Main Logo

Thursday 17 January 2019

කාට කියන්න ද?

කාට කියන්න ද?

ඊනියා විද්වතුන්ගේ හෙවත් විශේෂඥයන්ගේ කමිටුවේ වාර්තාව ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරලා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බව රනිල් එකහෙළා කියනවා. නිල වශයෙන් ගත්තම ඒක වාර්තාවක් තමයි. ඒත් නොනිල වශයෙන් ගත්තම ඒක තමයි නව ව්‍යවස්ථාව. ඒ වාර්තාවෙහි  සංශෝධන කිහිපයක් පසුව ඇති වෙයි. එහෙත් නව  ව්‍යවස්ථාව දැන ගැනීමට නම් ඒ ඊනියා විද්වත් වාර්තාව කියවන්න ඕන.


මේ ඊනියා විද්වත් මණ්ඩලය ව්‍යවස්ථා මණ්ඩලයෙන් හා එහි මෙහෙයුම් කමිටුව නමින් හැඳින්වෙන කමිටුවකින් පත් කරනු ලැබූවක්. විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් දහදෙනකු ඉන්නවා. ඒ ඒ අය අතරෙන් කවුරුන් ව්‍යවස්ථා මණ්ඩලයෙන් පත් කෙරිණි ද කවුරුන් මෙහෙයුම් කමිටුවෙන් පත් කෙරිණි ද යන්න දැන ගැනීමට නැහැ. මෙය ම ව්‍යාකූල තත්වයක්. එක් මණ්ඩලයකින් හරි කමිටුවකින් හරි ඊනියා විද්වත් මණ්ඩලය පත් නොකෙරුණේ ඇයි? ඒ අතර තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ඊනියා විද්වත් මණ්ඩලයේ වාර්තාවේ මුලින් ම කියැවෙන්නේ එකී වාර්තාව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරෙන බවයි. එහෙත් ඒ වාර්තාව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් නොකෙරී කෙලින් ම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ කෙසේ ද? කාගේ වුවමනාවට ද? එහි අරමුණ කුමක් ද?  

ඊනියා විද්වතුන් දහදෙනාට අමතර ව විද්වත් මණ්ඩලයේ රැස්වීම්වල මුලසුන දරන්නේ ජයම්පති වික්‍රමරත්න හා ඒබ්‍රහම් සුමන්තිරන්. එවිට ඊනියා විද්වත් කමිටුවේ දොළොස් දෙනකු ඉන්නවා. ඒ අයගෙන් කී දෙනකු සිංහල බෞද්ධ දැයි කියන්න බැහැ. වර්තමානයේ දී බෞද්ධයන් ලෙස පෙනී සිටින සමහරුන් යළි ඉපදුණු (බෝන් අගේන්) නමැති ඇමරිකන් ක්‍රිස්තියානි නිකායට අයත් වූවන්. මොවුන් හැම තැන ම ඉන්නවා. ආණ්ඩුවේත් ඉන්නවා, විපක්‍ෂයේත් ඉන්නවා. පාර්ලිමේන්තුවේත් ඉන්නවා, ඉන් පිටතත් ඉන්නවා. මේ අය යළි ඉපදී ඇත්තේ ක්‍රිස්තියානි ආගම ගැන හැදෑරීමකින් පසුව ද? ඩොලරයේ අගය හැදෑරීමෙන් පසුව ද? මොවුන් තරම් භයානක පිරිසක් අද රටේ නැහැ. අලුත්කඩේ ද පරණකඩේ ද දිය ගොඩ හැම තැන ම ඔවුන් දකින්න පුළුවන්.  මේ යළි ඉපදුණු අය කතෝලික සභාවටත් ප්‍රශ්නයක් වෙලා, මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් අහල බලන්න.

ජනඅනුපාතය අනුව නම් ඊනියා විද්වත් සභාවේ දොළොස් දෙනාගන් අටදෙනකුවත් සිංහල බෞද්ධයන් විය යුතුයි. පඬියකු අහන්න පුළුවන් විද්වතුන් තෝරන්නේ ජනඅනුපාතය අනුව ද කියා. එහෙත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවයි කියන රටක බුද්ධධර්මය වර්ධනය කිරීමට තරම් හැකියාවක් ඇති අයකු අගමැති වූ රටක ඊනියා විද්වත් සභාවේ සෑහෙන සිංහල බෞද්ධ නියෝජනත්වයක් තිබිය යුතුයි. විශේෂයෙන් ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට සිංහල බෞද්ධ නියෝජනත්වයක් තිබිය යුතුයි. රනිල් සුමන්තිරන් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන විට, ඒ සලකා නොබැලුයේ අත්වැරැද්දකින් ද? අනෙක් අතට ඊනියා විද්වතුන් අතර සිංහල බෞද්ධයන් ජනඅනුපාතයට නැත්නම් ඉන් කියැවෙන්නේ සිංහල බෞද්ධයන් අතර විද්වතුන්ගේ හිඟයක් පවතින බව ද? ඉංගිරිසි උගත් අය අතර සිංහල බෞද්ධයන් අඩු ද? මෙය ප්‍රශ්නයක්. ඩේලි නිව්ස් පත්තරේ මරණ දැන්වීම් අධ්‍යයන කළොත් සිංහල බෞද්ධයන් යළි ඉපදීම කෙසේ වෙතත් මැරෙන්නේ නැත් ද කියා සිතෙනවා. ඔවුන් මැරෙන්නට පෙර යළි ඉපදෙනවා ද? මා මේ කියන දේ සිංහලයන්ට තේරෙන්නෙ නැතිවෙයි. ඔවුන්ට ඇඟිල්ලෙන් ඇනල කියන්න ඕන. ඔවුන් හැකි ඉක්මණින් වියුක්ත ව හිතන්න පුරුදු වෙන්න ඕන.    

විද්වත් කමිටුවේ දොළොස්දෙනා අතර ඒබ්‍රහම් සුමන්තිරන් විශාල බලයක් දරන බව පැහැදිලියි. ඔහු කියනවා පෙබරවාරි හතරවැනිදාට පෙර නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව. පෙබරවාරි හතරවැනිදාට පෙර එය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට ද? ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීමේ දී සඳහන් වූ ආකාරයට නම් නව ව්‍යවස්ථාව පළමුවෙන් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන. ඉන්පසු අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් තියෙනවා. සුමන්තිරන්වත් රනිල්වත් මේ කිසිවක් ගැන පැහැදිලි නිශ්චිත යමක් කියන්නේ නැහැ. ඔවුන් කරන්නේ එක් එක් වර්ගයේ මුට්ටි දැමීම පමණයි. රනිල් සුමන්තිරන් ආණ්ඩුව සිංහලයන්ට මුට්ටි දාල වෙට්ටු දාන ආණ්ඩුවක්.

ඒ ඊනියා නව  ව්‍යවස්ථාව බැරි වෙලාවත් සම්මත වුවහොත් ඒ සමග සිදුවන දේ බොහොමයක් තියෙනවා. රට බෙදන්න මාවත සකස් කෙරෙනවා. අදත් මෙරට ඒකීය රාජ්‍යයක් නැහැ. ඒකීය රාජ්‍යයක් පවත්වාගෙන යෑමට පළමු දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී 154 (G) අනුව්‍යවස්ථාවෙන් නැති වුණු ඒකීය රාජ්‍යය නැවත ඇති කළ යුතුයි. රනිල් සුමන්තිරන් බලාපොරොත්තු වන්නේ ඒ නැතිවුණු ඒකීය රාජ්‍යය, එහෙමත් නැත්නම් දැනට තියෙන සංධීය රාජ්‍යය තව තවත් බලවත් කිරීමයි.

ඉදිරිපත් කර ඇත්තේ වාර්තාවක් පමණක් බව කීවත් ඊනියා වාර්තාවේ පූර්විකාවේ තියෙන්නේ මෙහෙමයි. "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක ස්වභාවයෙන් උත්තරීතර නීතියක් පනවා සම්මත කරවා ගැනීම ශ‍්‍රී ලංකාවේ මහජනතාවගේ අභිලාෂය වන හෙයින් ද දැන් එම නිසා ශ‍්‍රී ලංකාවේ මහජනතාව වන අප විසින් අපගේ ස්වෛරීභාවය ක‍්‍රියාත්මක කිරීමේ දී, අපගේ උත්තරීතර වාර්ගික, ආගමික, භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය අගයමින් මෙයින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ‍්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප‍්‍රදානය කර සිටිනු ලැබේ.”

මෙයින් කියන්නේ ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මිස ඊනියා වාර්තාවක් නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මහජනයාට අභිලාෂයක් තියෙනවලු. මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවයි. රනිල් සුමන්තිරන් ආණ්ඩුව මහා සංඝයා වහන්සේ හා බහුතර සිංහල බෞද්ධයන් මහජනයා ලෙස සලකන්නේ නැත් ද? බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන රනිල් සුමන්තිරන් ආණ්ඩුව භික්‍ෂූන් වහන්සේගේ අනුශාසනා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. රනිල් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශීර්ෂ ප්‍රණාමයෙන් වඳින්නේ කා රවටන්න ද?     

භාෂාමය හා සංස්කෘතික විවිධත්වය ඇගයීම හොඳයි. එහෙත් ඕනෑම රටක විශේෂිත වූ සංස්කෘතියක් තියෙනවා. බටහිර රටවල විශේෂිත නොවෙයි අධිපතිවාදී සංස්කෘතියක් තියෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ප්‍රභේදයක්. ඒ සංස්කෘතියට ආවේණික භාෂාවක් තියෙනවා. මෙරට භාෂාමය හා සංස්කෘතික විවිධත්වය අස්සෙ විශේෂීිත වූ සංස්කෘතියක් හා භාෂාවක් ගැන කියැවෙන්නේ නැහැ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව කියනවා. මෙහි බුද්ධාගම කියන්නෙ මොකක් ද? රනිල් කියන විධියට නම් බුද්ධ ධර්මය. රනිල් බුදුවෙලා ද කොහෙ ද බුද්ධ ධර්මය වර්ධනය කරන්න යනවා. 1972 ව්‍යවස්ථාවෙ ඉඳලා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියන එකෙන් අදහස් කරන්නෙ මොකක් ද කියලා අර්ථකථනය කරලා නැහැ. 


අපි මේ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදට පළමු  ව්‍යවස්ථාව (සාමාන්‍යයෙන් පනතක් ගැන කියන්නෙ වගන්ති කියලා. මේ ඊනියා වාර්තාචෙ වගන්ති හඳුන්වන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හඳුන්වන ආකාරයට ව්‍යවස්ථා කියලා.) පමණක් ඉදිරිපත් කරනවා. එය මෙසේයි. ශ‍්‍රී ලංකාව (ලංකාව) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක‍්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකිය රාජ්‍යයක්/ ඔරුමිත්ත නාඩු වන්නා වූ නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් වේ.මේ ව්‍යවස්ථාවේ, ඒකිය රාජ්‍ය/ඔරුමිත්ත නාඩු යන්නෙන් නොබෙදුනු සහ බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමේ හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ප‍්‍රතියෝජනය කිරීමේ බලය මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ව්‍යවස්ථාදායකය හා ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරී ඇත්තා වූ රාජ්‍යයක් අදහස් වේ." 


බොහෝ දෙනා සිතා සිටින්නේ  නව ව්‍යවස්ථාවෙහි සිංහලෙන් ඒකීය කියන බවත් දෙමළෙන් ඔරුමිත්තනාඩු කියන බවත්. එහෙත් සිංහලෙන් ම ඔරුමිත්තනාඩුත් කියැවෙනවා. යම්කිසි අයුරකින් ප්‍රශ්නයක් මතුවුණොත් එවිට කියන්න පුළුවන් සිංහලෙනුත් ඔරුමිත්තනාඩු කියල තියෙනවා කියලා. ඒ අතර මේ ඊනියා ඒකීය රාජ්‍යය ඇත්තට ම ඔරුමිත්තනාඩුව මොකක් ද කියා කියනවා. එය අර්ථදක්වා තියෙනවා. ඔරුමිත්තනාඩුවෙ සංයුතිය ඉතා පැහැදිලිව දක්වනවා. ඔරුමිත්තනාඩුව සංයුක්ත වන්නෙ ඊනියා මධ්‍යම ආයතනය හා පළාත් ආයතන සංයුක්ත වන්නා වූ රාජ්‍යයක්. ඊනියා මධ්‍යම ආයතනය හා පළාත් ආයතන  ඇත්තේ එක ම මට්ටමක. එකී පළාත් ආයතනවලට තව තවත් බලය දීමට තමයි රනිල් සුමන්තිරන් ආණ්ඩුව සැරසෙන්නෙ. ඒකීය රාජ්‍යයක තියෙන්න පුළුවන් ව්‍යවස්ථා සම්පාදනය කරන ආයතන එකක් පමණයි. පළාත් ආයතන ගැන සඳහන් කළ ගමන් රාජ්‍යය සංධීය වෙනවා. මහින්ද හාමුදුරුවො සිංහලයන්ගෙ ඇස්ගෙඩිවලට හෙණ ගහල ද කියල ඇහුවා. නැහැ සිංහලයන්ගෙ ඇස්වලට හෙණ හත ම ගහල. මහින්ද රාජපක්‍ෂ ප්‍රශ්නය අතට ගන්නවා මදි. ඔහු වොයිස්කට් දේශපාලනයෙන් මිදෙන්න ඕන. නැත්නම් ඔහුටත් කට් වොයිස් වෙයි.