Main Logo

Monday 7 January 2019

දාස පෙරමුණේ පළල් පෙරමුණ


දාස පෙරමුණේ පළල් පෙරමුණ



ජනතා විමුක්ති පෙරමුණ හෙවත් රනිල් දාස පෙරමුණ අඩව්වක් අල්ලන්න ලැහැස්ති වෙන බව පේනවා. අනුර දාසනායක කියා තිබුණා ජ වි පෙ පළල් පෙරමුණක් ගොඩ නගන්න යනවා කියලා. මේ පළල් පෙරමුණ විප්ලවය වෙනුවෙන් වෙන්න බැහැ. ඒකට වික්‍රමබාහුත් දැන් නැහැ. එ ජා පක්‍ෂයත් පුළුල් පෙරමුණක අවශ්‍යතාවක් ගැන කියනවා. ජාතික හෙළ උරුමයටත් පළල් පෙරමුණක් ඕන. මේ කාට කාටත් පළල් පෙරමුණු ඕන වෙන්නෙ මැතිවරණයක් තිබ්බොත් කිසිවකුට තනියෙන් තරග කර පාර්ලිමේන්තුවෙ අවශ්‍ය ප්‍රමාණයට මන්ත්‍රීවරුන් ලබා ගන්න බැරි නිසාත්.


               

කලක් එ ජා පක්‍ෂය මෙරට ප්‍රබල ම දේශපාලන පක්‍ෂය වුණා. 1956 දි එහි මන්ත්‍රී සංඛ්‍යාව අටට බැස්සා. 1977 දි ජේ ආර්ගෙ නායකත්වය යටතෙ විශාල බලයක් ලබා ගත්තත් එය රඳවා ගන්න බැරි වුණා. ජේ ආර් ඒ බව දැන ගෙන ලාම්පු කළගෙඩි සෙල්ලමකින් පස්සෙ පාර්ලිමේන්තු කාලය දික් කර ගත්තා. අද රනිල්ට පක්‍ෂයේවත් රටේවත් බලයක් නැහැ. එහෙත් ඔහු පක්‍ෂ ව්‍යවස්ථාවේත් ඔහු සම්මත කර ගත් ප්‍රෝඩාතන්ත්‍රවාදී දහනවයෙනුත් පිහිටෙන් බලය පෙන්නනවා. ඔහු ජනාධිපති අපේක්‍ෂක කළොත් ඔහුගේ තරම දැන ගන්න පුළුවන් වේවි. පන්සල් දේවාල ගානෙ කියයි කියල දෙවියන් තියා මිනිසුන්වත් රවටන්න බැහැ.



රනිල්ට මෙන් ම රනිල්දාසටත් රටේ බලයක් නැහැ. දාස පෙරමුණ 2015 මැතිවරණයේ දී සියයට පහක පමණ ඡන්දයක් ලබා ගත්තා. ඔවුන්ට මන්ත්‍රී ධුර හතරක් හිමි වුණා. පසුව ජාතික ලැයිස්තුවෙන් තව මන්ත්‍රී ධුර දෙකක් ලැබුණා. සියයට පහකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණේ ශේෂයේ (කොටේ) පිහිටෙන්.



2015 පාර්ලිමේන්තුවට පත් වූ දින සිට රනිල් දාස පෙරමුණ කෙළේ රනිල්ට දාසකම් කිරීම පමණයි. ඇතැම් අවස්ථාවල තම අනුගාමිකයන් රඳවා ගැනීම සඳහා බොරු රඟපෑම් කර තිබෙනවා. රනිල් දාස පෙරමුණ කියන්නේ තමන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවයි. මහින්ද අගමැති කෙරුණේ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාවට එකඟ ව. රනිල් දාස පෙරමුණේ කිසිවකු ඒ පත්වීම අභියෝගයට ලක් කරමින් අධිකරණයට ගියේ නැහැ. සුමන්තිරන් ගියේත් නැහැ.



හොස්ස ළඟින් මැස්සකු ගියත් තම මානව අයිතිවාසිකම් කඩ වුණා කියල අධිකරණයට දුවන සුමන්තිරන් මහින්දගේ පත්වීම අභියෝගයට ලක් නොකෙළේ ඈයි? එය නීත්‍යානුකූල බව, ව්‍යවස්ථානුකූල බව ඔහු දැන සිටියා. අන්තිමේ දී අධිකරණයට වැඩම කෙළේ රනිල් දාස පෙරමුණේ අනුගාමිකයකු ව සිටි දහසක් වැඩ ඇති දඹර අමිල හිමියන් පමණයි. උන්වහන්සේ දාසනායක ගියාටත් එහා වැඩම කළා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. සාදු සාදු!



එහෙත් රනිල් දාස පෙරමුණ කරුණාරත්නගෙ දියවන්නා කෝළමේ දී මහින්දගේ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. විශ්වාසය නැති වෙන්න මහින්ද මොනව ද කරල තිබුණෙ. රනිල් දාස පෙරමුණ මහින්දට ඊනියා බහුතරය තියෙනවා ද කියලා ඇහුවා. අවසානයේ දී රනිල් සමග එකතු වී කරුණාරත්නගේ ආධාරයෙන් මහින්දට විරුද්ධ ව යෝජනාවක් සම්මත කර ගත්තා. ඒ යෝජනාව නීත්‍යානුකූල නැහැ. නීත්‍යානුකූල යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවක් නීත්‍යානුකූල ව රැස්වුණෙ නැහැ.



රනිල් දාස පෙරමුණ දැන් අහනවා ද රනිල්ට බහුතරයක් තියෙනව ද කියලා. රනිල්ට බහුතරය පෙන්නන්න පුළුවන් සුමන්තිරන්ගෙ දෙමළ ජාතික සංධානයත් එකතු වුණොත් පමණයි. දාස පෙරමුණ බොරුවට කෑ ගහනවා මැතිවරණයක් ඕන කියලා. ඔවුන් පාර්ලිමේන්තුවට ඒ සඳහා යෝජනාවක් ගේන්නෙ නැත්තෙ ඇයි? එතකොට බලාගන්න පුළුවන් එ ජා පක්‍ෂය එයට ඡන්දය දෙනවද කියලා. දාස පෙරමුණත් මැතිවරණයකට බයයි. 



රනිල් දාස පෙරමුණ පළාත් සභා ඡන්ද ගැන මොනව ද කියන්නෙ. ඔවුන් කිව්වෙ 2018 අවුරුද්දෙ පළාත් සභා මැතිවරණ ලබා ගන්නවා කියලා. දැන් 2019. තියපු මැතිවරණයක් නැහැ. රනිල් දාස පෙරමුණට රවටන්න පුළුවන් ඔවුන්ගෙ අනුගාමිකයන් පිරිසක් පමණයි. ඔවුන් පළල් පෙරමුණක් ගැන කතා කරන්නෙ මැතිවරණයක් පැවැත්වේවි කියන බලාපොරොත්තුවකින් ද? නැත්නම් මැතිවරණ කල් දැමීමට තියෙන වුවමනාව අනුගාමිකයන්ගෙන් වසං කරන්න ද? එහෙමත් නැත්තත් පාර්ලිමේන්තු මැතිවරණය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් නොතිය ඉන්න ද?



රනිල් දාස පෙරමුණ අවසානයෙ දී වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට. සමහරවිට ගෙවන්න ණයත් ඇති. අප දන්නෙ නැහැ. ණය තිබුණත් ගෙවන්නෙ රුපියල්වලින් නො වෙයි. දාසකම්වලින්. දාස පෙරමුණ ඒ දවස්වල ගත්ත හැඳුනුම්පත් ආපහු දුන්නෙ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න වෙන්න ඇති. විජේවීරත් එකල ඔහු සමග සිටි සියලු දෙනාත් ඒවට වග කියන්න ඕන. ඒ කිසිවකු එදා තමන් කෙළේ වරදක් කියල කියන්නෙ නැහැ. විජේවීරත් ජාතිකත්වය හා ඔහු දැන සිටි මාක්ස්වාදය අතර දෝලනය වූ අයකු පමණයි.  ඔහු කම්කරු පංතිය මොකක් ද නිර්ධන පංතිය මොකක් ද කියල දැන සිටියෙ නැහැ. ඔහු කම්කරු පංතියට කිව්වෙ නිර්ධන පංතිය කියල. මේ ළඟදි ඕස්ට්රේලියාවෙ ඉන්න පඬි පෝතකයකු ඉංගිරිසියෙන් කම්කරු පංතිය ගැන කියන්න ගිහිල්ල ඊනියා ලේබර් ක්ලාස් එකක් ගැන කිව්ව! අපරාදෙ මාක්ස්වාදීන් වර්කින් ක්ලාස් නැත්නම්  ප්‍රොලිටේරියට් ගැන කිව්වෙ.



රනිල් දාස පෙරමුණ විස්ස ගෙනාවෙ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවට. සමහරවිට විස්ස ම නැවතත් ගන්න පුළුවන්. දාස පෙරමුණ විධායකයට විරුද්ධයි. අපත් 1978 දී එයට විරුද්ධ වුණා. ඒත් 1987 දි ජනතාවගේත් අධිකරණයේත් ඇස්වලට වැලි ගසා පළාත් සභා පිහිටුවට පස්සෙ තත්වය වෙනස් වුණා. පළාත් සභා ව්‍යවස්ථාවට විරුද්ධයි. එහෙත් දහනවය වගේ ම අද එය නීතිය. දාස පෙරමුණ පළාත් සභා අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියන්නෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් නොව සුමන්තිරන් හා දෙමළ ජාතිවාදය වෙනුවෙන්. රනිල් දාස පෙරමුණ විස්සෙ යෝජනා කරල නැහැ පළාත් සභා අහෝසි කරන්න. අඩුම තරමෙන් පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට නොදෙන්න, පළාත් සභා දෙකකට එකතු වෙන්න පුළුවන් කියන එක නැති කරන්න කිසිම යෝජනාවක් නැහැ.



රනිල් දාස පෙරමුණ පළල් පෙරමුණක් ඉල්ලන්නෙ සමහරවිට මැතිවරණ කල් දා ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැතිවරණයක් තිබ්බොත් තනියම තරග කරලා තම මන්ත්‍රී ධුර අහෝසි වීම නතර කරන්න වෙන්න පුළුවන්. ශ්‍රී ල නි ප, පොදු ජන පෙරමුණ එකතු වී හදන නව සංධානයට නම් මේ දාසයන් කිසි විටෙකත් එකතු කර ගන්න අවශ්‍ය නැහැ. කළ යුත්තේ ඔවුන් දේශපාලන කනත්තට දැක්කීම පමණයි.