Main Logo

Tuesday 15 January 2019

ව්‍යවස්ථා මණ්ඩලය කුමන ව්‍යවස්ථාවක් අනුව ද?


ව්‍යවස්ථා මණ්ඩලය කුමන ව්‍යවස්ථාවක් අනුව ද?



රනිල් සුමන්තිරන් ආණ්ඩුව අවුරුදු තුනකට පමණ පසුව ව්‍යවස්ථා මණ්ඩලයට වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ව්‍යවස්ථාවක් ගෙන ඒමේ  ක්‍රියාවලිය ඇරඹුණේ 2016 ජනවාරි මාසයේ දී. දැනට පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ 1978 ව්‍යවස්ථාවට අනුකූලව මිස එයින් පිටතට ගොස් නො වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි.




පාර්ලිමේන්තුව එසේ කරන්නේ කෙසේ ද යන්න ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවෙහි 82, 83 හා 84 වැනි ව්‍යවස්ථාවල සඳහන් වෙනවා. මේ කිසිම ව්‍යවස්ථාවක ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමක් ගැන කියැවෙන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට හෝ ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කර ගත යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ.



බණ්ඩාරනායක මැතිණියට 1972 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමේ විශේෂ අවශ්‍යතාවක් තිබුණා. අපට එංගලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණු සෝල්බරි ජෙනිංග්ස් ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමේ අවශ්‍යතාව තිබුණා. අපට එංගලන්තයෙන් පූර්ණ වශයෙන් ම නිදහස් වීමේ අවශ්‍යතාව තිබුණා. එය එංගලන්ත පාර්ලිමේන්තුව මගින් කළ හැකිව තිබුණක් නො වෙයි. එබැවින් එදා බණ්ඩාරනායක මැතිණියට ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් තිබුණා. එමෙන් ම එතුමිය 1970 මැතිවරණයෙන් ඒ සඳහා ජනවරමක් ලබා ගෙන තිබුණා. එතුමියට තුනෙන් දෙකක බලයක් ජනතාව දී තිබුණා.



2016 තත්වය කුමක් ද? අපට එංගලන්තයෙන් නිදහස් වීමට දැන් අවශ්‍යතාවක් නැහැ. අප එංගලන්තයෙන් නිදහස්. එංගලන්තයේ රැජන අපේ රැජනක් නො වෙයි. වහල් මනසක් ඇති චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ ඒබ්‍රහම් සුමන්තිරන් ආදීන්ට නම් 1506 පෘතුගීසීන් පැමිණීම සැමරීමට පෘතුගාලයෙන් පාලකයන් ද 1998 දී ඊනියා නිදහසේ පනස්වැනි සංවත්සරය සැමරීමට වේල්ස් කුමාරයා නමින් හැඳින්වෙන චාල්ස් වින්ඩ්සර් ද ගෙන්වීමේ අවශ්‍යතාවක් තිබුණා. චාල්ස් වින්ඩ්සර් නම් ඒ සඳහා පැමිණියා. චන්ද්‍රිකා එකී උත්සවයේ දී ඔහු වෙනුවෙන් ඉංගිරිසියෙන් කතා කළා.



සුමන්තිරන් ඉපදී ඇත්තේ 1964 දී. ඔහු මදුරාසි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබෙනවා. ඔහු ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුල් නූණේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. පසුව ඔහු නීති විද්‍යාලයේ නීතිය හදාරා ඕස්ට්රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබෙනවා. ඔහු ලංකාවේ මෙතෝදිස්ත සභාවේ උපසභාපතිවරයෙක්.



දාසනායකගේ සහාය ලබන රනිල් සුමන්තිරන් ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනවරමක් නැහැ. බණ්ඩාරනායක මැතිණියට මෙන් නොව ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ඔවුන්ට ජනවරමක් හෝ ව්‍යවස්ථානුකූල අයිිතියක් හෝ නැහැ. අප මුළදී ම ඒකාබද්ධ විපක්‍ෂයට කියා සිටියේ ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි නොවන ලෙසයි. එහෙත් ඔවුන් එහි සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට එයට සහභාගි විය යුතු ය යන ඉතා දුර්වල හේතුවක් ඉදිරිපත් කර ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වුණා. රනිල් සුමන්තිරන් ආණ්ඩුවට අවශ්‍ය වූයේ නව ව්‍යවස්ථාව ඒකාබද්ධ විපක්‍ෂයේත් ඇඟේ ගැසීමට පමණයි. ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වීමෙන් ඒකාබද්ධ විපක්‍ෂය දැනගත් දේ කුමක් ද?



විපක්‍ෂය කළ යුතුව තිබුණේ ආණ්ඩුවට තම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අභියෝග කිරීමයි. දැන් වුවත් ඒ කළ හැකියි. එහෙත් විකිණෙන මන්ත්‍රීන් සිටිය හැකි බව ද අමතක නොකළ යුතුයි. විපක්‍ෂය කිසි විටෙකත් ව්‍යවස්ථා මණ්ඩලයේ විවාදවලට, ඡන්ද විමසීමකට ඉඩක් නොදිය යුතුයි. ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු කතානායකවරයාගේ අධිකාරියකට හසු වන්නේ නැහැ. ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහිවත් ස්ථාවර නියෝගවලවත් සඳහන් වන්නේ නැහැ. කෙටියෙන් කිවහොත් ව්‍යවස්ථා මණ්ඩලයට නෛතික බලයක් හෝ පදනමක් හෝ නැහැ.



අද දාසනායකගේ ආධාරය ලබන රනිල් සුමන්තිරන් ආණ්ඩුව මහාමැතිවරණයක් නොපැවැත්වීමට පසුබිම සකස් කරගනිමින් ඉන්නවා. සමහරවිට දාසනායක රනිල් සුමන්තිරන් වෙනුවෙන් ගෙනා විස්ස ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඊනියා සීමා නීර්ණයක් උපයෝගී කරගනිමින් පළාත් සභා මැතිවරණ නොපවත්වන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් ද නොපැවැත්වීමට රනිල් සුමන්තිරන් ආණ්ඩුව කටයුතු කරන්න ඉඩ තියෙනවා. මාමා හිටගෙන කළ දේ බෑණා දුව දුව කරාවි. රනිල් තරම් ප්‍රෝඩාතන්ත්‍රවාදියෙක් ලංකාවේ නොව ලෝකයේ වෙන කොහේවත් ඇතැයි කියා මා හිතන්නේ නැහැ.