Main Logo

Monday 29 January 2024

මිහිඳු හිමියන්ගේ සිස්ටම් චේන්ජ්

 මිහිඳු හිමියන්ගේ සිස්ටම් චේන්ජ්


මිහින්තලේ නායක හාමුදුරුවන් පහුගිය දා හොඳ ප්‍රකාශයක් කර තිබුණා. උන්වහන්සේගේ  හැම කියමනක් ම සමග මා එකඟ නැති වුණත් මේ කියමන නම් මසුරන් වටිනවා. ඒ ප්‍රකාශය කර තිබුණේ දිලිත් ජයවීරට. මා දිලිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙහි නැති බව කීප වතාවක් කියා ඇති නමුත් ඇතැමුනට එය පෙනෙන්නේ නැහැ. ඒ ගැන පසුවට. දැන් නායක හාමුදුරුවන්ගෙ ප්‍රකාශයට.


උන්වහන්සේ කර තිබුණේ ඉතා සරල ප්‍රකාශයක්. එහෙත් එය ප්‍රවෘත්ති ප්‍රකාශකයකින් ඇසූ මා වෙනත් ලෝකයකට ගියා. නායක හාමුදුරුවන් ප්‍රකාශ කර තිබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ සිස්ටම් චේන්ජ් කෙළේ මිහින්තලාවේ දී බව. ඒ අදහස ඊට කලින් කිසිවකු ඒ ආකාරයෙන් කියා තිබුණේ නැත්තේ ඇයි ද කියා මා සිතන්න වුණා. 


සිස්ටම් චේන්ජ් යන්න වඩාත් ජනප්‍රිය යෙදුමක් බවට පත් වූයේ පරගලයත් සමග. පරගලයෙන් සිදු වූ සිස්ටම් චේන්ජ් එකක් නැත්නම් පද්ධති වෙනසක් ක්‍රම වෙනසක් නැහැ. බටහිර ක්‍රමය තවත් තහවුරු  වීම පමණයි සිදු වුණේ. බටහිර සෘජු නියෝජිතයා වූ රනිල් ජනාධිපති කිරීමේ බටහිර සැලැස්ම ජය ගත්තා. ආතල්ගම රකින්න රනිල් තම ඥාති රුවන් විජේවර්ධනට භාර දුන්නා.  බටහිර ඉත්තන් වූ පරගලයන් අද විවිධ ක්‍රම මගින් රනිල් තව තවත් තහවුරු කරමින් ඉන්නවා. ඔවුන් ඒ කරන්නේ සිංහල බෞද්ධ විරෝධී ජාජබ මගින්, මාලිමාව මගින්. 


රනිල් ජනාධිපතිවරණයක් පැවැත්වීම අවුල් නොකළොත් ජනාධිපතිවරණයක දී රනිල්දාසට දෙන හැම ඡන්දයක් ම රනිල්ට වාසියක් වන්නේ රනිල්ගේ විරුද්ධ ඡන්ද ගොඩ බෙදීමෙන්. රනිල්දාසට සම්ම ජාතියේ දිනන්න බැහැ. ඔහුට කළ හැක්කේ රනිල් විරෝධී පිල බෙදීම පමණයි. රනිල්දාස දිනන අපේක්‍ෂකයකු නොව තම ස්වාමියා වෙනුවෙන් බෙදන අපේක්‍ෂකයෙක්. 


බටහිරයන් කලක සිට මෙරට ක්‍රම වෙනසක් කරන්න උත්සාහ ගන්නවා. පෘතුගීසීන් මෙරටට පැමිණි දිනයේ සිට බටහිරයන් ඒ උත්සාහය කරනවා. බටහිරයන් ආසියාවේ දී ඒ සම්බන්ධයෙන් සාර්ථකත්වයක් ලබා ඇත්තේ පිලිපීනයේ හා මෑතක දී දකුණූ කොරියාවේ පමණයි. තායිලන්තයේ හා වියට්නාමයේ විකෘත බුදුසසූන් ඇති කර තියෙනවා. ළඟ දී අප තායිලන්තය සමග අත්සන් කිරීමට යන ගිවිසුම අර මිහිඳු මහා රහතන් වහන්සේගේ ක්‍රමයෙන් ඉවතට ගැනීම සඳහා වූ ක්‍රමයක් වේවි.


මිහිඳු මහා රහතන් වහන්සේ අවුරුදු දෙදහස් හාරසීයකට පමණ පෙර ක්‍රම වෙනසක් කෙළේ හොඳින් හිතා බැලීමෙන් පසුව. දේවානම්පිය තිස්ස රජුගෙන් ඇසූ ප්‍රශ්නවලින් හා දුන් පිළිතුරුවලින් පැහැදිලි වන්නේ බුදුසසුන මෙරට පිහිටුවීම සඳහා පසුබිමක් තිබූ බවයි. මේ ප්‍රශ්න ගැන විග්‍රහයක් අවුරුදු තිස්පහකටත් ඉහත මා කළ නමුත් එය ඊනියා උගතුන්ගේ සැලකිල්ලට බඳුන් වුණේ නැහැ. අවසනාවකට හාමුදුරුවරුන් ද එය ඉවත දැම්මා. 


මිහිඳු මහා රහතන් වහන්සේ තිබුණු ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත දැම්මෙත් නැහැ. අපේ බෝධි වන්දනාව තිබූ ක්‍රමය සමග පෑහෙනවා. මිහිඳු හිමියන් එක්තරා ආකාරයකින් කෙළේ බුදුදහම මෙරට තිබූ ක්‍රමයට අවශෝෂණය කිරීමක්. උන්වහන්සේ මෙරටට වැඩම කෙළේ හමුදා සේනාංක සමග නො වේ. උන්වහන්සේ වෙළඳාම පිණිස වැඩියාත් නො වේ. අශෝක රජුට දිවයින අත්පත් කර දීමට උත්සාහයක් තිබුණේත් නැහැ. හුදෙක් රජු හා වැසියන් කෙරෙහි වූ අනුකම්පාවෙන් දඹදිව සිට මෙරටට වැඩම කළා.


උන්වහන්සේ ඇති කළ ක්‍රමය අද වන තුරුත් රටේ පවතිනවා. මෙරට බුදුසසුන පිහිටුවන්නේ කෙසේ ද යන්න පිළිබඳ අදහසක් උන්වහන්සේට තිබුණා. බටහිරයන් හමුදා රැගෙන මෙහි පැමිණියත් ඔවුන්ට මහා දෙයක් කළ හැකි වූයේ නැහැ. ඔවුන්ට කළ හැකි වූයේ අනුකාරකයන් ටිකක් බිහි කිරීම පමණයි. දීප ව්‍යාප්ත අනුකාරක පාසල් ජාලයක් නීති පද්ධතියක් පරිපාලනයක් ඇති කිරීමෙන් පසුවත් අනුකාරක අහිනක් ඇති කිරීමට වඩා දෙයක් කිරීමට බටහිරයන්ට හැකි වුණේ නැහැ. 


එහෙත් විටින් විට පනස්හයේ සිට අප නැවත නැවතත් බටහිරයන්ගෙන් ඉවත් වීමට කටයුතු කර තියෙනවා. අප ලත් විශාලත ම ජයග්‍රහණය වුණේ වෙල්ලාලයන්ගෙ ජාතිවාදය වෙනුවෙන් අවි අතට ගත් දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමයි. එසේ කිරීමට නොහැකි වුණා නම් මෙරට බටහිර ක්‍රමයක් ඇති වෙන්න තිබුණා. අද රනිල් මගින් බටහිරයන් කරන්නේ තමන්ට වෙල්ලාලයන් මගින් කරගත නොහැකි වූ දේ කර ගැනීමයි. ජාමුල උපදෙස් එහි එක් පැතිකඩක් පමණයි. 


මිහිඳු හිමියන් සමයෙහි රජු සමග සිටි පිරිස බෞද්ධ වීම හා දොන් ජුවන් සමග එවැනි පිරිසක් බෞද්ධ නොවීම අතර විශාල වෙනසක් තියෙනවා. දේවානම්පිය තිස්ස රජුට හරි උත්තිය රජුට හරි විරෝධී රාජ්‍ය බලයක් තිබුණේ නැහැ. මිහිඳු හිමියන් එවැනි අරගලයක දී රජුගේ පැත්ත ගෙන බෞද්ධ වීමට බල කළා නො වෙයි. එහෙත් පෘතුගීසීන් ආගම් ප්‍රචාරය සඳහා පැමිණියේ හමුදා සමග. ඔවුන් බුවනෙකබා රජුට රාජ්‍ය තන්ත්‍රය පවත්වා ගෙන යෑමට මායාදුන්නේට විරුද්ධ ව ආධාර කළා. පෘතුගීසි ආගම් ප්‍රචාරය දේශපාලන වැඩක්. මිහිඳු හිමියන්ට දේශපාලන අරමුණක් තිබුණේ නැහැ. 


බටහිරයන් බිහි කර ඇති අනුකාරක පඬි නැට්ටන්ට වාක්‍ය කිහිපයක් තේරූම් ගන්න බැහැ. මා දිලිත්ගේ දේශපාලන ව්‍යාපෘතියෙහි නැති වුවත් ඒ බව කියා ඇතත් ඔවුන් පහත සඳහන් කතා කියනවා. පහත පළවන්නේ ජක් පිට මක් කෙනකුගේ කතාවක්. ඉන් වාසියක් වන්නේ පඬි නැට්ටන්ට නම් වෙන්න බැහැ.          


“මා ඇමෙරිකා යාමට පෙර දිලිත් මාව මුන ගැහුන. ඔහු නියම ජාතිකවාදියෙක්. මෙවර මගේ සහය ඔහුට.

-නලින් ද සිල්වා”


මා එවැන්නක් කිසි දා කියා නැහැ.