Main Logo

Friday 5 January 2024

උගතුන් මැද නූගතකු කළ දේශනය හා මොටාව

 

උගතුන් මැද නූගතකු කළ දේශනය හා මොටාව

 

මා අසාර්ථක පුද්ගලයකු බව පෙරේදා (ජනවාරි 03) පැවති ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ රැස්වීමේ දී නැවතත් තහවුරු වුණා. එතැන රැස්වී සිටියේ මහජන පුස්තකාලයේ රැස්වීමකට පැමිණෙන පිරිස නො වෙයි. එතැන සිටියේ උගත් පිරිසක්. ඔවුන් මා කියන දේ අසාගෙන සිටින්නවත් උත්සාහ ගත්තේ නැහැ. ඔවුන් නිතර බාධා කළා. මට තේමාවකට කතා කරන්න දුන්නේ නැහැ. එහෙත් මා හැකිතාක් කෝප නොවී මගේ කතාව කරගෙන ගියා. මට පොඩි ළමුන් කරන දේට කේන්ති යන්නේ නැහැ.  ඊයේ පළ කළ පහත රාමුවේ ඇති රූහඬපටය නැරඹීමෙන් උගතුන්ගේ හැසිරීම තේරුම් ගන්න පුළුවන්.

 

මෙරට මෙටාවේත් මොටාවේත් උගතුන් මා ප්‍රතික්‍ෂෙප කරන බව මා දන්නවා. රැස්වීමට පැමිණ සිටි රාජකීය ආසියාතික සංගමයේ මෙන් ලංකා විිද්‍යාභිවර්ධන සංගමයේ සභාපති සිටි සුසන්ත ගුණතිලක විනාඩි පහකින් රැස්වීමෙන් පිට ගියේ මා  කියන්නේ කුණුහරුප බව කියමින්. සුසන්ත ගුණතිලක සමාජ විද්‍යාඥයෙක්. මා කිසිම ආකාරයක විද්‍යාඥයෙක් නො වෙයි.

 

එතැන සිටි බොහෝ දෙනා මා දරණ අදහස්වලට විරුද්ධ අය. ගැන මට ප්‍රශ්නයක් නැහැ. මෙරට මගේ අදහස් සමග එකඟ වන දහ දෙනකුවත් නැහැ. අප සමග වැඩ කළ බොහෝ දෙනකු අර චාමර ශිරන්ත කියන පරිදි මට විරුද්ධයි. ගුණදාස අමරසේකර ගෙවිඳු කුමාරතුංග ආදීන් ලැයිස්තුවේ ඉන්නවා. සුමේධ වීරවර්ධන වරුණ චන්ද්‍රකීර්තිත් එහෙමයි. ඔවුන් ඉතා ඉහළ ගණයේ ජාතිකවාදීන්. අර ඉංගිරිසියෙන් ජාතිකවාදී කතා ලියන අශෝක අමරතුංග ඉතා ඉහළ ගණයේ දන්ත වෛද්‍යවරයෙක් වෙන්න ඕන. ඔහු මා විද්‍යාව ගැන කියන දේට විරුද්ධයි.

 

එහි දී මා ඔහු විවේචනය කිරීම ගැන සුමේධ වීරවර්ධන විරුද්ධ වෙනවා. සුමේධට අනුව මා ගුණමකුවෙක්. කොළඹ මොටාවෙන් මා අස්කෙරුණු අවස්ථාවේ එයට විරුද්ධ ලියූ පෙත්සමේ පළමු අත්සන තැබුවේ අමරතුංග බැවින් මා ඔහු විවේචනය කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි සුමේධ සලකන්නේ. එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ දාසයකුට විරුද්ධව ලියන්න මට පෙත්සම බලපාන්නේ නැහැ. සංස්කරණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන පොතක් ලියා පේරාදෙණිය මොටාවේ ගැන සම්මන්ත්‍රණයක් පවත්වා මට මොටාවේ පිළිගැනීමක් ලබා දුන්නේ තමන් යැයි සුමේධ හිතනවා ඇති.

 

එහෙත් මට කිසිම මොටාවක කිසිම පිළිගැනීමක් ලැබී නැහැ. මට විශ්‍රාම ගැනීමෙන් පසු කිසිම මෙටාවකින් කිසි දා බාහිර දේශනයක් සඳහා ආරාධනයක් ලැබී නැහැ. කොළඹින් අස් කෙරුණු මා කැලණියට ගියේ කොළඹටත් කැලණියටත් විරුද්ධ නඩු කීමෙන් පසුව. නීතිඥයන්ගේ හා මගේ තර්කඥානයේ පිහිටෙන්. එසේ නැතුව මොටාවන්ගේ කැමැත්තකට නො වෙයි. මා කොළඹින් අස් කෙරුණේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති සිටිමින් වෘත්තීය සමිති අරගලයක නිරත වෙමින් සිටිය දී.

 

එහි දී කොළඹ ආචාරය සංගමයක සාමජිකත්වය අහිමි වීම නිසා මා කිසිම සංගමයක නියෝජිතයකු වුණේ නැහැ. එවැවින් මට ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතත්වයත් අහිමි වෙන්න තිබුණා. කොළඹ මොටාවෙ උපකුලපති ජී එල් පීරිස් මට මොටා භූමිය තහනම් කිරීම නිසා ආචාර්ය සමිති සම්මේලනයේ රැස්වීමක් පාරේ මාරගහක් යට පවත්වන්න සිද්ධ වුණා. පුවත්පතින් බව දැනගත් අර්ජුන අළුවිහාරේ අපට රැස්වීම් පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පාලක මණ්ඩල රැස්වීම් ශාලාව ලබා දුන්නා. කොළඹ මොටාවේ පියසීලි විජේගුණසිංහ හැරෙන්න අද වීරයන් වී ඇති කිසිවකු කිසිවකට විරුද්ධ වුණේ නැහැ.  නිවුටන් ගුණසිංහ ජයදේව උයන්ගොඩ වැන සුපිරි වාමාංශික බුද්ධිමතුන් හිටියේ ජී එල් සමග. 

 

ඔවුන්ට වෘත්තීය සමිති අරගලය පරාජය වුණත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ මා විශ්වවිද්‍යාලයෙන් හා සම්මේලනයෙන් එළවීමයි. විමලසේන ඈපාසිංහ කිත්සිරි සමරනායක ආදීන් පමණක් නොව ශාස්ත්‍ර හා නීති පිඨවල ඇතැම් වාමාංශිකයන් මා එළවීමට කටයුතු කළා. නීති පීඨයේ ශාරියා සොයිසා ජාතිකවාදිනියක නොවුවත් හැදුණු වැඩුණු පසුබිම කෙසේ වෙතත් ජී එල් පීරිස් සමග එකඟ වුණේ නැහැ. එහෙත් පසු කලෙක අගවිනිසුරු වූ ශිරානි බණ්ඩාරනායක එදා සිටියේ ජී එල්ගේ පැත්තේ.

 

කෙසේ නමුත් මට පිහිට වූයේ ඉංගිරිසි උපදේශකවරුන්ගේ සංගමය. එහි ඔරානි ජැන්ස් මැදිහත් වී මා තම සංගමයේ බාහිර සාමාජිකයකු ලෙස පත් කරගෙන මට එම සංගමයේ සම්මේලන නියෝජිතත්වය ලබා දුන්නා. එලෙස මා මොටාවෙන් අස්කිරීමෙන් පසුවත් ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස වෘත්තීය සමිති අරගලය මෙහෙයවූවා. සමහර විට පේරාදෙණි මොටාවේ ඉංගිරිසි මහාචාර්ය අරජුන පරාක්‍රමට මේ කතා මතක ඇති. සටනේ පෙරමුණේ සිටි අර්ජූන සොයිසා ඔරානි ජැන්ස් අද අප අතර නැගැ. මුත්තුකුමාරස්වාමි  ගැන අරංචියක් නැහැ. කෙසේ නමුත් අප සටන ජයගත්තා. ඉතා හොඳ වැටුප් වැඩිවීමක් ලබා ගත්තා. අදටත් ක්‍රියාත්මක වන්නේ එදා 1993 දි තීරණය කළ වැටුප් ව්‍යුහ.   එහෙත් මට වැටුප අහිමි වුණා. ආචාර්ය සමිති සම්මේලනය කෙතරම් පළිගැනීමකට යොමු වුණා කිවහොත් ඉංගිරිසි උපදේශක සංගමය සමිති සම්මේලනයෙන් ඉවත් කෙරුණා. තමයි මොටාව. චම්පක තම කාර්යභාරය ඉටු කරමින් ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක වීම නවත්වා ජී එල්ට සහාය දුන්නා.

 

මෙරටින් අවුරුදු දහස් ගණනකට බුද්ධිමතුන් බිහි වී නැහැ. මා කිසිම මට්ටමක  උගතකුවත් නො වෙයි. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අදක්‍ෂයෙක්. මා මෙරටින් බුද්ධිමතුන් බිහි වී නැති බව රාජකීය ආසියාතික සංගමයේ රැස්වීමේ දී කී විට ඔවුන්ට කේන්ති ගියා. ඔවුන් හිතන්නේ තමන් බුද්ධිමතුන් කියා. අය තම තමන් කළ දේ කියන්න ගත්තා. අරියදේච හමුදුරුවන් ගැන කිවුවා. විලේගොඩ අරියදේව මහාචාර්ය හාමුදුරුවන් ගැන නො වෙයි. අර නාගර්ජුන හාමුදුරුවන්ගේ ආයතනයේ ඉගැන්වූ අරියදේව හාමුදුරුවන්.

 

අදත් ඉන්නවා එංගලන්තයේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල මහාචාර්ය පදවි දැරූ දරණ අය. එහෙත් ඔවුන් නාගර්ජුන හාමුදුරුවන්ගෙ මට්ටමේ තබා අඩුම තරමෙන් ස්ටීවන් හෝකින්ගෙ මට්ටමේවත් අය නො වෙයි. අපට බුද්ධිමතා හා උගතා අතර වෙනස තේරෙන්නේ නැහැ. අපේ උගතුන්ගේ උගත්කම එබඳුයි. මා නූගතකු නිසා දෝ මට වෙනස තේරෙනවා.

 

අවසානයේ දී ඔවුන් කීවේ මා අසර්ථක බවයි. මා මාතෘකාවට අනුව කතා නොකළ බව කිවුවා. එක් මහත්මියක් කිවුවේ මා අයාලේ ගිය බවයි. ඇයට සරල රේඛාවක් හා වෙනත් රේඛාවක් අතර වෙනස තේරී තිබුණේ නැහැ. ඇය හිතන් ඉන්නේ සරල රේඛා නොවන රේඛා අයාලේ යන රේඛා බවයි. ඇයටත් බොහෝ අයට මෙන් නොකියැවෙන දේ හා නොකී දේ අතර වෙනස තේරී නැහැ. මා කතා කෙළේ මහාවංසයෙන් නොකියැවෙන දේ මිස මහානාම හාමුදුරුවන් නොකී දැ නොවෙයි. මහානාම හාමුදුරුවන්  නොකී දැ මා දන්නේ නැහැ. මහාවංසයෙන් නොකියැවෙන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය පිහිටුවනු ලැබුවේ කෙසේ යන්නයි. බව මා දේශනයේ දී කී නමුත් බොහෝ උගතුන්ට  ඒ් බව වැටහුණේ නැහැ. ඔවුන්ට වියුක්තය කිසිසේත් තේරෙන්නේ නැහැ. සිංහලයන්ට ගණිතය බැරි වීම පුදුමයක් නො වෙයි. උගතුන් බලාපොරොත්තු වූයේ අහවල් දේ මහාවංසයේ කියැවී නැත යනුවෙන් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමයි. මා ලැයිස්තු සපයන්නෙක් නො වෙයි.

 

රැසවීමට පැමිණ සිටි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති නම් මා චින්තකයකු බව කීවා. ඔහු බව කලක සිට කියනවා. එහෙත් මොටාව එය පිළිගන්නේ නැහැ. මා නම් දන්නේ මා නූගතකු බවයි.