Main Logo

Thursday 3 January 2019

බල්ලෝ බලු මස් නොකති


බල්ලෝ බලු මස් නොකති



අර්ජුන් ඇලෝෂියසුයි කසුන් පළිසේනයි ඇප මත නිදහස් කෙරිලා. ඔවුන් නිදහස් කෙරුණයි කියල පරීක්‍ෂණවලට බාධාවක් වෙන්න විධියක් නැහැ. පේන විධියට පරීක්‍ෂණයක් කෙරෙන්නෙ නැහැ. සමහරවිට අපට නොපෙනි පරීක්‍ෂණ කෙරෙනවා ද  දන්නෙ නැහැ. අනෙක් පැත්තෙන් ඇලෝෂියස්ගෙයි පළිසේනගෙයි අඹුදරුවන් අසනීප වෙලා. ඒකත් ප්‍රශ්නයක් තමයි. මනුෂ්‍යත්වයත් මේ වගේ කාරණාවල දී බලපානවා. සමහර ජාතිකවාදීන් නම් කියන්නෙ මට මිනිස්කමක් නැහැ කියලා. ඒක මා දන්නේ නැහැ. රවි කරුණානායක මේ දවස්වල හොඳින් ඉන්නවා ද? මංගලට නම් වැඩ ඇති. ලබන අවුරුද්දෙ මුල අයවැයකුත් ඉදිරිපත් කරන්න එපැයි.




ඒත් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ආරංචියක් නැහැ. හැමෝම වගෙ කියනවා එයා ඉන්නෙ සිංගප්පූරුවෙ කියලා. ඒත් ඔහු එන්නෙ නැතිළු. සිංගප්පූරුවෙන් ඔහු එවන්න කියලා ඉල්ලුව ද කියන එක නිශ්චිත වශයෙන් ම කියන්න බැහැ. සමහරවිට ඉල්ලන්න ඇති. එහෙම ඉල්ලුව නම් සිංගප්පූරුව ඔහු එවන්න කටයුතු කරන්නෙ නැත්තෙ මොකද? එහෙ මහා බැංකුවක් නැද්ද? අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ රටවැසියෙක් නො වෙයි. ඔහු සිංගප්පූරු රටවැසියෙක්. ඒක හින්ද ද දන්නෙ නැහැ ඔහු සිංගප්පූරුවෙ නැතිව ලංකාවෙ මහා බැංකුවෙ අධිපති කෙරුවෙ. අර්ජුන් මහේන්ද්‍රන් තමන් රටවැසියෙකු වුණු රටට අවැඩක් කරන එකක් නැහැ. සිංගප්පූරුවත් ඒ බව දන්නවා ඇති.



අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙ ඉන්න කල් අර්ජුන් ඇලෝෂියස් හිරේ ඉන්න එක හරි නැහැ. හිරේ කිව්වත් රක්‍ෂිත බන්ධනාගාරයෙ. ඒක රක්‍ෂිත වනාන්තරයක් නො වෙයි. වනජීවි තෙවරප්පෙරුම හැම රක්‍ෂිතයක් ගැන ම දැන ගෙන ඉන්න නැතිව ඇති. රක්‍ෂිත ආරක්‍ෂා කරන්න රිෂාඩ් හිටියම හොඳට ම ඇති. සිංගප්පූරුවට යන්න වීසා ඕනෙ නැහැ. හැබැයි සල්ලි ඕනෙ. සල්ලි ටිකක් හොයා ගෙන හරි මහේන්ද්‍රන් හොයන්න යන්න වටිනවා. මහේන්ද්‍රන් සල්ලි දීල එවන්නත් ඉඩ තියෙනවා. ඒ දවස්වල මන්ත්‍රීවරු සිංගප්පූරු ගියේ අප අද ආණ්ඩුවක් තියෙන සියඹලාණ්ඩුවට යනවට වඩා පහසුවෙන්.



අද කොළඹ ආණ්ඩු දෙකක් තියෙනවා. සියඹලාණ්ඩුවෙත් ආණ්ඩුවක් තියෙනවා. කොළඹ ආණ්ඩු දෙකෙන් එකක් මෛත්‍රිපාලගෙ. අනෙක සුමන්තිරන්ගෙ. සුමන්තිරන් තෙවරප්පෙරුම වගේ නො වෙයි. හොඳ මහත්තයෙක්. ඔය ලිං ඉහින්න ලිංවලට බහින්නෙ නැහැ. එයාගෙ යාළුවො හමුදාව ලිං ඉහිනවටත් කැමති නැහැ. ඔය වෙල්ලාල නොවන්නන්ගෙ ලිං ඉහින්නෙ අහවල් දේකට ද? කොහොමටත් වෙල්ලාලයන් ඒ ලිංවලින් වතුර බොන්නෙ නැහැ.



බැඳුම්කර මංකොල්ලෙ වෙලා දැන් අවුරුදු හතරකට කිට්ටුයි. අපට බුදුදහමෙ උගන්වන්නෙ මොන තරම් ඇත්තක් ද? කෙරෙන්නක් මිසක් කරන්නෙක් නැත. බැඳුම්කර මංකොල්ලයක් වෙලා. ඒත් මංකොල්ලය කරපු කෙනෙක් නැහැ. මංකොල්ලෙ ගැන අඩු තරමෙන් වාර්තා තුනක් තියෙනවා. කෝප් වාර්තා දෙකයි, ජනාධිපති පත් කරපු කොමිසමක වාර්තාවකුයි. මෛත්‍රිපාල කියනව මංකොල්ලෙ දවස්වල ම එයාට ඒකෙ බරපතළකම දැනුන කියලා. මෛත්‍රිපාලගෙ ආණ්ඩුව හා රනිල්ගෙ ආණ්ඩුව කියලා ආණ්ඩු දෙකක් ඇති වුණෙ ඒ දවස්වල. ඒත් මෛත්‍රිපාල දුර්වල නිසා රනිල්ගෙ ආණ්ඩුවට යට වෙන්න වුණා.



අප නම් ඒ දිනවල සිට ම කිව්ව රනිල් අගමැති ධුරය දැරීම නතර කරල මහින්ද අගමැති කරන්න කියා. ඒත් ඒකට සහායක් ලැබුණෙ නැහැ. බැඳුම්කරය පිළිබඳ ඩිව් ගුණසේකරගෙ පළමු කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරිය. ඒක රනිල්ගෙ ආණ්ඩුවෙ ඉල්ලීමට කෙරුණු දෙයක්. ඒත් මෛත්‍රිපාලත් එයට වග කියන්න ඕනෙ. ඒ පළමු කෝප් වාර්තාව ඉල්ලල මා ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියා. ඒත් ශිල්පීය ප්‍රශ්නයක් උඩ ඒ ඉල්ලීමට ඉඩක් ලැබුණෙ නැහැ. දැන් හරි ඒ වාර්තාව ඉදිරිපත් කිරීමට ඇති බාධාව කුමක් ද?  ඩිව් ජාතිකවාදියෙක් නො වෙයි. තොරතුරු ලබා ගැනීම යටතේ ඒ වාර්තාවෙ තියෙන කරුණු ලබා ගන්න පුළුවන් ද? ඒ වාර්තාවට අනුව රනිල් වැරදිකාරයෙක් ද?



2015 අගෝස්තුවෙ අලුත් පාර්ලිමේන්තුව දෙවැනි කෝප් වාර්තාවක් නිකුත් කළා. එකල කෝප් සභාපති රනිල්ල පත් කරපු ජ වි පෙ හඳුන්නෙත්ති. අද ජ වි පෙ නායකයන් බොරුවට තම අනුගාමිකයන් රඳවා ගැනීමට බෙරිහන් දුන්නත් එදා කෝප් වාර්තාවෙන් කොළඹ ඉන්න රනිල් නිදහස් කෙරුණා.  සිංගප්පූරුවෙ ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරුණා. සිංගප්පූරුවෙ රක්‍ෂිත ව ඉන්න මහේන්ද්‍රන්ට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. හඳුන්නෙත්ති කමිටුවෙ අවසන් ප්‍රතිඵලය රනිලුයි මහේන්ද්‍රනුයි දෙන්නම රක්‍ෂිත වීම. දැන් ජ වි පෙ රක්‍ෂිත වීමට රනිල්ට බනිනවා.



බැඳුම්කරයෙන් වෙච්ච පාඩුව සංඛ්‍යාවලින් කියන්න මට දැනුමක් නැහැ. බිලියන ට්‍රිලියන ගණන් මගේ හිතට වදින්නෙ නැහැ. ඒ ගණන් හිලවු බන්දුලගෙන් හරි රෝසිගෙන් හරි අහන්න. කොහොමටත් හොරකමක් මිස හොරෙක් නැහැ. කවුරු කා රකිනව ද කියන එක ප්‍රශ්නයක්. විජේදාස රාජපක්‍ෂ කියනවා බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට පහුගිය ඔක්තෝබරයෙ (විසිහයට කලින්)  ජනාධිපති එවූ පනත් සංශෝධනවලට ඒකාබද්ධ විපක්‍ෂය හා ජ වි පෙ ඡන්දෙ දුන්නෙ නැහැ කියලා. රනිල් මීට කලින් කිසිම වරදකට වරදකරු වී තියෙනවා ද? ඔහු බුදුදහම හොඳින් දන්නවා. දැන් නිතර පන්සල් යනවා. වරදක් මිස වරදකරුවකු නැත. රැැකීමක් මිස රකින්නකු නැත. බටලන්දක් මිස බටලන්දෙක් නැත. ඇත්තට ම බටලන්දට වුණෙ මොකක් ද? බැඳුම්කරයටත් ඒ දේ ම වෙන්න යනවා ? දේශපාලනඥයන් ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ද?



කලකට පෙර ගාමිණි දිසානායක ප්‍රසිද්ධ හාමුදුරුනමකට කියා ඇති දෙයක් මතක් වෙනවා. දේශපාලනඥයන් අනෙක් දේශපාලනඥයන්ට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි ද කියා ඇහුව ම ගාමිණී දිසානායක කියා ඇත්තේ බල්ලන් බලු මස් නොකන බවයි. බල්ලන්ගෙත් හොඳ ගුණ තියෙනවා!