Main Logo

Tuesday 9 January 2024

කදුරුගොඩ සිංහයා

 

කදුරුගොඩ සිංහයා

 

පහුගිය දා සන්ඩේ ටයිම්ස් පත්තරේ කදුරුගොඩ ගැන ලිපියක් පළ වුණා. එහි කිසිසේත්   ලයිට් හවුස් තියෙනවා කියන්න බැහැ. රනිල් තම යාල්පානම් වට වන්දනාවේ දී කදුරුගොඩ වැඳ පුදා ගත්තා දන්නේ නැහැ. සමහර විට ලයිට් හවුස් නොවන නිසා නොගියා වෙන්නත් පුළුවන්. කදුරුගොඩ ඔය උස නැති ලයිට් හවුස් අහවල් දේකට හැදුව කියල රනිල් තමයි දන්නවා ඇත්තෙ. කොහොමටත් රනිල් යාපනේ දි අරුන් හම්බවෙලා තියෙන බවට ආරංචියක් තියෙනවා . අරුන් කිවුවෙ අරගොල්ලන් නො වෙයි අරුන් සිද්ධාර්ථන්. රනිල් අරුන් ජනාධිපති අපේක්‍ෂකයා කරන්න සාකච්ඡා කළා කියල හිතන්න අමාරුයි.

 

රනිල් ඉතිහාසය ඉගෙන ගන්නවා. ඔහු උසස් පෙළට මොන විෂය හැදෑරුවා කියා මා දන්නේ නැහැ. ජනමාධ්‍යවේදීන් නම් පාසලේ විෂය හදාරලා නැහැ. ඔවුන් හදාරලා තියෙන්නෙ අධ්‍යාපනය. අද ලංකාවෙ හුඟ දෙනෙක් අධ්‍යාපනය හදාරනවා. අපේ අධ්‍යාපනයෙ තරම එයින් පේනවා. රනිල් ගැන හිතන විට මතක් වෙන්නෙ කාලෝ ෆොන්සේකා. කාලෝ බුදුදහම හැදෑරුවා. බුදුදහම ගැන දැන ගන්න කියලා මා හිතන්නෙ නැහැ. ඇතැමුන්ට අවශ්‍ය සිංහල ඉතිහාසයට බෞද්ධකමට අනින්න. එත් අවසානයේ දී ඔවුන් ඇන ගන්නවා.

 

කදුරුගොඩ ලිපිය ලියූ ලේඛකයා කදුරුගොඩට කියන්නෙ කඳුරුගොඩ කියා. මා හිතන්නේ නැහැ එය නිවෑරදි කියා. කන්දරෝඩෙයි කියන්නෙ කදුරුගොඩ දෙමළකරණයට ලක් කිරීමෙන් හැදුණු වචනයක්. දැන් කදුරුගොඩ කඳුරුගොඩ වෙලා ? මොන ගොඩක් ? ලංකාවෙ ගොඩවල් ඕන තරම් තියෙනවා. නාගොඩ දෙමටගොඩ පෑලියගොඩ බොරළුගොඩ විතරක් නොවෙයි අම්බලම්ගොඩත් තියෙනවා. ඔය රෝඩෙයි කීයක් තියෙනවා ? රෝඩෙයි කීයක් ලංකාවෙ තියෙනවා ? තමිල්නාඩුවෙ තියෙනවා ? රෝඩෙයි කියන එකට දෙමළෙන් නිරුක්ති තියෙනවා ?

 

පහුගිය දවස්වල, මා හිතන විධියට දශක තුනකට අධික කාලයක් තිස්සේ කරන ලද කැනීම් ආදියෙන් පසුව අද පුරාවිද්‍යඥයන් කියන්නෙ කදුරුගොඩ අවට ප්‍රදේශයේ ක්‍රි පූ 750 පමණ නටබුන් තියෙනවා කියලා. ක්‍රි පූ තුන්වැනි සියවසේ පමණ අදාළ බ්‍රාහ්මී අක්‍ෂරවලින් සිංහල වචන ලියා ඇති බවත් කියනවා. ක්‍රි පූ 750 කියන්නෙ බුදුහාමුදුරුවන්ට පෙර යුගයක්. මහාවංසයට අනුව නම් විජයටත් පෙර යුගයක්. කලකට පෙර අනුරාධපුරයේ ශිරාන් දැරණියගල කැනීම්වලින් පෙනී ගියේ ක්‍රි පූ 600 -900 කාලයේ නටබුන් ඇති බවයි. කදුරුගොඩ පැත්තෙ ක්‍රි පූ 1500 පමණ නටබුන් හමු වී ඇති බවත් කියනවා.

 

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙරටට ආර්ය කිව හැකි සංස්කෘතියක් සියවස් ගණනාවක් තිස්සේ සංක්‍රමණය වී ඇති බවයි. අනුරාධපුරයට යාපනයට රුහුණට ආර්යයන් උත්තර භාරතයේ විවිධ ප්‍රදේශවලින්, පන්ජාබයට නැගෙනහිරින් පවා, මෙරටට සංක්‍රමණය වී ඇති බව කියන්න පුළුවන්. මේ ගැන මා පසුගිය දා රාජකීය ආසියාතික සංගමයේ දී මහාවංසයෙන් නොකියැවෙන දේ යන  මැයෙන් කරන ලද දේශනයේ දී සඳහන් කළා.

 

ක්‍රි පූ 750 දී කදුරුගොඩ තිබුණු සංස්කෘතියට මෙරට නාගයන්ගේ (නාවිකයන්ගේ) දායකත්වයක් තියෙන්න ඇති. ගැන ගවේෂණයක් කරන්න පුළුවන් නම් හොඳයි. කදුරුගොඩට පැමිණි ආර්යයන් ආවේ උත්තර භාරතයේ මොන ප්‍රදේශයෙන් ? කාලිංගයෙන් (වත්මන් ඔඩෙස්සා) වෙන්න පුළුවන්.  මෙහි දී කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. යාපනයේ කලක් කාලිංග දේශයක් හා සිංහපුරයක් තිබී තියෙනවා. නම් කාලිංගයෙන් පැමිණි පිරිස් පිහිටුවාගත් ජනපදයක් වෙන්න ඕන. සමහර විට නිශ්සංකමල්ල පොළොන්නරුවේ රජවෙන්න ඇත්තේ යාපනයේ කාලිංග ප්‍රදේශයෙන් පැමිණ වෙන්න පුළුවන්. ඔහු භාරතයේ කාලිංගයේ සිට පැමිණ රජකමට හිමිකම් කියා රජකම ගත්තා කියා හිතන්න අමාරුයි. 

 

රටකින් රටකට හරි ප්‍රදේශයකින් ප්‍රදේශයකට හරි සංක්‍රමණය වන්නන් තම නව වාසස්ථාන පැරණි වාසස්ධානවල නමින් නම් කිරීම සුලබ කරුණක්. ඇමරිකාවේ හා අනෙක් ඉංගිරිසි ක්‍රිස්තියානි රටවල බොහෝ ප්‍රදේශ නම් කර ඇත්තේ එංගලන්තයේ ප්‍රදේශවල නමින්.

 

කදුරුගොඩ හා දිවයිනේ අනෙක් ප්‍රදේශවල අක්‍ෂර හා වචන අධ්‍යයනය කිරීමෙන් බොහෝ දේ දැන ගැනීමට හැකි වේවි. යක්‍ෂයන්   නාගයන් දේවයන් ප්‍රදේශවල ආර්ය සංස්කෘතීන් හොඩ නැගීමේ දි දායක වූ ආකාරය වෙනස් වෙන්න පුළුවන්. රාවණ පුවත මෙරට එකක් වුවත් නැතත් ඉන් කියැවෙන්නේ භාරතයේ වින්ධ්‍යා කඳු වැටියෙන් දකුණට වූ ප්‍රදේශයට ආර්ය සංස්කෘතිය පැමිණීමයි. අද දකුණු ඉන්දියාවේත් ආර්ය සංස්කෘතිය යම් ප්‍රමාණයකට හරි තියෙනවා. හින්දු සංස්කෘතිය විශේෂිත වෙනස්කම් මැද වුවත් අද මුළු ඉන්දියාවට පොදුයි. 

 

දකුණු ඉන්දියාවට ද්‍රවිඩ සංස්කෘතිය පැමිණ ඇත්තේත් පිටින්. වෛදික සංස්කෘතිය දකුණු ඉන්දියාවේත් දකින්න පුළුවන්. අපේ රටේත් වෛදික සංස්කෘතිය දකින්න පුළුවන්. වෛදික සංස්කෘතිය ආර්ය සංස්කෘතියක් මිස ද්‍රවිඩ සංස්කෘතියක නොවෙයි.  දකුණු ඉන්දියාවේ ඇත්තේ ආර්ය සංස්කෘතියේ ද්‍රවිඩ සංස්කෘතියේ හා තවත් සංස්කෘතින්හි මිශ්‍රණයක්.  එය හුදු ද්‍රවිඩ සංස්කෘතියක් නො වෙයි.

 

අප රටට සියවස් ගණනාවක් තිස්සේ ආර්යයන් පැමිණ තියෙනවා. ක්‍රි පූ නවවැනි සියවසේ පමණ සිට වෙන්න පුළුවන්. ක්‍රි පූ තුන්වැනි සියවස පමණ වන විට රට එකී ආර්ය සංස්කෘතිය වැළඳ ගෙන තියෙනවා. ගැමුණු රජු එහි දී විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇති බව පැහැදිලියි. කදුරුගොඩත් ගැමුණු සංකේත ඇති බව කියනවා. ගැමුණු රජු මහාවංසයේ වීරයා වුණේ හුදෙක් එළාර පරාජය කිරීම නිසා නො වෙයි. රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත කෙළේ එතුමායි.