Main Logo

Friday 18 January 2019

කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද?


කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද?



සුමන්තිරන් කියන්නේ නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි නොවන බවයි. ඔහු කුමක් කීවත් රනිල් කුමක් කීවත් මේ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් නො වෙයි. ඒ කියන්නේ අහෝසි වන්න මෙරට ඒකීය රාජ්‍යයක් නැති බවයි.  දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේ විනිසුරුවන් හතර දෙනකු කියා සිටියේ ඉන් ඒකීය රාජ්‍යය අහෝසි වන බවයි. විනිසුරුවන් හතරදෙනකු කියා සිටියේ ඒකීය රාජ්‍යය එසේ ම තිබෙන බවයි. පාරින්ද රණසිංහ විනිසුරුතුමා තම තීන්දුවෙන් කියා සිටියේ 154(උ)(2) අනුව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් මෙන් ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුයි. ඒ අනුව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි වන බව එතුමාගේ අදහස වුණා. ජනමත විචාරණයක් අවශ්‍ය යැයි එතුමා තීරණය කෙළේ එබැවිනුයි. ජේ ආර් එම අනුව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කෙළේ නැහැ. ඒ වගන්තිය මෙසේයි.




“154(උ)(2) : මේ පරිච්ඡෙදයේ විධිවිධාන හෝ නවවන උපලේඛනය හෝ සංශෝධනය කිරීම සඳහා හෝ ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්, ගැසට් පත‍්‍රයේ පළ කරනු ලැබීමෙන් පසුව සහ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරනු ලැබීමට පෙර, ඒ පිළිබඳව, යොමු කිරීමෙහි නිශ්චය කොට දැක්වෙන කාල සීමාවක් ඇතුළත, අදහස් ප‍්‍රකාශ කිරීම පිණිස, ජනාධිපතිවරයා විසින්, සෑම පළාත් සභාවක් වෙත ම යොමු කරනු ලැබ ඇත්නම් මිස, සහ

(අ) ඒ සෑම සභාවක් ම එම සංශෝධනයට හෝ ඉවත් කිරීමට හෝ එකඟ වන්නා වූ අවස්ථාවක, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පැමිණ ඡුන්දය දෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන්ගේ බහුතරයක් විසින් සම්මත කරනු ලැබිණි නම්; හෝ

(ආ) සංශෝධනය හෝ ඉවත් කිරීම හෝ පිළිබඳව එක සභාවක් හෝ සභා වැඩි ගණනක් එකඟ නොවන්නා වු අවස්ථාවක, එම පනත් කෙටුම්පත 82 වැනි ව්‍යවස්ථාවේ නියම කර ඇති විශේෂ බහුතර ඡුන්දයෙන් සම්මත කරනු ලැබිණි නම්,

මිස ඒ පනත් කෙටුම්පත නීතියක් බවට පත් නොවන්නේ ය.



මේ අනුව්‍යවස්ථාවෙන් සිදු වන්නේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ඇති අයිතිය, එනම් ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට හතරවැනි ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය නැති කිරීමයි. ජනතාවගේ පරමාධිපත්‍යය සුළුවෙන් නමුත් වෙනස් කිරීමට නම්, එනම් තුන්වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් 82 ව්‍යවස්ථාව අනුව තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් පවත්වා අනුමැතිය ලබා ගත යුතුයි. පාරින්ද රණසිංහ විනිසුරුතුමා කියා සිටියේ එයයි. එවිට එතුමාගේ තීන්දුවත් සමග විනිසුරුවන් පස් දෙනකු එකී අනුව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණය කර තිබුණා. එහෙත් ජේ ආර් නොකෙළේ ද එයයි. ඒ අනුව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබුයේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මෙන් ම ව්‍යවස්ථාවට පටහැණිවයි. එහෙත් පනතක් සම්මත වීමෙන් පසු එයට විරුද්ධ ව අධිකරණයට යන්න බැහැ. අධිකරණයට පනත් සම්බන්ධ ව කළ හැක්කේ ඒ අර්ථවිවරණය කිරීම පමණයි.



දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 154(උ)(2) අනුව්‍යවස්ථාව අනුව මෙරට රාජ්‍යය තවදුරටත් ඒකීය රාජ්‍යයක් නො වෙයි. රනිල් හා සුමන්තිරන් මෙරට ඒකීය රාජ්‍යය රකින බව කීවත් දැනටත් රකින්න ඒකීය රාජ්‍යයක් නැහැ. ඒකීය රාජ්‍යයක් යනු කුමක් ද? ඒ පිළිබඳ මෙරට ඊනියා විද්චතුන්ට මතයක් නැහැ. ඔවුන් කරන්නේ බටහිරයකුගේ මතය පුනරුච්චාරණය කර එය තම මතය බව අනුන් ලවා ප්‍රකාශ කර ගැනීමයි. අප දකින පරිදි ඒකීය රාජ්‍යයක ඇති ප්‍රධාන ම ලක්‍ෂණය ව්‍යවස්ථාදායක බලතල, එනම් ව්‍යවස්ථා පනත් සම්මත කර ගැනීමට බලතල, එක ම එක ආයතනයකට පමණක් පැවතීමයි. එහි දී ඒ ආයතනයේ ව්‍යවස්ථාදායක බලතල වෙනත් ආයතනයකින් හෝ ආයතනවලින් හෝ කිසියම් ප්‍රමාණයකින් හෝ නැතිකර ඇත්නම් ඒ රාජ්‍යය තවදුරටත් ඒකීය රාජ්‍යයක් නො වෙයි. 154(උ)(2) අනුව්‍යවස්ථාවෙන් ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට 4(අ) අනුව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට හිමි කර ඇති බලය යම් ප්‍රමාණයකින් පළාත් සභා විසින් නැති කෙරී තිබෙනවා. අදත් මෙරට ඇත්තේ සංධීය රාජ්‍යයක්. 



දැනට ක්‍රියාත්මක වන දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ (ජේ ආර්ගේ ව්‍යවස්ථාව) පළමු ව්‍යවස්ථා තුන මෙසේයි.



“1 ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ‍්‍රී ලංකාව, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2 ශ‍්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

3 ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.



දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ 4(අ)  අනුව්‍යවස්ථාව මෙසේයි.



”4 ජනතාවගේ පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-

(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක‍්‍රියාත්මක කළ යුත්තේ ය;”



154 (උ) (2) අනුව්‍යවස්ථාව 4(අ) අනුව්‍යවස්ථාවට පටහැණියි. නව ව්‍යවස්ථාවෙන් මේ තවදුරටත් නැති වෙනවා. නව ව්‍යවස්ථාවේ (එය ව්‍යවස්ථාවක් ලෙස ඊනියා විද්වත් වාර්තාවේ ම සඳහන් කර ඇති බව ඊයේ ලිපියේ පෙන්වා දී ඇති) පළමු ව්‍යවස්ථා තුන මෙසේයි.



“1. ශ‍්‍රී ලංකාව (ලංකාව)ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක‍්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකිය රාජ්‍යයක්/ ඔරුමිත්ත නාඩු වන්නා වූ නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් වේ. මේ ව්‍යවස්ථාවේ, ඒකිය රාජ්‍ය/ඔරුමිත්ත නාඩු යන්නෙන් නොබෙදුනු සහ බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමේ හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ප‍්‍රතියෝජනය කිරීමේ බලය මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ව්‍යවස්ථාදායකය හා ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරී ඇත්තා වූ රාජ්‍යයක් අදහස් වේ.



2. ශ‍්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේය.



3. ශ‍්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන්නා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ක‍්‍රියාත්මක කරනු ලැබිය යුත්තේ ය.



මෙහි පළමු ව්‍යවස්ථාවෙන් පැහැදිලිව ඊනියා ඒකීය/ඔරුමිත්තනාඩු රාජ්‍යය අර්ථදක්වා තිබෙනවා. එහි ඉතා පැහැදිලිව ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට ආයතනය කිහිපයකට පැවරෙනවා. රාජ්‍යයේ සංයුතිය ඒකීය නැහැ. එය එකතු කළ එකක්. මධ්‍යම ආයතනයක් හා ඊනියා පළාත් ආයතන ගණනාවක් එකතු කළ රාජ්‍යයක්. එය හැඳින්විය හැක්කේ ඔරුමිත්තනාඩු ලෙස මිස ඒකීය ලෙස නො වෙයි. මෙහි ඒකීය යන වචනය යොදා ඇත්තේ හුදෙක් සිංහලයන් රැවටීම සඳහා පමණයි. මෙම පළමුවැනි ව්‍යවස්ථාවේත් තුන්වැනි ව්‍යවස්ථාවේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට කියා තිබෙනවා. එය වත්මන් ව්‍යවස්ථාවේ දක්වා ඇති  ආකාරයට මෙන් නිශ්චිත ව දක්වා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (මතක තබා ගන්න වාර්තාවේ නොවෙයි)  ඇත්තේ ඊනියා මධ්‍යම ආයතනයකින් හා පළාත් ආයතනවලින් කෙරෙන කාර්යයන්. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේය කියා වචනයෙන් කීවාට බැහැ. එය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව කිව යුතුයි. නව ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමට  අඩුම තරමෙන් ආයතන දහයක් තියෙනවා. 



සුමන්තිරන් පමණක් නොව රනිල් ද වෙල්ලාල ක්‍රිස්තියානි දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් සිංහලයන්ගේ අයිතිවාසිකම් නැති කරනවා. නැවතත් ඇංග්ලිකන් මෙතෝදිස්ත සංස්කෘතීන් පාණදුරා වාදය සමයේ මෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒකීය යන්න නව ව්‍යවස්ථාවෙන් වචනයකට පමණක් සීමා කරනවා. ඔවුන් සිංහලයන්ගේ වචනවලින් නම් එක්සේසත් රාජ්‍යය නැති කර සංධීය රාජ්‍යය තව තවත් බලසම්පන්න කරනවා. රනිල් සුමන්තිරන් ඒකීය රාජ්‍යය රැක ගැනීමට කටයුතු කරන්නේ නම් ඔවුන් කළ යුත්තේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1, 2, 3, 4 ව්‍යවස්ථා එලෙස ම තබාගෙන 154(උ)(2) අනුව්‍යවස්ථාව අහෝසි කිරීමයි. ඒකීය රාජ්‍යයක් රැක ගැනීමට කියා අලුතෙන් ව්‍යවස්ථා ගෙන ඒමට අවශ්‍යතාවක් නැහැ.