Main Logo

Wednesday 24 January 2024

මානව අයිතිවාසිකම් හා යුක්තිය මෙහෙයුම

 

මානව අයිතිවාසිකම් හා යුක්තිය මෙහෙයුම

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නැවතත් කරළියට ඇවිත්. මෙවර නිල වශයෙන් නොවෙයි. කොමිසම සමග ක්‍රියාත්මක වන ස්වේච්ඡාවෙන් කටයුතු කරන ඊනියා විශේෂඥ කණ්ඩායමක් ලෙස. අපට කොමිසම මෙතෙක් මතක් කර දුන්නේ වෙල්ලාලයන්ගේ හා ඔවුන් වෙනුවෙන් අවි අතට ගත් දෙමළ ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම්. අද මේ විශේෂඥයන් මතක් කරන්නේ මත්දූව්‍ය භාවිතා කරන්නන්ගේ මානව අයිතිවාසිකම්.

 

විශේෂඥයන්ට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එසේ කිරීමට අයිතියක් තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම ආදිය වැරදියි. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ දී ඔවුන්ගේ කැමැත්ත විමසන්න ඕන. මේ විශේෂඥයන් විවිධ රටවල අය. මට පේන විධියට විශේෂඥ කමිටුවේ සභාපති ඉන්දීය සම්භවයක් ඇත්තෙක්. මොන සම්භවයක් තිබුණත් ඔවුන් දැන් ක්‍රියාත්මක වන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයක. ඔවුන්ගේ සිතුම් පැතුම් මෙහෙයවන්නේ බටහිර සංස්කෘතිය විසින්. මෙරට පඬි නැට්ටන් යුක්තිය මෙහෙයුම් නවත්වන ලෙසට කළ ඉල්ලීමට මේ වන තුරු ප්‍රතිචාර දක්වා නැහැ.

 

අප කෙතරම් දුරට බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය විසින් මෙහෙයවනු ලබනවා යන්න මෙයින් පැහැදිලි වෙනවා. බටහිරයන් ඉන්දියාවට මෙවැන්නක් කිසි දිනෙක කියන්නේ නැහැ. ඉන්දියාව අයෝධ්‍යා ප්‍රදේශයෙහ් මුස්ලිම් පල්ලියක් කඩා තිබුණු තැන රාම කෝවිල නමින් හින්දු කෝවිලක් තනා මෝදිගේ ප්‍රධානත්වයෙන් පහුගිය දා විවෘත කෙරුණා. මානව හිමිකම් කොමිසමේ කිසිවකු කට හෙල්ලුවේ නැහැ. ආක්‍රමණශීලී හින්දු සංස්කෘතියට බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හිස නැමීම.

 

මෙරට හින්දු සංස්කෘතියත් කුරුන්දියේ ශිව ලිංග හදන්නෙත් දඹකොළ පටුනේ තිස්ස විහාරයට විරුද්ධ වන්නේත් ආක්‍රමණශීලී භාවය නිසා. නිකම් හිතන්න උතුරු හා නැගෙනහිර පළාත්වල හින්දු ඊළමක් පිහිටෙවුවොත් මොනව වේවි කියා. බෞද්ධ පුළුටක් තියෙන එකක් නැහැ. දෙමළ කතා කරන ඊනියා අඩු කුල අයට කෝවිලකට ඇතුල් වෙන්න බැරි වේවි.

 

අද ඇතැමුන් සිංහල බෞද්ධ සභ්‍යත්වයක් ගැන කියවනවා. සිංහල බෞද්ධ සභ්‍යත්වයක් නැහැ. සභ්‍යත්වය කියන එක බටහිර සංකල්පයක්. බටහිර හරි වෙනත් තැනක හරි සංකල්ප යොදා ගැනීමේ දී අප පරෙස්සම් වෙන්න ඕන. නමුත් සිංහලයන් එසේ කරන බවක් පේන්න නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියක් (හැදිච්චකමක්) නම් තියෙනවා. හැදිචචකම බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හරි හින්දු සංස්කෘතිය හරි වගේ ආක්‍රමණශීලී නැහැ. නිසා ඔවුන් හිතනවා අප නිවටයන් කියා. අපේ ඇතැමුන් ආක්‍රමණශීලී නොවන ගතිය නිවටකමක් බට පත්කරන්.

 

අද බටහිර මානව හිමිකම් තීරණය වන්නේ ඔවුන්ගේ සභ්‍යත්වයට හා සංස්කෘතීන්ට සාපේක්‍ෂ . බටහිර මත්පැන් පානය සංස්කෘතික කටයුත්තක්. එය ආදියේ සිට පිළිගත් දෙයක්. බටහිර මත්පැන් තහනමක් නැහැ. එමෙන් මත්පන් පානය නොකර සිටීමත් වරදක් නො වෙයි. එහෙත් මත්පැන් බටහිර සංස්කෘතියේ පිළිගත් දෙයක්. මත්ද්‍රව්‍ය කියන්නේ මත්පැන්වල දිගුවක් පමණයි. මත්ද්‍රව්‍ය භාවිතය බටහිර නොපිළිගත් දෙයක් නො වෙයි. එපමණක් නොව ආයුධ පාවිච්චියත් පිළිගත් දෙයක්. කියන්නේ ආත්මාරක්‍ෂාවට කියා. එහෙත් අද සිදුවන ඝාතන ආත්මාරක්‍ෂාව සඳහා නම් නො වෙයි.

 

අපේ සංස්කෘතියට මත්පැන් පුරුදු කෙළේ බටහිරයන්. විශේෂයෙන් ඉංගිරිසින්. මා දන්නවා පඬි නැට්ටකු කියන්න පුළුවන් සුරනිමල රා බිවු බව කඩොල් ඇතාට රා පොවපු බව. රා සුරා වුවත් නැතත් සුරනිමල කියන්නේ ව්‍යතිරේඛයක්. අද වන විට ලංකාව සුරාසලක් බවට පත්වෙලා. පඬි නැට්ටන් ඊනියා ප්‍රබුද්ධ කලාකරුවන් මී විත තොල ගාන එක ගැන කියන්නෙ ආඩම්බරයෙන්. මගේ ජීවිතේට මා ජරාව කටේ තියල නැහැ. මට පුරුද්ද ලැබුණෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙන්.  පඬි නැට්ටෙක් අහන්න බැරි නැහැ කටේ තියන්නෙ නැතුව ජරාවක් බව දන්නෙ කොහොමද කියල. වගේ ප්‍රශ්නවලට රාහුල හාමුදුරුවො පිළිතුරු දීල තියෙනවා.

 

මානව හිමිකම් අනුව අනෙක් අයකුට කරදරයක් වෙන්නෙ නැති තාක් යමකුට යමක් කරන්න පුළුවන්. මගේ සැරයටිය සෙළවීමට ඇති නිදහස අනෙකාගේ නාසයෙන් කෙළවර වෙනවා වගේ කතාවක් බටහිර තියෙනවා. මෙය සම්පූර්ණයෙන් පෞද්ගලිකත්වය මත පදනම් වෙලා ගොතපු කතාවක්. සමාජයේ ජීවත් වන්නේ මා හා අනෙකා පමණක් නම් කතාව හරියන්න පුළුවන්. ඒත් සමාජයේ මා කරන දෙයක් ඉතා දුරකින් ඉන්න අයටත් බලපාන්න පුළුවන්.

 

දරුවකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණොත් එය දෙමවුපියන්ට පමණක් නොව මුළු මහත් සමාජයට ප්‍රශ්නයක්. බටහිර සභ්‍යත්වයේ සංස්කෘතීන්වල මානව අයිතිවාසිකම් නිර්වචනය කරන ආකාරයට අපත් නිර්වචනය කරන්න අවශ්‍ය නැහැ. අපට මුළු මහත් සමාජය සලකන්න අවශ්‍යයයි. අනෙක් අතට මෙරට මත්ද්‍රව්‍ය ගැන විවිධ පුද්ගලයන් මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් බෙදා හරින්නන් කතා කරනවා. ඔවුනුත් ඊනියා මානව අයිතිවාසිකම්වල එල්ලෙන්න පුළුවන්.

 

අප බුදුදහමෙන් පෝෂණය වූ සංස්කෘතියක් ඇති ජාතියක්. අපේ සංස්කෘතියේ නොකළ යුතු වෙළඳාම් තියෙනවා. අප යමක් කළ යුතු නැත් ආදිය තීරණය කිරීමේ දී සමාජය සැලකිල්ලට ගන්න ඕන. අප බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට විය යුතු නැහැ.