Main Logo

Monday 14 January 2019

රනිල් බුදුවෙලා ද?


රනිල් බුදුවෙලා ද?



අනෙක් අය පන්සල් යෑම ගැන මැසිවිලි දොඩන අතරෙ රනිලුත් පන්සල් යනවා. ඒ අහවල් දේකට ද කියලා හිතෙනවා. බුදුහාමුදුරුවො පන්සල්වල (ඒවාට එකල පන්සල් කිව්ව ද ආරාම කිව්ව ද විහාර කිව්ව ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි) වැඩ හිටිය මිසක් පන්සලක් ගානෙ වැඩම කළේ නැහැ.




රනිල් මේ දවස්වල කියන ප්‍රධාන කතාව තමයි නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල නැහැ කියන එක. රනිල් බොරු කියන්නෙ නැහැ ඒක ඇත්ත. රනිල් මේ පාර්ලිමේන්තුවට කිසිම ව්‍යවස්ථාවක්, ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැල්ල නැහැ. 2015 අගෝස්තු මාසෙ පත්වෙච්ච පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවෙ රනිල්දාසනායක මිසක් රනිල් නො වෙයි. ඒ විස්ස. දාසනායක තවම විස්ස අස් කරන් නැහැ. අවශ්‍ය නම් ඒක යොදා ගන්නෙ කොහොමද කියන එක රනිල් දන්නවා.



රනිල් ව්‍යවස්ථා මණ්ඩලයටත් නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල නැහැ. මෙහෙයුම් කමිටුවෙ වාර්තා ටිකක් හා ඊනියා විශේෂඥ කමිටුවෙ වාර්තාවක් පමණයි රනිල් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරල තියෙන්නෙ. ඒත් ඉංගිරිසි පිටපත්වල තියෙනවලු කෙටුම්පතක් කියලා. ඒක කවුරු වෙනුවෙන් ද කියල රනිල් කියන්නෙ නැහැ. රනිල් බොරු කියන්නෙ නැහැ.



රනිල් නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල නැති බව අර රාඝවාන් කියන විධියට භාවනාවට ගිය විමුක්තිල හා විමුක්තිය ලබාගත් එතෙර මෙතෙර වෙනත් අය කියාවි. රාඝවාන් ඒ ගැන කියන්නෙ මොකක් ද? රාඝවාන් මලයාලම් බෞද්ධයෙක්ලු. ඔහු මෙරට ජාතික රූපවාහිනියෙ වැඩ කරලා පස්සෙ කාලෙක සිංහල බෞද්ධ විරෝධී ගොම්බ්‍රිච් සමග ඔක්ස්ෆර්ඩ් බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයෙ වැඩ කරල තියෙනවලු. රාඝවාන් ලංකාවට ඇවිල්ල රස්සාවක් හැටියට කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල තාවකාලික කටයුතු ටිකක් කරල තියෙනවා. ඔහුට විශ්වවිද්‍යාලයක ස්ථිර රස්සාවක් දෙන්න බැරි වුණෙ මොකද කියල අහන්නෙ කාගෙන් ද? පසුව ඔහු මෛත්‍රිපාලගෙ දුව චතුරිකාගෙ මාධ්‍ය ඒකකයෙ වැඩ කරලා. දැන් උතුරෙ ආණ්ඩුකාරයා හැටියට රස්සාවක් හොයා ගෙන. ඒත් ඒකත් ස්ථිර නැහැ.



ඒ මොකක් වුණත් රනිල් කියන්නෙ තමා ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරන බවයි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවයි. මේ ආරක්‍ෂා කරන ඒකීය රාජ්‍යය ලංකාවෙ නම් වෙන්න බැහැ. ඒකට හේතුව ලංකාව ඒකීය රාජ්‍යයක් නො වීමයි. රනිල්ගෙ මාමා ජේ ආර් මෙරට සන්ධීය රාජ්‍යයක් බවට පත් කෙළෙ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ක්‍රියාත්මක නො කිරීමෙන්. දහතුනේ 154 (G) අනුව්‍යස්ථාවෙන් මෙරට ඒකීය බව නැති කළා. ඇත්තට ම රනිල් ඒකීය රාජ්‍යයක් ආරක්‍ෂා කරන්නෙ මොන රටේ ද කියලා රනිල්ගෙ ආණ්ඩුවෙ නිල නොවන අගමැති සුමන්තිරන්වත් අපට කියනවා ද? ඒ සුමන්තිරන් ද ආරක්‍ෂා කරන ඒකීය රාජ්‍යය තියෙන රටේ ද?



දැන් මේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නෙ මොකක් ද කියල දන්න අයකු ඉන්නවා ද? මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නවවැනි වගන්තියට අනුව ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමනවා. මා මෙතෙක් කල් හිතන් හිටියෙ බුද්ධාගම කියන්නෙ සංස්කෘතියක් කියලා. ඒ බුදුදහම නොවන බවයි මගේ විශ්වාසය වුණෙ. ඒ ඒ බුද්ධාගම් තියෙනවා. මිහිඳු මහා රහතන් වහන්සෙ ලංකාවට ගෙනාවෙ අශෝක බුද්ධාගම. ඒ තුන්වැනි සංගායනාවත් සමග බැඳුණු බුද්ධාගමක්. එයට පෙරත් මෙරට බුද්ධාගම් තිබුණා. නාග හා දේව ජනතාව අතරත් ඇතැම් යක්‍ෂ ජනතාවත් අතරත් බුද්ධාගම් තිබුණා. ඒ එක ම බුද්ධාගමක් ද බුද්ධාගම් කිහිපයක් ද කියන එක මා හරියට දන්නේ නැහැ.



ඒ කොහොම වුණත් අද රටේ තියෙන බුද්ධාගම කියන්නෙ අශෝක බුද්ධාගමේ වර්ධනයක්. එය බුද්ධඝෝෂ හාමුදුරුවන් අතිනුත් වර්ධනය වුණා. ඒකට වර්ධනයක් කියල කියන්න අකමැති නම් සුරා පානය කරන බෞද්ධ මහාචාර්යවරුන්ට එයට වෙනසක් කියලා කියන්න පුළුවන්. මා එයින් අදහස් කරන්නෙ බුද්ධඝෝෂ හාමුදුරුවො වෙනස් කරපු බුද්ධාගම මා මුළුමනින් ම අනුමත කරන බවක් නො වෙයි. මා මූලික වශයෙන් අශෝක බුද්ධාගමේ ඉන්න අතර මටත් අනෙක් සියල්ලන්ට ම වගේ මගේ නොවන මගේ ම බුද්ධාගමක් තියෙනවා. එහි බුදුදහම විද්‍යාත්මක කියල මා කියන්නෙ නැහැ. එය ක්වොන්ටම් යාන්ත්‍රිකය සමග එකඟ කියලා කියන්නෙත් නැහැ. ක්වොන්ට්ම් යාන්ත්‍රිකයත් තවත් දැනුමක්, පට්ටපල් බොරුවක් පමණයි.



ඒත් රනිල් තම පන්සල් චාරිකාවෙ දි සියම් නිකායෙ කෝට්ටෙ පාර්ශ්වයෙ මහානායක හිමියන් බැහැ දකින්නත් ගිහිල්ල. ඒ ගිහිල්ල අනෙක් අය වගේ ම වොයිස්කට් දේශපාලනයකුත් කරලා. හැම චාරිකාවක ම ප්‍රධාන අරමුණ වොයිස්කට් දේශපාලනය තමයි. මේක වොයිස්කට් මිසක් කට් වොයිස් නො වෙයි. වොයිස්කට් කට් වොයිස් වෙන පාටක් නැහැ. කට් වොයිස් වුණොත් ජනමාධ්‍ය පවත්වගෙන යන්න බැහැ. 



රනිල් ඉත්තැපාණෙ මහානායක හාමුදුරුවන් බැහැ දැකලා එන ගමන් කියලා තමන් බුදුදහම වර්ධනය කරනවා කියලා. රනිල් බුදුදහම වර්ධනය කරන්නෙ බුදුවෙලාවත් ද? මේකෙන් ම තේරෙනවා රනිල් උපාසක මහත්තයා පන්සල් චාරිකාවෙ යෙදුණත් සිංහල බෞද්ධ සංස්කෘතියෙ නොවන බව. ඔහු කොහෙන් හරි ආගමික (සංස්කෘතික) වචන ටිකක් අහුලාගෙන කියවනවා. දැනුම් පද්ධතියක් නම් වර්ධනය කරන්න (ඕන නම් වෙනස් කරන්න) පුළුවන්. බටහිර විද්‍යාව නිරන්තරයෙන් වර්ධනය කරනවා. ඒත් බුදුදහම? මට තේරෙන විධියට බුදුදහම දැනුම් පද්ධතියක් නො වෙයි. කාට හරි අහන්න පුළුවන් දැනුම් පද්ධතියක් නොවන්නක් තේරුම් ගන්න පුළුවන් ද කියලා. ඒ දැනුම් පද්ධතියක් නොවන බව තේරුම් ගන්න පුළුවන්. එහෙත් සම්මාබෝධය කියන්නෙ අවබෝධයවත්  තේරුම් ගැනීමවත් නො වෙයි. රනිල් කරන්නෙ මොකක් ද කියල මලයාලම් බෞද්ධ රාඝවාන්ට තේරෙනව ද?