Main Logo

Friday 4 January 2019

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කුමක් ද?


බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කුමක් ද?



කඩුවෙල බුද්ධදාස හා තවත් කිහිප දෙනකු එක් වෙලා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන්න පටන් ගෙන. ඔවුන්ට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන්න ඕන වෙලා. ඔවුන් පැහැදිලිව ම චන්ද්‍රිකාගෙ පිරිසක්. එක් අයකු කියා හිටියා තම මාධ්‍ය සාකච්ඡාවෙ මහින්දගෙවත් චන්ද්‍රිකාගෙවත් පින්තූර නැහැ කියලා. ඔහු කීවේ මහින්ද පොහොට්ටුවට ගිය නිසා ඔහු තවදුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ නොවේය කියා. මහින්ද ගැන එහෙම කියද්දි බුද්ධදාස සහ පිරිස චන්ද්‍රිකා ගැන කිව්වෙ මොකක් ද? ඔවුන්ට අනුව චන්ද්‍රිකාගෙ පින්තූරෙ එල්ලුවා නම් මාධ්‍යවේදීන් තමන් චන්ද්‍රිකාගෙ මිනිසුන් කියල හිතයිලු. ඒ කියන්නෙ ඔවුන් චන්ද්‍රිකාගෙ පින්තූරෙ එල්ලල නැත්තෙ අනෙක් අය නොමග යවන්න! එහෙම නොමග යන අයත් ඇති. ඒකට කරන්න දෙයක් නැහැ.




අද තරම් කටකතා පැතිර යන යුගයක් මෙරට දේශපාලනයෙ තිබිලා නැහැ. ඊනියා උගතුන් වැඩිවත් ම කටකතා හදන්නන් මෙන් ම කටකතා විශ්වාස කරන්නන් ද වැඩි වෙනවා. මෙරට උගතුන් යැයි කියා ගන්නන්ට විචාර බුද්ධියක් නැහැ. ඔවුන් සංගත වීම කියන එක දන්නෙ ම නැහැ. ඔවුන්ට සංගත කතාවක් හදා ගන්න නම් කොහොමටවත් බැහැ.මහින්ද පොහොට්ටුවට ගියා ද නැද්ද කියන එක ගැන මා කියන්න යන්නෙ නැහැ. ඒත් අද මහින්ද රාජපක්‍ෂට මහින්ද අමරවීර කතානායකට දීල තියෙන ලියුම මහත් ශක්තියක්. ඒ ලිපිය සිරිසේනගෙ අනුදැනුම නැතිව ලියැවෙන්නෙ නැහැ. ඒත් තවමත් ඇතැමුනට ඕන කරන්නෙ මහින්ද මෛත්‍රිපාල සමගිය බිඳින්න. ඉන් සිදුවන්නේ  රනිල් ශක්තිමත් වීම පමණයි. දැන් චන්ද්‍රිකාගෙ බුද්ධදාසලටත් සිරිසේන ඉවත් කරන්න ඕන වෙලා.



ඒ කොහොම වුණත් බුද්ධදාස බණාඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරපු එක හොඳයි. ඔහුට අනුව අද ශ්‍රී ල නි පක්‍ෂයෙ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැහැ. ඒ නිසා ශ්‍රී ල නි පක්‍ෂය ආරක්‍ෂා කරන්න සිද්ධ වෙලා. කාගෙන් ද කියල කිව්වෙ නැතත් ඒ ආරක්‍ෂා කරගන්න ඕන සිරිසේනගෙන් කියන බව පැහැදිලියි. දැන් ප්‍රශ්නය බණ්ඩාරනායක ප්‍රතිපත්ති යනු කවරේ ද ඒ ආරක්‍ෂා කෙරෙන්නේ කවුරුන් විසින් ද යන්නයි. බුද්ධදාස හා පිරිස කියන විධියට නම් චන්ද්‍රිකා තමයි ආරක්‍ෂිකාව. ඉස්සර කපටි ආරක්‍ෂකයා කියලා චිත්‍රපටියක් තිබුණා.



ඒ පිරිස කියන්නේ ශ්‍රී ල නි ප පොදුජන පෙරමුණ සමහ එකතු වීමෙනුත් පක්‍ෂය නැති වෙන බව. ඒ අතර පොහොට්ටුවෙත් යම් පිරිසක් කියන්නෙ තනියම තරග කරලා දිනන්න පුළුවන් කියලා. තනියම තරග කරල නම් කවදාවත් දිනන්න බැහැ. පළත් පාලන ඡන්දෙත් දිනුවෙ නැහැ. පළාත් පාලන ආයතන කීයක ද තනියම සභාපති කම ලැබුණෙ. පොහොට්ටුවට 50%ක ඡන්දයක් ලබා ගන්න බැරි වුණා. ශ්‍රී ල නි ප හා පොහොට්ටුව එක ම සංධානයකට එනවට අකමැති අය, අවසාන වශයෙන් ගත්ත ම බුද්ධදාස වුණත් ගාමිණිදාස වුණත් මොනදාස වුණත්, එ ජා පක්‍ෂයට බලයට ඒමට ආධාර කරන අය.



ඇත්තට ම මේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මොනවා ද? ඒ ලියල තියෙන්නෙ කොහෙ ද? පනස්හයේ මහජන එක්සත් පෙරමුණු මැතිවරණ ප්‍රකාශනයේ ද? බණ්ඩාරනායක මහතා  එ ජා පක්‍ෂයෙන් කැඩිල එද්දි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ කළා ද? එහෙමත් නැත්නම් ශ්‍රී ල නි පක්‍ෂ ප්‍රතිපත්තිවල ඒ අඩංගු කළා ද? ඔය කියන බණ්ඩාරනායක ප්‍රතිපත්ති කොහේවත් ලියල නැහැ. ඒත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියන්නෙ සිංහල බෞද්ධ මහජනයා බහුතරය හිතන විධියෙන් මතුවෙන අදහස් හා යෝජනා පිළිගැනීම.



බණ්ඩාරනායක මහතා එ ජා පක්‍ෂයෙන් කැඩිල ආවෙ ලිබරල්වාදියකු ලෙස. 1951 දී ශ්‍රී ල නි පක්‍ෂය පිහිටෙව්වෙත් ලිබරල්වාදී පක්‍ෂයක් ලෙස. මෙහි ලිබරල් කියන්නෙ ඊනියා දෙවැනි ඉනිමක් ගැන කියන්න නො වෙයි. ලිබරල් කියන වචනෙ ඉස්සර යෙදුනෙ කොන්සර්වෙටිව් නැත්නම් ගතානුගතික නොවන යන තේරුමකින්. විසිවැනි සියවසේ මුල හා ඊට කලින් එංගලන්තෙ ලිබරල් පක්‍ෂය බලවත් පක්‍ෂයක් වුණා. ඒත් කම්කරු පක්‍ෂය බිහිවීමෙන් පසු එය දුර්වල වුණා. ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එංගලන්තෙ ලිබරල්වාදයට වඩා ශක්තිමත් වුණා.



ශ්‍රී ල නි පක්‍ෂය මුලදි ලිබරල්වාදී පක්‍ෂයක් වුණාට ක්‍රමයෙන් එය ජාතිකත්වයට තල්ලු වුණා. 1952 මැතිවරණයෙත් ශ්‍රී ල නි පක්‍ෂයට ලැබුණෙ ආසන නවයයි. ඡන්ද ප්‍රතිශතය 15.5ක් පමණ. ලංකා සමසමාජ පක්‍ෂයටත් ආසන නවයක් ලැබුණා. ඡන්ද ප්‍රතිශතය 13.1. කොමියුනිස්ට් පක්‍ෂයට හා පිලිප් ගුණවර්ධන මහතාගෙ විප්ලවකාරි සමසමාජ පක්‍ෂයට ඡන්ද 5.8%ක් සමග ආසන හතරක් ලැබුණා. ඊනියා වාමාංශික පක්‍ෂවලට ලැබුණු ඡන්ද ප්‍රතිශතය හා ආසන සංඛ්‍යාව ශ්‍රී ල නි පක්‍ෂයට ලැබුණු ප්‍රතිශතයට හා ආසන සංඛ්‍යාවට වැඩියි. බණ්ඩාරනායක මහතා විපක්‍ෂ නායක වුණා. කම්කරු පක්‍ෂයටත් 1.2%ක ඡන්දයක් සමග එක් ආසනයක් ලැබුණා. එ ජා පක්‍ෂයට 44%ක ඡන්ද සමග ආසන පනස්හතරක් ලැබුණා. පාර්ලිමේන්තුවේ ඡන්දෙන් පත් වූ මන්ත්‍රීන් මුළු ගණන අනූපහයි. ආසන සංඛ්‍යාව ඡන්ද ප්‍රතිශතයට සමාන වුණෙ නැහැ!



තත්වය ඒ විධියට ම තිබුණ නම් එංගලන්තෙ වගේ ම ලංකාවෙත් ලිබරල් ශ්‍රී ල නි පක්‍ෂය දුර්වල වී සමසමාජ කොමියුනිස්ට් විප්ලවකාරී සමසමාජ එකතුවක් බලවත් වෙන්න තිබුණා. ඒ ඊනියා විප්ලවයක් සඳහා නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා. එහෙත් ඒ එසේ වූයේ නැහැ. ඒ බණ්ඩාරනායක මහතා බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මාරු වුණ නිසා. මෙය සිදුවන්න පටන් ගත්තෙ මින්නේරිය අතුරු මැතිවරණය සමග. දැන් අතුරු මැතිවරණ නැහැ. අතුරු මැතිවරණවලින් මහජන මතය වෙනස්වන ආකාරය පැහැදිලි වුණා. මින්නේරිය අතුරු මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂය ලිබරල්වාදයෙන් ජාතිකවාදයට මාරුවීම ඇරඹුවා.



ඒ සමග ඊනියා වාමාංශික පක්‍ෂවල පරිහාණියත් ඇරඹුණා. 1956 වන විට ශ්‍රී ල නි ප, විප්ලවකාරී සමසමාජයටත් ලංකා සමසමාජයටත් කොමියුනිස්ට් පක්‍ෂයටත් වඩා බලවත්. පනස්හයේ දී මැතිවරණයට සති කිහිපයකට පෙර ශ්‍රී ල නි ප, විසසප හා තවත් පක්‍ෂ කිහිපයක් සමග එකතු වී මහජන එක්සත් පෙරමුණ තනා ගත්තා. ඊනියා වාමාංශික පක්‍ෂ අභාවයට ගියේ පෙරමුණු න්‍යාය නිසා නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය ලිබරල් පක්‍ෂයක සිට ජාතිකත්ව පක්‍ෂයක් වීමේ ගමන ඇරඹූ නිසා. ඊනියා වමේ පක්‍ෂ ස්වාධීන වීමට අවසන් වරට උත්සාහයක් ගත්තෙ 1963 මැයි දිනයේ දී. ඒ මැයි පෙළපාලියේ මාත් ගමන් කළා. ඒ ජූනි අග විශ්වවිද්‍යාලයට යෑමට ඔන්න මෙන්න කියා තිබිය දී. එහෙත් ඊනියා වමේ ඒ උත්සාහයත් සාර්ථක වුණෙ නැහැ. 1964 දී සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි ප සමග එකතු වුණා. ඊනියා වම තව තවත් කැඩෙන්න පටන් ගත්තා. 



බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම තම ප්‍රතිපත්තිය කර ගත්තා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට අවශ්‍යව තිබුණේ බණ්ඩාරනායක මහතාට නොව රටේ සිංහල උගත් ජනතාවට. සිංහලයන්ගේ ජාතික ප්‍රතිපත්ති බණ්ඩාරනායක මහතා එකින් එක තම ප්‍රතිපත්ති බවට පත් කර ගත්තා. ඒක තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. බණ්ඩාරනායක මහතා චෙල්වනායගම් එක්ක ගිවිසුමක් අත්සන් කළා. එහෙත් හාමුදුරුවරු රොස්මීඩ් පෙදෙසට වැඩම කර කරුණු පැහැදිලි කළාම ගිවිසුම ඉරා දැම්මා. ඒ ගිවිසුම ගැන කෙටියෙන් දැනගන්න ඕන නම් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත කියවන්න. බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියන්නෙ ජාතිකත්වයට ඇහුම්කන් දී තමන් නිවැරදි කර ගැනීම.

.

කාට හරි කියන්න පුළුවන් ඒ අවස්ථාවාදය කියා. එය හුදෙක් මැතිවරණ දීනීම සඳහා කළ එකක් කියා. නැහැ එය තමයි ක්‍රමයෙන් හරි ජාතියට අවශ්‍ය කුමක් ද යන්න තේරුම් ගැනීම. එ ජා පක්‍ෂයටත් මාක්ස්වාදී පක්‍ෂවලටත් ඒ අවශ්‍යතාව තේරුම් ගන්න බැහැ. රනිල් පන්සල් ගිය පමණින් ඒ කරන්න බැහැ. පෙරටුගාමීන්ට විශ්වවිද්‍යාලවල කෙකර ගානවා හැරෙන්නට වෙනත් දෙයක් කරන්න බැහැ. වයසට යන මාක්ස්වාදීන්ට නහින දෙහින කාලෙ ඊනියා වෘත්තීය සටන් පසුපස ගිහින් තෘප්තියක් ලබන්න පුළුවන්.  ජ වි පෙ අද එ ජා පක්‍ෂෙ මැදි වයසෙ අයගෙ කණ්ඩායමක්. සමසමාජ පක්‍ෂෙ ලාල් විජේනායක කල්ලිය වගේ ම නව සමසමාජෙ වික්‍රමබාහුත් එ ජා පක්‍ෂෙ මහලු වියේ අයගෙ කණ්ඩායම්.



චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් ඈත්වෙලා හුඟක් කල්. ඇයට අනුව තම පියාත් මවත් ජාතිකත්වයට කන්දීම  වැරදියි. ඇය ජාතිකත්වයට ඇහුම්කන් දෙනවා වෙනුවට ජාතිකත්වයට වෛර කරමින් ඉන් ඉවතට යනවා. බුද්ධදාස හිතනවා ඇති ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියා.



අද බණ්ඩාරනායක  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙ මහින්ද හා මෛත්‍රිපාලයි. ඔවුන් දෙදෙනා සර්වතොභද්‍ර නො වෙයි. මහින්ද හිටියේ හමුදා මෙහෙයුම්වලින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න නො වෙයි. එහෙත් ඔහු ජාතිකත්වයට කන් දී ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නා. මෛත්‍රිපාල මහින්ද පැරදවීමට රනිල්ට (බටහිරට හා ඉන්දියාවට) එකතු වී විශාල වරදක් කළා. අද දෙදෙනා ම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ජාතිකත්වයට කන් දී එකතු වී තියෙනවා. අද ජාතිකත්වයට අවශ්‍ය නව ව්‍යවස්ථාව හරි විස්ස හරි පරදවන එක. මහින්ද මෛත්‍රිපාල එකතුව බිඳින්න විවිධ බටහිර/ඉන්දීය ගැත්තන් වෑයම් කරනවා. ඔවුන් අතර මොල්ලිගොඩලා ද කසිකබල් උගතුන් ද ඉන්නවා. ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් හා ජාතිකත්වයෙන් ඉවත් වූ අය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට පයින් ගහලා. ඇය බණ්ඩාරනායක යුවළගේ දේශපාලන දරුවකු, පනස්හයේ දරුවකු නො වෙයි.