Main Logo

Sunday 20 January 2019

මාමාගෙන් සංධීය බෑණාගෙන් සහසංධීය


මාමාගෙන් සංධීය බෑණාගෙන් සහසංධීය



අපට අදත් නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු ව්‍යවස්ථාවෙන් ම නැවතත් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. නව ව්‍යවස්ථාව කිසිසේත් ම ඒකීය රාජ්‍යයක් සඳහා නොවෙයි. මෙය සම වන්නේ සහසන්ධීය රාජ්‍යයකටයි. ඊනියා ඒකීය කතාවක් කියන අතර ම ඔරුමිත්තනාඩුවක් ගැන ද සිංහල මෙන් ම ඉංගිරිසි පිටපත්වල කියනවා. දෙමළ පිටපතේ ද එසේ ම වන්න ඕන. ඒකීය රාජ්‍යයක් ගැන කීව ද පළමුවැනි ව්‍යවස්ථාවෙන් නිර්වචනය කෙරෙන්නේ සංධීය රාජ්‍යයකට එහා ගිය එකක්.  අප කලින් දිනයක ද උපුටා දැක් වූ පළමවුැනි ව්‍යවස්ථාව මෙසේයි.




“1. ශ‍්‍රී ලංකාව (ලංකාව)ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක‍්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකිය රාජ්‍යයක්/ ඔරුමිත්ත නාඩු වන්නා වූ නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් වේ. මේ ව්‍යවස්ථාවේ, ඒකිය රාජ්‍ය/ඔරුමිත්ත නාඩු යන්නෙන් නොබෙදුනු සහ බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමේ හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ප‍්‍රතියෝජනය කිරීමේ බලය මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ව්‍යවස්ථාදායකය හා ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරී ඇත්තා වූ රාජ්‍යයක් අදහස් වේ.”



මෙය ඉංගිරිසි පිටපතෙහි සඳහන් වන්නේ පහත දැක්වෙන ආකාරයටයි. ඉංගිරිසි පිටපතෙහි ද සඳහන් වන්නේ ව්‍යවස්ථාව ලෙසයි. එය අභ්‍යන්තර  සාකච්ඡාව සඳහා වූ සකච්ඡා පත්‍රිකාවක් ලෙස සඳහන් වුවත් සාකච්ඡා වන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් බව අවධාරණය කළ යුතුයි.



“1. Sri Lanka (Ceylon) is a free, sovereign and independent Republic which is an aekiya rajyaya / orumiththa nadu, consisting of the institutions of the Centre and of the Provinces which shall exercise power as laid down in the Constitution.  In this Article aekiya rajyaya / orumiththa nadu means a State which is undivided and indivisible, and in which the power to amend the Constitution, or to repeal and replace the Constitution, shall remain with the Legislature and the People of Sri Lanka as provided in this Constitution.”



අපි පළමුවෙන් ම ඒකීය රාජ්‍යයක් යනු කුමක් දැයි නිර්වචනය කරමු.  රාජ්‍යයක ජනතාවගේ පරමාධිපත්‍යයෙහි (මෙය යුදෙව් ක්‍රිස්තියානි සංකල්පයක්, අපට එය යොදා ගැනීමට සිදු වී තිබෙන්නේ අද සියළු කතා ඒ මත පදනම් වන බැවින්) විවිධ අංග ක්‍රියාත්මක කෙරෙන්නේ කෙසේ ද යන්න මත රාජ්‍යය ඒකීය ද සංධීය ද යන්න තීරණය කෙරෙනවා. මේ සඳහා ඊනියා බටහිර දේශපාලන විිද්‍යාඥයන්ගේ මත ගෙනහැර දැක්වීම අවශ්‍ය නැහැ. බටහිර සමාජයීය විද්‍යාවන් බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන පද්ධතීන් පමණයි. එසේ කී විට මෙරට ශාස්ත්‍ර, මානව ශාස්ත්‍ර පීඨවල ඉන්න අයට එකී ශාස්ත්‍ර උගත් අයට,  තරහ යන්න පුළුවන්. බටහිර භෞතික විද්‍යාවේ ඇත්තේ හරියන නැත්නම් වැඩ කරන වියුක්ත හිතළු ටිකක් පමණයි. ඒවා පට්ටපල් බොරු. බටහිර සමාජයීය විද්‍යාවන්හි ඇත්තේ හරි නොයන නැත්නම් වැඩ නොකරන  වියුක්ත හිතළු ටිකක්. ඒවා පට්ටම පට්ට පල් බොරු. 



අප කියන්නේ ඒකීය රාජ්‍යයක් යනු ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන අංග එක් එක් ආයතනයකින් පමණක් ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවයි. උදාහරණයක් ලෙස ගතහොත් මුළු රටට ම හෝ රටින් කොටසකට හෝ බලපාන ව්‍යවස්ථා පනත් ආදිය සම්මත කර ගැනීමට එක ම එක ආයතනයක් (පාර්ලිමේන්තුව වැනි ආයතනයක්) පමණක් ඇති  රාජ්‍යයක්. ඒකීය රාජ්‍යයක් නොවන ඕනෑම රාජ්‍යයක් සංධීය, සහසංධිය රාජ්‍ය. ඒකීය රාජ්‍යයක ජනතා පරමාධිපත්‍යයෙහි ඉහත කී අංග කිසියම් ප්‍රමාණයකටවත් වෙනත් ආයතන විසින් ක්‍රියාත්මක කිරීමටවත්, අර එක ම එක ආයතනයට ඒ අංග ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් ආයතනයකට හෝ ආයතනවලට හෝ කිසියම් බාධාවක් ඇති කිරීමටවත් කොන්දේසි පැනවීමටවත් බැහැ. අප කිහිප විටක් ම පෙන්වා දී ඇත්තේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 154 (උ)(2) අනුව්‍යවස්ථාව එවැනි බාධාවක්, කොන්දේසියක් බවත් ඒ නිසා වත්මන් රාජ්‍යයත් සංධිය රාජ්‍යයක් බවත්. විවිධ මාත්‍රවල සංධීය රාජ්‍ය තියෙන්න පුළුවන්. ඉන්දියාව බලය බෙදුණු සංධීය රාජ්‍යයක්. බලය බෙදුණු ඒකීය රාජ්‍යය තියෙන්න බැහැ.



දහතුන්වැනි සංශෝධනයෙන් කෙරුණේ එතෙක් මෙරට තිබූ ඒකීය රාජ්‍යය ඉන්දියාව වැනි සංධීය රාජ්‍යයක් බවට පත් කිරීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි, එනම් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ඊනියා විද්වත් වාර්තාවෙහි, ඇත්තේ සහසංධීය රාජ්‍යයක් කියා කියන්න පුළුවන්. ජේ ආර් ඒකීය රාජ්‍යයක් පවත්වාගෙන ගිය බව රනිල් කීවත් එසේ කෙළේ නැති බව පාරින්ද රණසිංහ විිසුරුතුමාගේ තීන්දුවෙන් පැහැදිලි වන බව අප කීප වතාවක් ම කියා ඇති. මාමා ඒකීය රාජ්‍යය සංධීය රාජ්‍යයක් බවට පත් කරා. බෑණා අලුතෙන් ම සහසංධීය රාජ්‍යයක් බිහි කිරීමට උත්සාහ කරනවා. එක්සත් ජනපද, කැනඩාව ආදී රටවල ඇත්තේ සහසංධීය රාජ්‍ය. ඒ රාජ්‍ය නිර්මාණය වී ඇත්තේ රාජ්‍ය කිහිපයක් එකතු වීමෙන්. ඒ රාජ්‍යයක බලය බෙදී සංධීය රාජ්‍යයක් ඇති කිරීමක් නොවෙයි. රාජ්‍යය ම,  රාජ්‍යවල එකතුවක්.



දැන් නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි රාජ්‍යය ගැන කියැවෙන්නේ කුමක් ද? පළමුවැනි ව්‍යවස්ථාව සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද හොඳින් කියවන්න. ශ්‍රී ලංකාව මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකිය රාජ්‍යයක්/ ඔරුමිත්ත නාඩු වන්නා වූ නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් වේ. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මධ්‍යම ආයතනයකින් හා පළාත් ආයතනවලින් සංයුක්ත වූ රාජ්‍යයක් බවයි. වෙනත් වචනවලින් කිවහොත් ශ්‍රී ලංකා රාජ්‍යය යනු ආයතන දහයක (එය වෙනස් වීමට ද ඉඩ ඇත) එකතුවකි. එහි රාජ්‍යයක් සතු ව තිබූ බලය බෙදීමක් ගැන නොකියැවෙයි (එසේ කියැවුණ ද ඉන් අදහස් වන්නේ සංධීය රාජ්‍යයකි). මේ පළමුවැනි ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ ආයතනවල එකතුවකි. එය රාජ්‍යවල එකතුවක් යැයි නොකියැවෙයි. එහෙත් ඒ යම් ආකාරයකට ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක අධිකරණ විධායක බලය ක්‍රියාත්මක කරන ආයතනවල එකතුවකි. සංධීය රාජ්‍යයක් නිර්මාණය වන්නේ තිබෙන ඒකීය රාජ්‍යයක එකී බලය එතෙක් නොපැවති එහෙත් අලුතෙන් නිර්මාණය කෙරෙන ආයතනවලට බෙදී යෑමෙනි. බලය බෙදීම සඳහා එහි දී නව ආයතන ඇති කෙරෙයි. එහෙත් නව ව්‍යවස්ථාවෙන් සිදු වන්නේ බලය ඇති ආයතන, තුන්වැනි ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන බලය ඇති ආයතන, එකතු කිරීමකි.



තුන්වැනි ව්‍යවස්ථාව සිංහලෙන් හා ඉංගිරිසියෙන් මෙසේයි.



“3. ශ‍්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන්නා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට ජනතාවගේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ක‍්‍රියාත්මක කරනු ලැබිය යුත්තේ ය.”



“3.The legislative, executive and judicial power of the People shall be exercised as provided for by the Constitution, which is the Supreme Law of Sri Lanka.”



ඉහත දක්වා ඇත්තේ ක්‍රියාවලි දෙකකි. පළමුවැනි ක්‍රියාවලියෙන් ඒකීය රාජ්‍යයක බලය, (එතෙක් බලය නැති) අලුතෙන් පිහිටුවන ආයතනවලට බෙදෙයි. දෙවැනි ක්‍රියාවලියෙන් බලය ඇති ආයතන කිහිපයක් එකතු කර නව රාජ්‍යයක් පිහිටුවෙයි. අංක ගණිතයේ උදාහරණයකින් ක්‍රියාවලි දෙකක වෙනස පැහැදිලි කරගන්න පුළුවන්. කුඩා කල අප මෙවැනි ගැටළු විසඳා තියෙනවා. 6-4+2 කීය ද? පළමුව එකතු කර දෙවනුව අඩු කළහොත් පිළිතුර බිංදුවයි.  පළමුව අඩුකර දෙවනුව එකතු කළහොත් ලැබෙන්නේ හතරයි. පිළිතුරු දෙකක්! මාමාගෙන් සංධීය, බෑණාගෙන් සහසංධීය.



නව ව්‍යවස්ථාවෙහි එකතු කෙරෙන්නේ රාජ්‍ය නොවන බව කිසිවකු කියනු ඇත. එහෙත් එකතු වන්නේ බලය ක්‍රියාත්මක කරන ආයතන ය. අපට අඩු ලංසුවකින් වුවත් කිව හැක්කේ නව ව්‍යවස්ථාවෙන් සහසංධීය සම රාජ්‍යයක් බිහි වන බව ය.