Main Logo

Sunday 6 January 2019

අලුත් ප්‍රේත වස්තුවක්


අලුත් ප්‍රේත වස්තුවක්



ඊයේ තවත් ඇමතියකු ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව තිස්පහ කරන්න ඕන කියලා. තවත් අයෙකු, හරීන් ප්‍රනාන්දු  තම නිල නොලත් නියෝජ්‍ය ඇමති හැටියට මනුෂ නනායක්කාර පත් කරලා. ඔය ඇමති මණ්ඩලය තිහට සීමා කරන්න ඕන කියලා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කෙළේ එ ජා පක්‍ෂයමයි. ඒ දිනවල ඔවුන් කපටි වැඩක් කෙළේ. ඇමති මණ්ඩලය තිහට අඩු කරනව කියල මිනිසුන්ට පේන්න සලස්සල ඊනියා ජාතික ආණ්ඩුවක් හදල ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරන්න උපක්‍රමයක් ඔවුන් යෙදෙව්ව.




ඒ දිනවල එ ජ නි සංධානයෙ මෛත්‍රිපාල හිටියෙ ඊනියා යහපාලනයෙ. ඒ මදිවට මහින්ද හා මෛත්‍රිපාල විරසක ව හිටියෙ. සියයට අනූනවයක් ම වගේ හිතුවෙ මෛත්‍රිපාල හා මහින්ද එකතු වෙන එකක් නැහැ කියලා. ඒක හරියට කොටි පරද්දන්න බැහැයි කියල හිතුව වගේ. මෙහි දී එකක් මතක තියාගන්න ඕන. මේ හිතිවිලි ඊනියා උගතුන්ට සීමා වෙලා තිබුණෙ. නූගතුන් ය කියන අය හිතුවෙ වෙනත් විධියකට. අපට නිතර දෙවේලෙ ජනමාධ්‍යයෙන් ලැබෙන්නෙ ඊනියා උගතුන්ගෙ අදහස්. අර තෙල් මිල වැඩි කළා ම එහෙම නැත්තන් බස් වර්ජනයක් දොස්තර වර්ජනයක් වගේ දෙයක් තියෙන කොට තමයි ජනමාධ්‍ය නූගතුන් කියන අය හොයන් යන්නෙ.



දැන් මහින්ද මෛත්‍රිපාල තම ප්‍රශ්න බොහොමයක් විසඳගෙන. ඔවුන් බොහෝ දුරට පාර්ලිමේන්තු මැතිවරණය එක් ලකුණක් යටතේ සංධානයකින් තරග කරන්න ඉඩ තියෙනවා. මා කැමතියි යාපන දිස්ත්‍රික්කය ද ඇතුළු සෑම දිස්ත්‍රික්කයක ම ඒ සංධානය තරග කරනවා නම්. මේ වෙල්ලාලයන් සමග කරන ඩීල් දේශපාලනය වහාම නවත්තල උතුරු හා නැගෙනහිර පළත්වල සංධානයෙන් තරග කළ යුතුය යන අදහස අද තරුණයන් අතර පැතිරෙනවා. ඒ වගේ ම ජනාධිපතිවරණයට ඒ සංධානයෙන් අපේක්‍ෂකයකු ඉදරිපත් කරන්න ඉඩ තියෙනවා. ඒ මෛත්‍රිපාල ද ගෝඨාභය ද වෙනත් කවුරුන්වත් ද යන්න තවමත් තීරණය වෙලා නැහැ.  



අර ඇමති මණ්ඩල සාමාජික සංඛ්‍යාව තිස්පහට වැඩි කළ යුතුය කියන ඇමති එහෙම කියන්නෙ තාමත් 2015 අගෝස්තු මාසෙ පිහිටෙව්ව ඊනියා ජාතික ආණ්ඩුව  පවතිනව කියලා. ඒ ආණ්ඩුව ඔක්තෝම්බර් විසිහයවැනි දා, රනිල්ගේ ආණ්ඩව වෙනුවට මහින්ද අගමැති කරල ආණ්ඩුවක් පත්කිරීමෙන් පසු විසුරුවා හැරුණා. ඒ ආණ්ඩු එකක්වත් දැන් නැහැ. දැන් තියෙන්නෙ අධිකරණ තීන්දුවක් මගින් හදපු ආණ්ඩුවක්. එහි නිල අගමැති රනිල්. නිල නොවන අගමැති සුමන්තිරන්. සුමන්තිරන් ආණ්ඩු කරන්න යන්නෙ අධිකරණ තීන්දු මගින්.



අද රටේ දේශපාලනයෙ මහජන මතය නියෝජනය වෙන්නෙ නැහැ. අද මහජන මතය 2015 අගෝස්තුවෙ මහජන මතය නො වෙයි. ඒත් අද මහජන මතය පාර්ලිමේන්තුවෙ නියෝජනය වෙන්න දෙන්නෙ නැහැ. ඒ නීති විරෝධීව සම්ප්‍රදාය විරෝධීව සම්මත කර ගත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින්. එය දැන් නීතිය නිසා එයට විරුද්ධව අධිකරණයට යන්න බැහැ. සුමන්තිරන් මේ තත්වය උපයෝගී කර ගන්නවා. ඔහු දහනවය මගින් ආණ්ඩු කරන්න උත්සාහ ගන්නවා. දහනවය නිසා ම ඇති වූ අර්බුදයක් දහනවයෙන් ම විසඳන්න බැහැ. මේ තත්වය වැඩි කල් යන්න ඉස්සෙල්ල මෝරල රනිල් සුමන්තිරන් විසි වෙන්න ඕන.



අද දහනවය රනිල්ටත් එ ජා පක්‍ෂයටත් පාරාවළල්ලක් වෙලා. දහනවයෙන් කළ බොරුව නිසා අද ඇමති මණ්ඩලය සීමා කරන්න වෙලා. එ ජා පෙරමුණෙ වැඩි හරියක් ඉන්නෙ ඇමතිවරුන් වෙන්න බලාගෙන. ඔවුන් මහජන සේවය කියන්නෙ ඇමතිවරයකු වෙන එකට. ඒ නිසා ඇමති සංඛ්‍යාව තිහට වැඩි කරන්න ඕන වෙලා. ඒ සඳහා බොරු කතා කියනවා. ජනාධිපති සහ අගමැති ඇමතිවරුන් නොවෙයි කියන එකට අමතර ව දැන් කියන්නෙ තවමත් 2015 ඊනියා ජාතික ආණ්ඩුව තියෙනව කියල. ඒකෙන් සංධානය ඉවත් වුණු නිසා ඊනියා ජාතික ආණ්ඩුව නැති වුණෙ නැහැ කියලයි කියන්නෙ. ඒක එහෙමයි කියල කිව්වත් මහින්ද අගමැති කළ සැණින් ඒ ඊනියා ජාතික ආණ්ඩුව අහෝසි වුණා. දැන් අලුත් ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න බැහැ. දහනවයෙන් ම ඒක වළක්වලා!



හරීන් ප්‍රනාන්දු හිතනවා ද දන්නෙ නැහැ එයා ජනාධිපති කියල. මනුෂ නානායක්කාර අර මොකක් ද නිල නොවන නියෝජ්‍ය ඇමති ධුරයෙ වැඩ ආරම්භ කළා ද? සෙත් පිරිත් කිව්ව ද? අනේ මෙහෙමත් රටක්. අප දැනගන්න ඕන මනුෂ නානායක්කාර ඔය ඊනියා නිල නොවන නියෝජ්‍ය ඇමතිකම කරන්නෙ අපේ සල්ලිවලින් ද කියලා. මේ රට අද ඇමතිකම්වලට පෙරේතයන් රාශියක් ඉන්න රටක් බවට පත් වෙලා. අලුත් ප්‍රේත වස්තුවක් ලියන්න ඕන. ඒත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කරපු එකෙන් ඒකට බාධාවක් වෙයි ද දන්නෙ නැහැ.



මනුෂ නානායක්කාර නිල නොවනවත් නියෝජ්‍ය ඇමති කෙනෙකු නො වෙයි. අද ඉන්න රාජ්‍ය ඇමතිලටත් නිල බලයක් නැහැ. රාජ්‍ය ඇමතිල පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන නැහැ. අපේ මුදල් මොවුන් නඩත්තු කරන්න යෙදීමෙන් අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. මේ රාජ්‍ය ඇමතිල ඉවත් කරන්න ජනාධිපති පියවර ගන්න ඕන. ඊනියා රාජ්‍ය ඇමතිලා ඉන්නෙ නියෝජ්‍ය ඇමතිලට උඩින්.  දහනවයට ඉස්සෙල්ල රාජ්‍ය ඇමතිලා, ව්‍යාපෘති ඇමතිලා, අන්දන ඇමතිල ආදීන් ඉන්න පුළුවන්. ඒත් දහනවයෙන් පස්සෙ ඉන්න පුළුවන් ඇමති, කැබිනට් නොවන ඇමති හා නියෝජ්‍ය ඇමති පමණයි. ඒත් අද ඉන්නෙ ගොං ඇමතිල ද කියන ප්‍රශ්නෙ අහන්න රංගෙ එනව ද?