Main Logo

Tuesday 29 January 2019

මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි


මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි



රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිතර කියන කතාවක් නම් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. ආණ්ඩුව හිතන්නේ ජනාධිපතිවරණයක් තමන්ට වාසි සහගත බවයි. සමහර විට ඔවුන් පදනම් වන්නේ උතුරු හා නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයක දී තම අපේක්‍ෂකයාට ඡන්දය දෙනු ඇත යන්න මත වෙන්න පුළුවන්. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී එකී ජනතාව හවස් වරුවේ ඡන්දය දී කළ වික්‍රමය මෙවරත් කරාවි  ද යන්න ප්‍රශ්නයක්. ඒ වික්‍රමවලට ඉඩක් නොදීම විපක්‍ෂයේ ක්‍රියා පිළිවෙත වෙන්න ඕන. 





ආණ්ඩුව පළාත් සභා ඡන්ද නොපවත්වා දැන් බොහෝ කලක් වෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද පනතකට අනුව සීමා නීර්ණ කොමිසමේ වාරාතාවකට එකඟ ව පළාත් සභා ඡන්ද පැවැත්විය යුතුයි. එහෙත් ඒ සම්බන්ධ ගැටළු තියෙන බවක් පෙන්වමින් ආණ්ඩුව පළාත් සභා ඡන්ද පවත්වන්නේ නැහැ. මැතිවරණ කොමිසමට ඒ ගැන මාධ්‍ය සංදර්ශන පවත්වනවා හැරෙන්න කරන්න දෙයක් නැත් ද? 



පරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණ මැතිවරණ පැවැත්විය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නෙ නැත්තෙ මොක ද? ආණ්ඩුව, එනම් එ ජා පෙරමුණ, දෙමළ ජාතික සංධානය හා ජ වි පෙ, ඒ ගැන කිසිවක් කරන්නෙ නැහැ. විපක්‍ෂයත් කටින් බතල කොළ ඉන්දනවා විතරයි. මා පළාත් සභාවලට විරුද්ධයි. ඒත් පළාත් සභා තියෙනවා නම් ඡන්ද තියන්න ඕන. ජ වි පෙ නම් ඡන්ද දෙන්න ගිය අය මැරුවා. ජ වි පෙ ඊනියා සිස්ටම් චේන්ජ් පක්‍ෂයක්. ලෝකෙ කොහෙවත් කලින් කියල සිස්ටම් චේන්ජ් කරල නැහැ. රුසියාවෙත් එහෙම වෙලා නැහැ. පුටින්ගෙන් අහල බලන්න. සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් මිනිසුන් මරපු එක පමණයි වෙලා තියෙන්නෙ. 



පහුගිය නොවැම්බරයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු හූල්ට අස්වීමට වුවමනා වී ද? එය නැවැත්වූයේ කවු ද? එසේ නවතා ඔහු නඩු මගට යොමු කෙළේ කවු ද? හූල් බොහෝ විට කියාවි තමා නඩු මගට පිවිසියේ ඔහුගේ ම වුවමනාවට බව. එහෙත් ඔහු ක්‍රියා කෙළේ තම කැමැත්තට අනුව පමණක් ද? ඔහු මෙරට ඉංගිරිසි කතාකරන ඊනියා ප්‍රභූ ක්‍රිස්තියානින්, සිංහල දෙමළ භේදයකින් තොර ව මුණ ගැසුණේ ද? හූල් නැහැ කියාවි. අප ඇහුව්වෙ ප්‍රශ්න කිහිපයක් පමණයි. මේ රට තවමත් පාලනය කරන්නෙ ඉංගිරිසි කතා කරන ක්‍රිස්තියානි ප්‍රභූන්. ඔවුන් වැඩ කරන්නෙ එංගලන්තයෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුකූලව.



මැතිවරණ කොමිසමේ සභාපති කියනවා එක්තරා දිනයකට පෙර පළාත් සභා ඡන්ද තිබ්බෙ නැත්නම් ඔහු සභාපති ධුරයෙන් අස්වෙනවා කියා. එහෙත් ඔහු කොමිසමේ ඉන්නවා. මැතිවරණ කොමිසමේ සභාපති නිතර දේශපාලනඥයන් ඇසුරු කරන නිසා පදවි හැර යැමේ තර්ජනාංගුලිය ඔහුටත් හිමි වෙලා ද? ඔහු අස්වුණත් එකයි නැතත් එකයි. ව්‍යවස්ථා සභාව තවමත් වෙනස් කෙරී නැහැ. හූල් පත් කෙරුණෙ ඔය ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත. මහින්ද තම අයිතිවාසිකම් වෙනුවෙන්වත් සටන් කරන්නෙ නැහැ. මහින්ද රනිල් එක්ක මිත්‍ර වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ මිත්‍රත්වය රටට ප්‍රශ්නයක් විය යුතු නැහැ. වහාම ව්‍යවස්ථා සභාවෙ සංයුතිය වෙනස් කරන්න ඕන. ඊනියා ව්‍යවස්ථා සභාවක් ඇති කරල ඒකට තමන්ගෙ මිනිසුන් පත් කරල ඔවුන් ස්වාධීන බව කියන ආණ්ඩුවක ප්‍රෝඩාතන්ත්‍රවාදය හෙළිදරවු කරන්නෙ නැත්තෙ ඇයි?



නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වුවහොත්, සුමන්තිරන් වැඩ කරන්නෙ ඒ සඳහා, පාර්ලිමේන්තු මැතිවරණයවත් තියන්න පුළුවන් වෙයි ද? ඒ ඊනියා වාර්තාව හෙවත් කෙටුම්පතට අනුව පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සීමා නීර්ණ  කොමිසමක් පත් කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් අර ඊනියා වාර්තාවෙ තියෙන්නෙ මෙහෙමයි.

.

“147. (1) වසර පහළොවකට වරක්, ජනාධිපතිවරයා විසින් මැතිවරණ දිස්ත‍්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය සඳහා, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත, දේශපාලන කටයුතුවල නිරතව නොසිටින්නා වූ තැනැත්තන් වශයෙන් ජනාධිපතිවරයා සලකන්නා වූ, ඔහු විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත් කළ යුත්තේය. ජනාධිපතිවරයා විසින් ඔවුන් අතුරෙන් එක් තැනැත්තකු ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත, ඒ කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් කරනු ලැබිය යුතු ය.



එසේ වුවද, එම පළමු සීමා නිර්ණය කොමිෂන් සභාව මෙම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වී මාස තුනක් ඇතුළත ස්ථාපිත කරනු ලැබිය යුතු ය.



150. (2) සීමා නිර්ණය කොමිෂන් සභාව, අවස්ථාවෝචිත පරිදි, ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන කාල සීමාවක් තුළ හෝ දික් කරන ලද යම් කාල සීමාවක් තුළ. සිය පැවරීම සපුරා ගත් පසුව, කොමිෂන් සභාවේ තීරණය ද ඒ තීරණයට එකඟනොවන සාමාජිකයකු විසින් හේතු දක්වා ඇතොත් ඒ හේතු ද ජනාධිපතිවරයාට වෙත දැනුම් දිය යුතු ය.



(3) සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව, ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට මාසයක් ඇතුළත, ගැසට් පත‍්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.”



ඔය වැඩ ඉවර වෙන්න කොච්චර කල් යයි ද? පළාත් සභා සීමා නීර්ණ වැඩත් තාම ඉවර නැහැ. මේ පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බර් වෙන කොට ඉවරයි. ඉතා පැහැදිලිව සීමා නීර්ණ කොමිසමට ඊට වඩා කල් යනවා. මේ ආණ්ඩුව වෙනස් කෙළෙ නැත්නම් එකෙන් වෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා රනිල්ගෙ භාරකාර ආණ්ඩුවක් යටතෙ රට පාලනය වෙන එක.නව ව්‍යවස්ථාව සම්මත වුණොත් ඒ කාලෙ වෙන කොට ඉන්නෙ නාමික ජනාධිපතිවරයෙක්. ඒ කියන්නෙ රනිල් සර්වබලධාරියා කියන එකයි.



මා මේ කියන දේවලින් වැඩක් නැති බව මා දන්නවා. මේව මහින්දගෙ කණටවත් මෛත්‍රිපාලගෙ කණටවත් යන්නෙ නැහැ. ගියත් වැඩක් නැහැ.  නව ව්‍යවස්ථාව සම්මත වුණොත් මෙරට සහසංධීය රාජ්‍යයක් නිර්මාණය වෙනව පමණක් නො වෙයි. යම් කාලයකට පාර්ලිමේන්තු ඡන්ද පැවැත්වෙන එකක් නැහැ. පළාත් සභා මැතිවරණ පවත්වන්නෙ නැති රනිල් පාර්ලිමේන්තු ඡන්දෙ පවත්වයි ද? මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි.