Main Logo

Thursday 10 January 2019

බැසිල් සමග මහින්ද එකඟ වෙනවා ද?


බැසිල් සමග මහින්ද එකඟ වෙනවා ද?



මා බැසිල් රාජපක්‍ෂ සමග සංසන්දනය කළ විට ඉතාමත් නොවැදගත් චරිතයක්. මට ඔහු හමු වී ඇත්තේත් දෙතුන් වතාවක් පමණ. මා මෙන් නොව ඔහු මහා මොළ කාරයකු හා වැඩ කාරයකු ලෙසයි ප්‍රසිද්ධ. එහෙත් ඔහුගේ දේශපාලනය හා කතාබහ මා අනුමත කරන්නේ නැහැ. ඔහු ඊයේ පළ වූ අනිද්දා පුවත්පතට කර තිබූ ප්‍රකාශ සමග කිසිසේත් එකඟ වෙන්න බැහැ. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙන් නොවෙයි දේශපාලනය පටන් ගත්තේ. ඔහු ගාමිණී දිසානායක ළඟ වැටුපට වැඩ කළ බව මා අසා තිබෙනවා. ඒ එසේ නොවන්න පුළුවන්.




ඔහු ගෙන ඇති වැරදි තීරණ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහු ඇමතිවරයකු ව සිටි කාලයේ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවට පාඩු වන දේ කර තිබෙනවා. ඒ ඔහුගේ මුහුකුරා ගිය ගතියකට සාක්‍ෂි වන්න බැහැ. මා මේ කියන දේ ගැන පොහොට්ටු සාමාජිකයන් කැමති වන එකක් නැහැ. අනිද්දා පුවත්පත කරන්නේ කවු ද? එයට මුදල් ලැබෙන්නේ කොහෙන් ද? ඒ පුවත්පතේ ප්‍රතිපත්තිය කුමක් ද? බැසිල් රාජපක්‍ෂ ඕනෑම පුවත්පතකට මධ්‍යයකට ප්‍රකාශ නිකුත් කරනවා ද?



බැසිල් රාජපක්‍ෂ ඊයේ පළ වූ අනිද්දා පුවත්පතට කර ඇති ප්‍රකාශයත් මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනයට පටහැණි බවයි මගේ නිගමනය. මා වැරදි වෙන්න පුළුවන්. එහෙත් මා ඒ බව ප්‍රසිද්ධියේ කියනවා. මට බැසිල් රාජපක්‍ෂට වගේ ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ. එබැවින් මා කියන දේ ජනමාධ්‍යයෙහි පළ වන්නේ නැහැ. අනිද්දා වැනි පුවත්පතකට නම් ආරාධනය කළත් මා කිසිසේත් ම ප්‍රකාශයක් කරන්නේ නැහැ.



බැසිල් රාජපක්‍ෂ අනිද්දා පුවත්පතට කර ඇති ප්‍රකාශය, විශේෂයෙන් ම දෙමළ කතාකරන ජනයාට ඇති ප්‍රශ්නය ගැන කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මා ඔහුට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා. ඒ අභියෝගයත් මේ ලිපියත් වගේ ම මගේ අනෙක් ලිපිත් ඔහුට විද්‍යුත් තැපෑලෙන් යවනවා. මෙය හිස් අවකාශයක කරන අභියෝගයක් නො වෙයි. ඔහු අභියෝගය පිළිගන්නේ නම් මා හිතනවා දෙරණ වාදපිටිය ඒ සඳහා සුදුසු ය කියා. ඔහුට වෙනත් සුදුසු තැනක් යෝජනා කරන්න පුළුවන්.



ඔහු මා නොවැදගත් පුද්ගලයකු කියා අභියෝගය නොපිළිගන්න ඉඩ තියෙනවා. මාත් ඒ බව නම්, මා නොවෑදගත් පුද්ගලයකු බව නම්, පිළිගන්නවා. මට ඒ ගැන කරන්න දෙයක් නැහැ. අද ඔහුගේ සමීප ම දේශපාලන සගයකු බවට පත් වී ඉන්න, කලක් ජනාධිපති ප්‍රේමදාස වැනි අයට සේවය කළ එ ජා ප හිතවාදී වූ ජී එල් පීරිස් හිතන්නේත් මා නොවැදගත් පුද්ගලයකු ලෙසයි. සමහරවිට ඔහු මා කඩාකප්ලකාරයකු ලෙසත් හිතනවා ඇති. එහෙත් ජී එල් පිරිස් මෙන් මා සමගාමී ලැයිස්තුව අයින් කළ යුතු බවට ලිපි දීලා නැහැ. ජී එල් කෙහෙළිය සමග ඒ ලිපිය දුන්නේ බැසිල් නො දැනුවත් ද? මා දන්නේ නැහැ. ජී එල් තම තනි කැමැත්තට ඒ ලිපිය දුන්නා ය කියා හිතන්න බැහැ. එසේ තනි කැමැත්තට දුන්නා නම් ඔහුට විරුද්ධ ව විනය පරීක්‍ෂණයක් නො කෙළේ ඇයි? සමගාමී ලැයිස්තුව අයින් කිරීම සුළුපටු කරුණක් නො වෙයි.



බැසිල් රාජපක්‍ෂ අනිද්දා පුවත්පතට කර ඇති ප්‍රකාශයෙන් කොටසක් පහත පළ වෙනවා. මා ඒ ගැන දැන් තර්ක කරන්න යන්නේ නැහැ. බැසිල් මා සමග ප්‍රසිද්ධ විවාදයකට එළඹෙන තුරු සුළු කාලයක් බලා සිටිනවා. ඔහු විවාදයකට පැමිණියහොත් එහි දී එයට පිළිතුරු දෙනවා. විවාදයකට නොපැමිණියහෙත් සුළු කාලයකට පසු පිළිතුරු දෙනවා. ඒ ප්‍රකාශය මෙසේයි.



ඔබ ජාතිභේද නැතිව දේශපාලනය කිරීම ගැන කීවත්, පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි.



ඒක නම් වෙනස් කරගත යුතුමයි. කවුරු මොනවා කිව්වත්. මම නම් ඒකට කැමතිම නැහැ. මම කියන්නේ නැහැ කිසිම ජාතියකට අසාධාරණයක් වෙන නීති හදන්න ඕනෑ කියලා. සමානත්වය ඇති කරන්න නීතිමය පසුබිම හදන්න ඕනෑ. මගෙනුත් අහන අය ඉන්නවා, ලංකාවේ වෙන ජනවර්ගවලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. හැමෝටම සමාන අයිතීන් තියෙනවා නේද කියලා. ඒත් සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා. යම්කිසි කෙනෙක් දේශපාලනයෙන් බලයට එන්න ඒක යොදාගන්නවා නම් මම අනුමත කරන්නේ නැහැ.”



බැසිල් රාජපක්‍ෂ මා අවුරුදු විසිපහකට වැඩි කාලයක් අසන ප්‍රශ්නයට, එනම් දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක ඇති ප්‍රශ්නය/අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට, පිළිතුරක් දෙන්නේ නැහැ. ඔහු කියන්නේ ඒ බව ලෙහෙසියෙන් පැහැදිලි කරන්න බැහැ කියා පමණයි. ඔය කතාව වෙනත් පඬියන් විසින් ද නොයෙක් වර කෙරී තිබෙන්නක්. බැසිල් රාජපක්‍ෂ ඊනියා ස්මාට් ජාතිකවාදියකු ද දන්නේ නැහැ. විවාදයේ දී ඔහුට තිබෙන ප්‍රශ්නයත් මා පැහැදිලි කර දෙන්නම්.



එහෙත් දැනට කීමට ඇත්තේ මෙවැනි ප්‍රකාශ මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත බවයි. මට මහින්ද රාජපක්‍ෂගෙන් ද ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මහින්ද බැසිල්ගේ ඉහත සඳහන් ප්‍රකාශය සමග එකඟ වෙනවා ද? එකඟ නොවන බව ප්‍රසිද්ධියේ කියනතාක් අපට පිළිගැනීමට ඇත්තේ මහින්ද ඒ සමග එකඟ වන බවයි. බැසිල්ට අනුව මහින්ද පොහොට්ටුවේ පරමාදර්ශී නායකයා.