Main Logo

Sunday 21 January 2024

ජෙප්පෝ නිවන හා බුදුදහම විකෘති කිරීම

 

ජෙප්පෝ නිවන හා බුදුදහම විකෘති කිරීම

 

මෙවර සයන්ස් සඟරාවේ කතුවැකියක් ලෙස පළ වූ ලිපියටත් සුපුරුදූ පරිදි කිහිප දෙනකු හා හා ලකුණු කර තිබුණා. ඔවුන් සියල්ලන් නැතිව වුණත් බහුතරය ජෙප්පන්. ඔවුන් හිනහවෙන්නේ තම පාරම්පරික දැනුමටයි. අද විජේවීරගේ වි පෙරමුණක් නැහැ. ඇත්තේ ඉහළ මධ්‍යම පාංතික  හරිණි අමරසූරියගේ බලවේගය. එහි කිසිම ජාතිකත්වයක් නැහැ. විජේවීර ජාතිකත්වය හා මාක්ස්වාදී සමාජවාදය අතර දෝලනය වූ අයෙක්. එකල වි පෙ හිටි විමල් වීරවංශ වසන්ත බණ්ඩාර වැන්නන්  අදත් කියන්නේ වාමවාදී ප්‍රගතිශීලි ජාතිකත්වයක් ගැන. අර දෝලනයෙන් එන කතා.

 

හරිණි ජාතිකත්වය හැර දැමූ බුද්ධිමතියක්. පහුගිය දා අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැකීමට ගියේ පරණ වි පෙ නෂඨාවශේෂ. හරිණි එහි ගියේ නැහැ. ඇය සමහර විට නිරාගමික බුද්ධිමතියක් වෙන්න පුළුවන්. ඔය මොන උප්පරවැට්ටි කළත් මාලිමාවට වඩා සජිත්ගේ යල් පැනපු දුරකථනයට ඡන්ද ලැබෙනවා. මහා නාහිමිවරුන් රනිල්දාසට බවක් පවසාවි කියා හිතන්න බැහැ. පඬි නැට්ටකු හිතන්න පුළුවන් මා සජබ කියා. අපොයි නැහැ. මා ඔය ජන බලවේග එකකටවත් නැහැ. මා ඊනියා වාමවාදී ජාතිකත්වයෙත් නැහැ. මා මාක්ස්වාදයෙන් කැඩිල අවුරුදු හතළිහකට වැඩියි. බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදිලා අවුරුදු තිස්පහකට වැඩියි.

 

ඊයේ සයන්ස් සඟරාවේ ලිපියට හා මගේ පූර්විකාවට හිනහවෙන්නේ මාලිමාවෙ ප්‍රගතිශීලින්. ඔවුන් දැන් ඇතැම් බටහිරයන්ටත් වඩා බටහිරයන්. ඔවුන් දේශීය දැනුම මිථ්‍යා ලෙස සලකනවා.ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට හිනහ වෙනවා. පුනබ්භවයට හිනහ වෙනවා. ඒත් දන්නෙ නැතුව අහවලා අහවලාගෙ පුනරුත්පත්තිය කියනවා. ඔය මොන නිරාගමිකයකුටවත් තම සංස්කෘතියෙන් ඉවත් වෙන්න බැහැ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ.

 

එක් අයකු කියා තිබුණා මේ පරණ තැටි කියා. සමහර විට ඔහු සයන්ස් සඟරාව සතිපතා කියවනවා වෙන්න ඇති. අවුරුදු ගණනාවකට පෙර පළ වූ සඟරාත් කියවා ඇති. ඒත් මා නම් දන්නා හැටියට පහුගිය දහනවවැනි දා පළ වූ ලිපිය වැනි ලිපියක් කලින් පළ වී නැහැ. මේ පරණ තැටි යැයි කී තැනැත්තා අදාළ පරණ තැටිය ඉදිරිපත් කරන්නේ නම් රනිල්දාස පමණක් නොව රනිල් සාගල රවි ආදීනුත් ප්‍රීති ප්‍රමෝදයට පත් වේවි.

 

ජෙප්පන්ගේ හා පඬි නැට්ටන්ගේ ප්‍රතිචාරවලට අමතර තවත් අයකු නිවන ගැන අසා තිබුණා. ඔහු කිහිප දවසක් රූහඬ පටයක් ගැන කියනවා. මට ගැන නිච්චියක් නැහැ. ඒත් මා නිවන ගැන මගේ දැනුම ඉතා කෙටියෙන් මෙහි ලියනවා. ඇතැම් භික්‍ෂූන් වහන්සේ මා නිවන ගැන කියන දේ වැරදි කියා හිතනවා. මා බුදුදහම විකෘති කරන බව කියනවා. එය එසේ නම් මා ලිපි ලිවීම නතර කරනවා. මට බුදුදහම විකෘත කිරීමේ අවශ්‍යතාවක් නැහැ.

 

නිවන කියන්නෙ දැනුමක් නොවයි. එහෙත් නිවන ගැන දැනුම් තියෙනවා. මෙයත් නිවන ගැන දැනුමක් පමණයි. නිවන නාම පදයක් ලෙස කියැවුණත් එය තැනක් හරි යමක් හරි සාමාන්‍යයෙන් නාම පදයකින් දැක්වෙන දෙයක් ලෙස දැනුමක් ගොඩ නගන්න බැහැ. නිවන ගැන දැනුමක් ගොතන්න වෙන්නෙ ක්‍රියා පදයක් ලෙස.

 

සාමාන්‍යයෙන් නිවන ගැන කියන දැනුම්වල චතුරාර්ය සත්‍යය උපයෝගි කර ගන්නවා. නිවන දුක නැති කිරීම ලෙස හඳුන්වනවා. නිරෝධ සත්‍යය. දැන් ප්‍රශ්නය දුක නැති කළාට පසු සිදුවන්නේ කුමක් කියන එක. කාට හරි ලියන්න පුළුවන් පිරිනිවන් පානා තෙක් උපාධිශේෂ ජීවත් වෙනවා කියා. ප්‍රශ්නය පිරිනිවන් පෑමෙන් පසු සිදුවන්නේ කුමක් යන්නයි.

 

මා කියවා ඇති සූත්‍ර ප්‍රමාණය දෑතේ ඇඟිිලිවලට අඩුයි. එක සූත්‍රයක්වත් මාගධියෙන් කියවලා නැහැ. මා සාමාන්‍ය පෙළ පළමු වසරේ පමණක් පාළි ඉගෙන ගත් අයෙක්. ඒත් මා අසා තියෙනවා නිවන නාම පදයක් ලෙස විස්තර කරනවා. ශාන්ත වූ ප්‍රණිත වූ නිවනක් ගැන කියනවා. නිවන සැප විඳින තවත් ස්වර්ග රාජ්‍යයක් ? බ්‍රහ්මන් හා තමා එක් අයකු බව දැන ගැනීම ? නිවන එවැන්නක් නම් අප බෞද්ධයන් විය යුත්තේ ඇයි? බුදුදහමේ හා අනෙක් දැනුම් අතර වෙනස කුමක් ?

 

මට තේරෙන බුදුදහම අනුව නිවන යනු සසර කෙළවර කිරීමයි. ක්‍රියාවක්. තවත් තැනක ඉපිද සැප විඳීමක් නො වෙයි. යළි ඉපදීම නැති කිරීමයි. යළි ඉපදීම නැති කිරීම කියන්නේ ක්‍රියාවක්. දුක නැති කිරීම කියන්නෙත් ක්‍රියාවක්. ඒත් දුක නැති කිරීම කියන්නෙ සැප ඇති කිරීමක් හරි විඳීමක් හරි නො වෙයි. දුකත් සැපත් නැති කිරීමක්. නැවත නුපදීමක්. සසර කෙළවර කරන දෙවිධියක් තියෙනවා. එක් විධියකට මරණය නැති කර සැම දා ජීවත් වෙනවා. ස්වර්ග ක්‍රමය. අනෙක අතට යළි ඉපදීම නැති කිරීමෙන් සසර කෙළවර කරන්න පුළුවන්. බෞද්ධ ක්‍රමය.

 

දුක නැති කිරීම යනු සැප ඇති වීම හරි සැප විඳීම හරි කියන අය ඇරිස්ටෝටල්ගෙ ගෝලයො. සමහර විට දාසයො වෙන්නත් පුළුවන්. දුක නැත්නම් සැප ඇත යනු ද්විකෝටික න්‍යායෙන් ලැබෙන කතා. නිවන දැනුමක් නො වෙයි. නිවන ගැන අප දැනුම් සංස්කරණය කරනවා. මගේ සංස්කරණයේ නම් නිවන යනු දුකත් සැපත් දෙක නැති කිරීම. දුක ඇත් ? නැත. සැප ඇත් නැත. චතුස්කෝටික න්‍යායයි. එහෙත් නිවන චතුස්කෝටිකයකින් කියන්න පුළුවන් නාම පදයකින විස්තර කළ හැකි දෙයක් නොවෙයි. දුක නැති කිරීමේ දී සැප නැති කරනවාක් මෙන් චතුස්කෝටික න්‍යාය නැති කරනවා. සියලු දැනුම් බොරු බව ප්‍රත්‍යක්‍ෂ කරනවා. සියලු දැනුම් අත්හරිනවා. නිවන් සැප කියා කියන්න බැහැ. අප සම්මුතියෙන් එසේ කීම වෙනත් කරුණක්.

 

මේ බුදුදහම විකෘති කිරීමක් ලෙස ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ තීරණය කරනවා නම් මා ලිපි ලිවීම අත්හරිනවා.  මා අනුගමනය කරන්නේ ගැමුණු රජු. එතුමා කීවේ තම ව්‍යායාමය රජ සැප පිණිස නොව බුදුසසුනේ චිරසථිතිය සඳහා කියා. කියමන රටේ තේමා ගීීය කියන්න පුළුවන්. එදා සිට අද දක්වා සිංහලයන් කර ඇත්තේ සසුන රැකීමයි. සංවර්ධනය කිරීමයි.

 

සසුන රැකීම රට රැකීමට වඩා මූලිකයි. අර ප්‍රගතිශීලි වාමවාදී ජාතිකවාදීන්ට රට රැකීම ප්‍රධානයි. අපට සසුන රැකීම ප්‍රධානයි. සසුන රැකුණොත් රට රැකේවි. ගැමුණු රජු දවස සිට අප රට රැක ඇත්තේ සසුන රැකීමෙන්. සසුන රැකීම අපෙ මූලික කරුණයි. අද  ඇතැමුන් සසුන විනාශ කිරීමට කටයුතු කරන්නෙ රට නැති කිරීමට.  

 

පෘතුගීසීන්ට ලන්දේසීන්ට ඉංගිරිසින්ට පමණක් නොව ජේ ආර් ජයවර්ධනටත් සසුන රැකීමට ගරු කරන්න සිදු වුණා.1815 ගිවිසුමේ 1892 ආඥා පනතේත් වත්මන් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියෙත් එය දකින්න පුළුවන්. සසුනට දහම පමණක් නොව විහාරස්ථාන පිළිම වහන්සේලා බෝධීන්වහන්සේලාත් අයිති වෙනවා. සසුන රැකීම කියන එක බැරෑරුම් හිතන්න ඕන. එය ක්‍රිස්තියානි පුරාවිද්‍යාවට තීරණය කරන්න බැහැ.

 

මා බුදුදහම විකෘත කරනවා නම් පැහැදිලිව සසුන රකින්නේ නැහැ. මේ ලිපිය මා භික්‍ෂූන් වහන්සේ කිහිප නමකට යවනවා. හැකි අය හැකිතාක් භික්‍ෂූන් වහන්සේට ලිපිය ඉදිරිපත් කරන්න. මට තීරණයක් අවශ්‍යයයි