Main Logo

Saturday 26 January 2019

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූවක්





ජනාධිපති විසින් නිර්දේෂ කරන ලද විනිසුරුවන් නැවතත් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරිලා. බයිලා චක්‍රවර්ති රනිල් පාර්ලිමේන්තුවේ මොන බයිලා කිව්වත් ව්‍යවස්ථා සභාවේ ඊනියා අපක්‍ෂපාති බව ගැන ප්‍රශ්න තියෙනවා. රධිකා කුමාරස්වාමි ජයන්ත ධනපාල වැන්නන් අපක්‍ෂපාත ද? අපක්‍ෂපාත බව තීරණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති මිණුම් දඬු කවරේ ද? රනිල් පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයට තර්ජනය කරනවා විනිසුරු මඬුල්ලේ අපක්‍ෂපාති බව ප්‍රශ්න කරන්න බැහැ කියමින්. අර රනිලුත් දන්න කියමනක් තියෙනවා සීසර්ගෙ භාර්යාව සැකයකට තුඩු නොදිය යුතු ය කියා. Caesar's wife must be above suspicion. මෙය පරණ රෝම කතාවක්. මා එය විස්තර කරන්නේ නැහැ. රධිකාලා ආරියරත්නලා ධනපාලලා ඉන්න ව්‍යවස්ථා සභාවක් ගැන නම් සැක තිබෙනවා.




මේ ව්‍යවස්ථා සභාවේ සංයුතිය හා පැවැත්ම තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) අනුව්‍යවස්ථාවෙන්. තරමක් නීරස වුවත් මා එහි අදාළ කොටස් උපුටා දක්වනවා.



“41අ. (1) පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන, (මේ පරිච්ඡෙදයේ ”සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුත්තේ ය -

(අ) අග‍්‍රාමාත්‍යවරයා,

(ආ) කථානායකවරයා,

(ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා,

(ඈ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්,

(ඉ) අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාමයෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් විය යුතු වූ ද, තැනැත්තන් පස් දෙනෙක්, සහ

(ඊ) අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්.

(2) කථානායකවරයා සභාවේ සභාපතිවරයා විය යුත්තේ ය.

(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ වන පත්කිරීම් සඳහා වූ නාම යෝජනා, ඒ නාම යෝජනා කිරීමේ අවශ්‍යතාවය පැන නගින කවර හෝ අවස්ථාවන්හිදී සිදු කිරීමට වගබලා ගැනීම කථානායකවරයාගේ කාර්යය වන්නේ ය.

(4) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ සඳහන් තැනැත්තන් පස් දෙනා නම් කිරීමේ දී අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා විසින් වෘත්තීය සහ සමාජීය විවිධත්වය ඇතුළුව ශ‍්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ලක්ෂණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹු වන බව සහතික වීම පිණිස, පාර්ලිමේන්තුවේ නියෝජනය වන දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන් විමසිය යුත්තේ ය.

(5) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය යටතේ පත් කරනු ලබන්නා වූ ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් නොවන්නා වූ ද තැනැත්තන් විශිෂ්ටත්වයෙන් හා අවංක භාවයෙන් යුත්, පොදු වෘත්තීය ජීවිතයේ දී කිර්තිය ලත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් විය යුතු අතර ඔවුන් නම් කරනුු ලැබීම පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිය යුත්තේ ය.

 (8) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඈ) ඡේදය, (ඉ) ඡේදය සහ (ඊ) ඡේදය යටතේ පත්කරන ලද සභාවේ සෑම සාමාජිකයකු ම විසින්, ජනාධිපතිවරයා අමතා යවන ලිපියක් මගින් ඔහුගේ ධූරයෙන් කලින් ඉල්ලා අස්වුවහොත් හෝ ඔහුට තම ධූරයේ කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි ශාරීරික හෝ මානසික අශක්නුතාවයකට පත්ව ඇති බවට අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාම මතයක් ඇතිකර ගන්නා අවස්ථාවක ඒ මත ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ චරිත දූෂණ වරදක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් ඔහු වරදකරු කරනු ලැබුවහොත් හෝ ඔහු විෂයෙහි ප‍්‍රජා අශක්නුතා නියම කිරීමේ යෝජනා සම්මතයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාවට අනුකූලව සම්මත කරනු ලැබ ඇත්නම් හෝ 41ඉ ව්‍යවස්ථාවේ (7) වන අනු ව්‍යවස්ථාව යටතේ ඔහු සිය ධූරය හැර ගියාක් සේ සලකනු ලබන්නේ නම් හෝ මිස, එවැනි සාමාජිකයකු වශයෙන් ඔහු පත් කරනු ලැබූ දින සිට අවුරුදු තුනක කාලයක් ධූරය දැරිය යුත්තේ ය.

(9) මේ ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඈ) ඡේදය, (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ පත්කරන ලද සාමාජිකයන් අතර පුරප්පාඩුවක් ඇති වූ විටක, එම පුරප්පාඩුව ඇතිවීමේ දින සිට දින දහ හතරක් ඇතුළත, ඉහත සඳහන් ඡේදයන්හි විධිවිධාන සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා විසින් ඒ සාමාජිකයා වෙනුවට අනුප‍්‍රාප්ත වීම පිණිස වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය යුත්තේ ය. එසේ පත් කරනු ලැබූ යම් තැනැත්තෙක්, ඔහු අනුප‍්‍රාප්ත වන්නේ යම් සාමාජිකයකු වෙනුවට ද ඒ සාමාජිකයාගේ ධූර කාලයෙන් නොගෙවී ඉතිරිව තිබෙන කොටස සඳහා ධුරය දැරිය යුත්තේ ය.

(10) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඈ) ඡේදය, (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ පත් කරන ලද සාමාජිකයකු, එම ඡේද යටතේ නැවත පත් කරනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේ ය.



41(අ) (1) (ඉ) අනුව්‍යවස්ථාව අනුව සභාවේ පස්දෙනකුගේ නාම යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ අගමැති හා විපක්‍ෂ නායක විසින්. අද පත් වී ඇති සභාවේ ඉන්නේ රනිල් හා සම්බන්ධන් නාම යෝජනා ඉදිරිපත් කළ අය. එහෙත් දැන් විපක්‍ෂ නායක මහින්ද. එබැවින් එකී පස්දෙනාගේ නාම යෝජනා ඉදිරිපත් කෙරිය යුත්තේ මහින්ද හා රනිල් විසින්. දැන් 41(අ) (1) (ඉ) යටතේ අලුතෙන් නාම යෝජනා කිරීමට අවස්ථාවක් එළඹිලා තියෙනවා.  එවිට 41(අ)(3) අනුව්‍යවස්ථාව යටතේ නාම යෝජනා ඉදිරිපත් කිරීම කතානායකගේ වගකීම වෙනවා. එහෙත් කතානායක ඒ කිසිවක් කරන්නේ නැහැ. ව්‍යවස්ථා සභාවට චරිත සහතික නිකුත් කිරීම ඔහුගේ කාර්යභාරය වෙලා. මහින්දත් මේ ගැන නිහඬ ඇයි ද යන ප්‍රශ්නය ඇති වෙනවා. 41(අ) (9) අනුව්‍යවස්ථාව යටතේ සභාවේ පුරප්පාඩු ඇති වී ඇත යන්න මත පදනම් ව ක්‍රියාකිරීමට ජනාධිපතිට බලය තිබෙනවා.



එහෙත් අපට සැලකිය යුතු තවත් කරුණක් තිබෙනවා. 41(අ) (8) අනුව්‍යවස්ථාව යටතේ සභාවේ මේ සාමාජිකයන් පස්දෙනාගේ නිල කාලය අවුරුදු තුනයි.  මේ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2015 සැප්තැම්බරයේ. මේ සාමාජිකයන් පත් කෙරුණේ කවදාද යන්න මා හරීයට දන්නේ නැහැ. එය 2016 ජනවාරියට පෙර සිදු වී ඇත්නම් ඔවුන්ගේ නිල කාලය දැන් අවසන්, ඔවුන් කල් ඉකුත් වූ භාණ්ඩ. ඒ එසේ නම්  අලුත් සාමාජිකයන් පත් කර ගත යුතුයි.41(අ) (10) යටතේ පැරණි සාමාජිකයන් නැවත පත් කිරීමටත් බැහැ.