Main Logo

Tuesday 22 January 2019

ඔරුමිත්තනාඩු හෙවත් සහසංධීය රාජ්‍යය


ඔරුමිත්තනාඩු හෙවත් සහසංධීය රාජ්‍යය





ඒබ්‍රහම් සුමන්තිරන් එක්තරා රූපවාහිනී නාළිකාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී මේ ආණ්ඩුව හා නව ව්‍යවස්ථාව ගැන තම අදහස් ප්‍රකාශ කර තියෙනවා. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා කියන කතාවක් සනාථ කර තිබෙනවා. මේ ආණ්ඩුව එ ජා පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණඩුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආණ්ඩුවට බහුතරයක් ලැබෙන්නේ, එනම් 113 ලැබෙන්නේ දෙමළ ජාතික සංධානයෙන්. එහි කටයුතු කෙරෙන්නේ දෙමළ ජාතික සංධානයේ අවශ්‍යතාවන්ට යටත් ව. ආණ්ඩුවේ නිල අගමැති රනිල්. නිල නොවන අගමැති සුමන්තිරන්. මෙය රනිල් සුමන්තිරන් ආණ්ඩව, ඇංග්ලිකන් මෙතෝදිස්ත ආණ්ඩුව ආදී නම්වලින් හඳුන්වන්න පුළුවන්.




ජ වි පෙරමුණ ආණ්ඩුවත් සමග ඉන්නව ද නැද්ද කියන එක වැදගත් නැහැ. දෙමළ ජාතික සංධානය නොමැති ව ජ වි පෙ ආණ්ඩුවට සහාය දුන්නත් 113 හදන්න බැහැ. ජ වි පෙ අද ජනතාව අතර පමණක් නොව පාර්ලිමේන්තුවේත් අවලංගු කාසියක් බවට පත්වෙලා. අද ඔවුන් තම ඡන්ද පදනම ආරක්‍ෂා කර ගැනීමේ චේතනාවෙන් ආණ්ඩුවටත් විපක්‍ෂයටත් දෝෂාරෝපනය කරනවා. විජේවීර ගැන වූ චිත්‍රපටයකින් ජ වි පෙ ලකුණු ටිකක් දාගන්න හැඩයක් තියෙනවා. මා තවමත් චිත්‍රපටය නරඹා නොමැති බැවින් අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. එහෙත් එහි දේශපාලනයක් තිබෙන බව නම් පැහැදිලියි.  මීළඟ මැතිවරණයක දී ජ වි පෙ අතුගා දැමෙන බවත් පැහැදිලියි.



සුමන්තිරන් හා දෙමළ ජාතික සංධානය ආණ්ඩුවේ වුවත් ආණ්ඩු පක්‍ෂයේ වාඩි නොවී  විපක්‍ෂයේ වාඩි වී ඇත්තේ විපක්‍ෂ නායකකම සම්බන්ධන්ට දීමට බව පැහැදිලියි. ඒ දිනවල සුමන්තිරන් පාසල් සිසුන්ගේ මට්ටමින් තර්ක ඉදිරිපත් කෙළේ මහින්දට විපක්‍ෂ නායකකම නො දීමටයි. එහෙත් ඔහුගේ බොළඳ තර්කවලින් වැඩක් වුණේ නැහැ. විපක්‍ෂ නායකකම මහින්දට හිමි වුණා. විපක්‍ෂ නායකකම වැදගත් ධුරයක්. විශේෂයෙන් ම ව්‍යවස්ථා සභාවට (මණ්ඩලයට නොවේ) සාමාජිකයන් තේරීමේ දී අගමැතිට හා විපක්‍ෂ නායකට එකතු වී සාමාජිකයන් දහදෙනාගෙන් පස්දෙනකු ම යෝජනා කිරීමට අවස්ථාව සැලසෙනවා.



ව්‍යවස්ථා සභාව මගින් තමයි ඊනියා ස්වාධීන කොමිෂම් සභා පත් කිරීමේ දී විශේෂ කාර්යභාරයක් කෙරෙන්නේ. මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක බව දැන් තහවුරු ඇති වී නමුත් තවමත් ව්‍යවස්ථා සභාවේ ඉන්නේ පැරණි සාමාජිකයන්. ඒ අතර සම්බන්ධන් හා රනිල් එකතු වී පත්කළ අය ද ඉන්නවා. රධිකා කුමාරස්වාමි, ජයන්ත ධනපාල, ඒ ටී ආරියරත්න ආදීන් ද එහි සාමාජිකයන්. මහින්ද මොවුන් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි?



සුමන්තිරන් රනිල් වගේ නො වෙයි. සුමන්තිරන් නව ව්‍යවස්ථාවක් ගැන කියනවා. එය සම්මත කර ගැනීම තමයි ඔහුගේත් රනිල්ගේත් එක ම බලාපොරොත්තුව. සුමන්තිරන් කියන දේ ඉතා වැදගත්. අප එදා සිට ම කී කරුණක් වූයේ 2015 දී මේ ආණ්ඩුව පත් කර ගත්තේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට මිස ඊනියා හොරුන්ට දඬුවම් කිරීමට නොවන බව. මේ තකතීරු දේශපාලනයේ යෙදෙන අය තමන් අහු නොවී හොරකම් කරන්නේ කෙසේ දැයි දන්නවා. අනෙක් අතට විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් තමන් ආරක්‍ෂා කරන බවත් දන්නවා. මෙහි දී මට මතක් වන්නේ ගාමිණී දිසානායක කළා යැයි කියන බල්ලන් බලු මස් නොකන්නේ ය යන ප්‍රකාශය. පසුගිය ආණ්ඩුවල අය හොරකම් කළත් නොකළත්, සාමාන්‍ය මට්ටමටත් ඉහළින් කොමිස් ගත්තත් නැතත්, තමාගේ නොවන තමාගේ ම ගෙවල් තිබුණත් නැතත්, ලැම්බෝගිනි පැද්දත් නැතත් කිසිම දෙයක් වන්නේ නැහැ. මේ ආණ්ඩු ගැනත් කිව හැක්කේ එපමණයි. දූෂණ සෙවීමට පත් කරන ජනාධිපති කොමිෂන් අපේ මුදල් අපතේ යවා කිහිප දෙනකුට තාවකාලික ව නමුත් දීමනාවක් ලබා දීමට පමණයි. බල්ලන් බලු මස් කන්නේ නැහැ.



සුමන්තිරන්ගේ කතාවලින් තහවුරු වන්නේ 2015 රනිල්ගේ ආණ්ඩුව දෙමළ ජාතික සංධානයේ සහාය ඇතිව පිහිටුවන ලද්දක් බවයි. සුමන්තිරන්ට අවශ්‍ය වූයේ රණවිරුවන්ට දඬුවම් කිරීම, බුද්ධි අංශය දුර්වල කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරෙන් හමුදාව ඉවත් කිරීම හා සිංහල බෞද්ධ විරෝධී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. මේ සෑම කටයුත්තක දී ම බටහිර රටවල් මෙතෝදිස්ත සුමන්තිරන්ලා පසු පස සිටියා.



එහෙත් ආණ්ඩුවට බටහිරයන්ට අවශ්‍ය අන්දමට රණවිරුවන්ට දඬුවම් කිරීම (බටහිර රටවල් තම හමුදා භටයන්ට දී ඇති දඬුවම් මොනවා දැයි ආරක්‍ෂක ලේකම් අපට කියනවා නම් හොඳයි) ඇතුළු ඇතැම් කරුණු සිද්ධ කිරීමට හැකි වුවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට බැරි වුණා. 2018 ඔක්තෝම්බර් 26 මහින්ද අගමැති නූනා නම් රනිල් සුමන්තිරන් ආණ්ඩුව තුනෙන් දෙකේ ඡන්දයෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා. ඔක්තෝම්බර් 26 ඒ සියල්ල අවුල් කළා. බොහෝ දෙනකුට ඒ බව තේරෙන්නේ නැහැ. සමහරු තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ.



අද සුමන්තිරන්ට කෙසේ නමුත් මේ වසර ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර  ගැනීමට අවශ්‍ය වෙනවා. ඔහු අද රනිල්ට ප්‍රසිද්ධියේ ම තම කොන්දේසි පනවනවා. අප ඉතා විමසිලිමත් විය යුතුයි. සාමාන්‍ය ක්‍රමයට නැතිව වුව ද නව ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට රනිල් සුමන්තිරන් ආණ්ඩුව උත්සාහ කරාවි.



සුමන්තිරන් පැහැදිලිව කියනවා නව ව්‍යවස්ථාව (ඊනියා වාර්තාව) මගින් ඒකීය රාජ්‍යයක් ඇති නොවන බව. ඔහු ඒකීය රාජ්‍යය යනු කුමක් දැයි දන්නවා. 154 (උ)(2) අනුව්‍යවස්ථාව ක්‍රියත්මක වන පළාත් සභා සහිත රාජ්‍යයක් ඒකීය රාජ්‍යයක් නො වෙයි. ආණ්ඩු පක්‍ෂයේ මෙන් ම විපක්‍ෂයේ කී දෙනකු ඒකීය රාජ්‍යයක් යනු කුමක් දැයි දන්නවා ද? සුමන්තිරන් නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයක්වත් සංධීය රාජ්‍යයක්වත් බිහි නොවන බව කියනවා. ඔහු කියන්නේ ඇත්ත. නව ව්‍යවස්ථාව සහසන්ධීය රාජ්‍යයක් බිහි කිරීම සඳහායි. ඔරුමිත්තනාඩු යන්නෙහි නියම තේරුම සහසංධීය රාජ්‍යයක් යන්නයි. අප මේ කරුණ පසුගිය ලිපි මගින් හා රූහඬ  පටවලින් පැහැදිලි කර ඇති.