉස්කොලෙ පංති තියෙනවා. මා කියන්නෙ දෙරණෙ ඉස්කෝලෙ නො වෙයි. ඉස්කෝලෙ පංති නැහැ. ඒකෙ කැන්ටිමක් නම් තියෙනවා.

 

විජේවීර සහෝදරයා පංති පහක් කළා. මා එක පංතියකටවත් ගිහින් නැහැ. ඒක හින්දා පංතිය කියන එකේ නිර්වචනය අහන්න ලැබුණෙ නැහැ. ඒත් ඔය නිර්ධන පංතිය කොහොම වුණත් කම්කරු පංතිය නම් බිහිවෙන්නෙ විඥානයක් නැතුව. නැහැ පටිච්ච සමුප්පදායෙ කියන විඥානය නො වෙයි. සිහිය කියමු. සිහියක් නැතුව උපදීන කම්කරු පංතියට සිහිය ගෙනියන්නෙ ලෙනින්ලා වගේ අය. ලෙනින්ට බැරි වුණෙ රුසියාවෙ කම්කරු පංති විප්ලවය කරන්න විතරයි. පුටින්ගෙන් අහන්න. අර ක්‍රෙම්ලිනයෙ තැන්පත් කර තිබුණු ලෙනින්ගෙ දේහයට මොක වුණේ. ඒක හද්දා පරණ නිසා අයින් කළා ? බුද්ධිමතී දන්නවා ඇති.

 

ඔය කම්කරු පංතියක් ගැන කී සමසමාජ කාරයන් දවස්වල ජෙප්පන්ට කිවුවෙ සුළු ධනේශ්වරයන් කියලා. ජෙප්පා කියන්නෙ සිංහල භාෂාවට මැතක දි එකතු වුණූ වචනයක්. ඒක හද්දා පරණ නැහැ. බුද්ධිමතීට අනුව යමින් හද්දා පරණ සුළු ධනේශ්වරය කියන වචනය අහක දාලා ජෙප්පා කියන නවීන වචනය යොදා ගනිමු.

 

සුළු ධනේශ්වරය කියන එකත් නිර්වචනය වුණු සංකල්පයක් නොවෙයි. ධනේශ්වරය නො වෙයි. කම්කරු පංතියත් නො වෙයි. ඒත් මොකක් කියල හරියට දන්නෙ නැහැ. සිහියක් නැතුව උපදින කම්කරු පංතියට සිහිය ගෙනි යන්නෙ සුළු ධනේශ්වරය කිවුවොත් හරි ? ලෙනින් අයිති වුණෙ මොන පංතියට ?  විජේවීර සහෝදරයාගෙ පංතිය මොකක් ? බුද්ධිමතීගෙ පංතිය මොකක් ? එක්ස් කාරයන්ගෙ පංතිය මොකක් ?   දැන් සමහර හිටපු එක්ස් කාරයො බුද්ධිමතීගෙ පක්‍ෂයට වැඩ. ඔක්කොම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක.

 

බුද්ධිමතී පක්‍ෂයෙ බලය අල්ලල වගේ. හද්දා පරණ වචන ගැන කියන්නෙ ඒකයි. වචන වෙනුවට ජෙප්පා වගේ වචන යොදා ගනිමු. මාලිමාව කැරකිලා නියම පැත්තට හැරිලා. රනිල් හා රනිල්දාස එකට ඉන්නෙ. මාලිමාවෙ ඒක සටහන් වෙනවා. සීනූ ගහන්න දිනන තුරු බලා ඉන්න ලේකම්තුමාට සීනුවක් පස්සෙ හම්බ වෙන්නෙ නැහැ.

 

දැන් කරන්න වැඩක් තියෙනවා. තියෙන සීනුව ගහලා දෙරණෙ ඉස්කෝලෙ ඇරලා දිලිත් එක්ක වාදයක් කරමු. ඔය පාර්ලිමේන්තු වාදවලට වඩා පාසල් වාද හොඳයි. වාදෙන් පස්සෙ කිරිබත් කමු. බුද්ධිමතී කිරිබත් උයන්න දන්නවා ?