Main Logo

Wednesday 9 January 2019

ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි


ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස කතානායක නැවතත් නම් කරලා. සුමන්තිරන්ගේ පරාජයේ ගමන ඇරඹිලා. ඔහුගේ බොරු තර්ක තවදුරටත් වලංගු වන්නේ නැහැ. අනුර දාසනායකටත් දැන් යන එන මං නැහැ. ඔහු ජනමාධ්‍යයට බණිනව. වොයිස්කට් දේශපාලනය ගැන. ඔහු කරන්නේ මොන දේශපාලනයක් ද? ඒකත් වොයිස්කට් ම තමයි. ජඩමාධ්‍ය මොන තරම් සාධාරණ දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් දාසනායක මොන තරම් සමාජවාදියකු දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් ජඩමාධ්‍ය නැත්නම් අනුර දාසනායක නැහැ. ඔහු අද ෆෙඩරල්වාදියකු වෙලා. ඔහු ෆෙඩරල් ක්‍රමයට ආවඩමින් කරන ප්‍රකාශවලට ජඩමාධ්‍යවල ඉතාමත් අවම ප්‍රචාරයක් ලැබෙන්නෙ. ඒ ඔහු ආරක්‍ෂා කිරීමට. දාසනායක විධායකය අහෝසි කරන්න කියල බෙරිහන් දෙන්නෙ පළාත් සභා තියාගෙන.




ප්‍රාදේශීය සභාවක ආසනයක් දිනාගන්න බැරි දාසනායක පළාත් සභා ආරක්‍ෂා කරන්නෙ දෙමළ ජාතිවාදයෙ අවශ්‍යතාවට බව පැහැදිලියි. ජඩමාධ්‍ය බොරුවට වොයිස්කට් දේශපාලනයට විරුද්ධ වෙමින් දාසනායකට ප්‍රචාරය දෙන්නෙ ඔවුනුත් මොන බයිලා කිව්වත් දෙමළ ජාතිවාදයට පක්‍ෂ බව පෙන්නමින්. ජඩමාධ්‍ය අපේ මතවලට අදහස්වලට ප්‍රචාරයක් දෙන්නෙ නැහැ. වොයිස්කට්වත් දෙන්නෙ නැහැ. ඒ අප ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරන බැවින් හා බටහිරයන්ගේ ආධාරය හා අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදයට කොන්දේසි විරහිත ව විරුද්ධ නිසා ද? නැත්නම් කසිකබල් මාක්ස්වාදය මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරන නිසා ද? එහෙමත් නැත්නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන නිසා ද? අදෘශ්‍යමාන බලවේගවලින් ද දැනුම ලබාගත හැකි බව කියන නිසා ද?



මගේ අදහස්වලට සුළුවෙන් නමුත් ඉඩක් ලැබෙන්නේ දෙරණේ පමණයි. එහෙත් අරුණ නම් මට ඉඩක් දෙන්නේ නැහැ. දෙරණත් ඉඩක් ලබා දෙන්නේ ඔවුන්ගේ ම වුවමනාවකට නො වෙයි. මේ රාජ්‍ය හා පෞද්ගලික හැම මාධ්‍යයක ම සංස්කාරකවරු  සියල්ල දත් පුද්ගලයන් වෙන්න ඕන. ඔවුන් මහා යථාර්ථවාදීන්. පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පමණක්  අඩුම තරමෙන් ප්‍රසිද්ධියේ විශ්වාස කරන ද්‍රව්‍යවාදී බුද්ධිමතුන්. මා නම් පංචෙන්ද්‍රිය නොවන අභූත, අද්භූත දෑ ද විශ්වාස කරන සරල මිනිහෙක්. ඒත් සිංහල බෞද්ධයකු ලෙස ඒ කිසිවක් නැති බවත් මා දන්නවා. ඒ පවතින්නේ සම්මුති අරුතකින් පමණයි.



දාසනායක නිසයි ජඩමාධ්‍ය ගැන කතා කරන්න සිද්ධ වුණෙ. මට අවශ්‍ය විපක්‍ෂ ධුරය ගැන කතා කරන්නයි. මහින්ද අගමැති කළ අවස්ථාවේ සුමන්තිරන්ට එයට විරුද්ධ ව  තර්කයක් තිබුණෙ නැහැ. ඔහුට තර්ක ලැබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වුණෙ 113ක් හොයා ගන්න ඕන බවට මතයක් ඇති කරලා ඒ නොසොයා සිටීම නිසා. අද රනිල්ට 113ක් තියෙනවා ද? අනෙක් අතට නීිතිඥයන් වැරදි තර්ක ඉදිරිපත් කළ නිසා. 33, 62 ව්‍යවස්ථාවල එල්ලිලා තර්ක කළ නිසා. අමතර ව කියන වචනෙට බොරු පණ්ඩිත අරුත් දුන් නිසා. 70 (1) හි ඇති එසේ වුව ද කියන වචන ටික අමතක කළ නිසා. මා ඒ දිනවල ඒ ගැන කී කිසි දෙයකට නීතිඥයන් කන් දුන්නේ නැහැ. ජඩමාධ්‍යවේදීන් මෙන් ම නීතිඥයන් ද මා දේශපාලනය විද්‍යාව නීතිය ආදිය ගැන කිසිම දෙයක් නොදන්න අයකු ලෙස සලකන්න ඇති. කවුදෝ කියා තිබුණා විද්‍යාඥයකු වීමට නොහැකි වූ මා කියන දේ නොසලකා හැරිය යුතු ය කියා. මා දිගින් දිගට ම කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ඒ වෙනුවෙන් (3) (4) ව්‍යවස්ථා යොදා ගන්නා ලෙසයි. එහෙත් නීතිඥයන් එය අවධාරණය කෙළේ නැහැ. සුමන්තිරන්ගේ තර්ක ජයගත්තේ එලෙසිනුයි.



එහෙත් දැන් ඔහු නිකම් ම නිකම් නීතිඥයකු පමණක් බව පෙන්නුම් කර තියෙනවා. විපක්‍ෂ නායක ධුරය සම්බන්ධන්ට  දීමට සුමන්තිරන් ගෙනා තර්ක බොල් බව දැන් පැහැදිලියි. මහින්ද අමරවීර කතානායකට යැවූ ලිපියෙන් පසු කිසිවකුටවත් කිසිම දෙයක් මහින්ද රාජපක්‍ෂට විරුද්ධ ව කියන්න තිබුණෙ නැහැ. ඒ සිද්ධියෙන් පසු පොහොට්ටුවෙත් හුළං බැස්සා. ඉතා පැහැදිලි ව පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට එකතු වීමට සිද්ධ වෙලා. එහි දී වෙල්ගම ආදීන් කියන දේ සතපහකට මායිම් කරන්න ඕන නැහැ. අනෙක ඇති කරන්න යන සංධානයෙ ලකුණ පොහොට්ටුව ම විය යුතු යැයි කියන කඩාකප්පල්කාරීන්ගේ කතා ද ගණන් ගන්න ඕන නැහැ. මේ බොහෝ දෙනකු කතා කරන්නෙ තම ආසන සංවිධායකකම්, මන්ත්‍රීකම් වෙනුවෙන් පමණයි. දයාසිරි ජයසේකර තමන් කළ වරදක් නිවැරදි කර ගත්ත එක හොඳයි. 



දැන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක බව තහවුරු වෙලා ඉවරයි. දැන් කළ යුත්තේ වහාම ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කිරීමයි. ව්‍යවස්ථා සභාව යනු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නො වෙයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහායි. එයට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි නොවිය යුතු බව  අප එකල කියා සිටියා. පසුව අඩුම තරමෙන් එහි මෙහෙයුම් කමිටුවෙන් සහ අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් විය යුතු බව අප කීවා. එකාබද්ධ විපක්‍ෂය අනුකමිටුවලින් ඉවත් වූ නමුත් මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වුණේ නැහැ. දැන්වත් එක්සත් ජනතා සංධානය මේ ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි.



ව්‍යවස්ථා සභාව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(අ)(1) අනුව්‍යවස්ථාව යටතේ පිහිටුවන සභාවක්. එහි සංයුතිය මෙසේයි. අගමැති, කතානායක, විපක්‍ෂ නායක, ජනාධිපති පත් කරන මන්ත්‍රීවරයෙක්, අගමැති හා විපක්‍ෂ නායක දෙදෙනාගේ ම නාම යෝජනා මත ජනාධිපති පත් කරන පස්දෙනකු (මෙයින් දෙදෙනකු මන්ත්‍රීවරුන් විය යුතුයි), අගමැති විපක්‍ෂ නායක සාමාජිකයන් නොවන දේශපාලන පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයකු. මේ දහදෙනා විනිසුරුවන් හා වෙනත් අය පත් කිරීමේ දී වැදගත් වෙනවා. පහුගිය දවස්වල රධිකා කුමාරස්වාමි ඒ ටී ආර්යරත්න චම්පක රණවක ආදීන්ගෙන් ද සමන්විත මේ සභාවෙන් ජනාධිපති නිර්දේශ කළ විනිසුරුවන් ද කපා දමා තිබුණා.



එදා අගමැති හා විපක්‍ෂ නායක එක සමාන මත දැරුවන්. අද තත්වය වෙනස් වෙලා. දැන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ. ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වන්න ඕන. අගමැති හා විපක්‍ෂ නායක එකතු වී කරන නාම යෝජනාවලට අලුත් නම් ඇතුළත් විය යුතුයි. ජනාධිපතිටත් මට මතක හැටියට තමන් නම් කළ චම්පක වෙනුවට වෙනත් අයකු නම් කරන්න පුළුවන්. විපක්‍ෂය මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන්න ඕන. එහි දී කතානායකට ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න වෙනවා.



එහෙත් ව්‍යවස්ථාවේ නැති රාජ්‍ය ඇමති ධුර නැති කරන්න කිසිවක් නොකරන විපක්‍ෂයේ මන්දගාමී පිළිවෙත නැති කරන එක පහසු කාර්යයක් නො වෙයි. හැකි ඉක්මනින් ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කිරීමට විපක්‍ෂය හා විපක්‍ෂ නායක කටයුතු කළ යුතුයි.