Main Logo

Saturday 5 January 2019

නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා


නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා



අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්‍රභාකරන්ට අවුරුදු තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා. මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ හරි නමක් එතැන තියෙන්න ඇති. ඒත් අදහස එයමයි. අවුරුදු  තිහක් ඊනියා යුද්ධයෙන් කරන්න බැරි වුණු දේ පෑනෙන් කරනවා කියන එකයි මෙහි අදහස.




මේ කරන්න බැරි වුණු දේ මොකක් ද? ඒ තමයි වෙන ම රාජ්‍යයක් පිහිටුවීම. ප්‍රභාකරන්ටත් බටහිරයන්ටත් ඒ කර ගන්න බැරි වුණා. දැන් එහෙනම් සුමන්තිරන් කරන්න යන්නෙ පෑනෙන් වෙන ම රාජ්‍යයක් පිහිටුවීම ද? ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නය නො දැනීම. දෙමළ කතාකරන ජනයාගේ දෙමළ ජාතිවාදය පිළිබඳ අවබෝධයක් බොහෝ සිංහලයන්ට නැහැ. සිංහලයන්ට දෙමළ ජාතිවාදයේ විකාශය ගැන අවබෝධයක් නැහැ. සිංහල නායකයන් යැයි කියා ගන්නා අයට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ.



ඔවුන් හිතන්නෙ ප්‍රභාකරන් ඕපපාතික ව පහළ වූ පුද්ගලයෙක් කියලා. ඔහු වෙන ම රාජ්‍යයක් සඳහා ආයුධ අරගෙන සටන් කළා. ඒත් ඒක අවරුදු සිය ගණනක විකාශයක ප්‍රතිඵලයක්. චෙල්වනයාගම්  ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සටන් කෙළෙත් ඒ සඳහා. 1947 තරම් ඈතක නාගනාදන් පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී සඳහන් කෙළේ දැන් සිංහලයන්ට නිදහස ලැබී තිබෙන බවත් දෙමළ ජනයා තම නිදහස සිංහලයන්ගෙන් දිනා ගැනීමට සටන කළ යුතු බවත්. අදත් ඒ නාගනාදන්ලාගෙ චෙල්වනායගම්ලාගෙ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පවතිනවා.



ඒ පක්‍ෂය පසුව දෙමළ ජාතික සංධානයේ සාමාජික පක්‍ෂයක් බවට පත් වුණා. ඒ පක්‍ෂය අදත් දෙමළ ජාතික සංධානයේ සාමාජික පක්‍ෂයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. සිංහලයන්ට දෙමළ ජාතිවාදය මොකක් ද දෙමළ ත්‍රස්තවාදය මොකක් ද ආදිය ගැන පැහැදිලි දැනුමක් නැහැ. දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් 1833 සිට පැවත එනවා. මේ පිළිබඳ මා නොයෙක් වර ලියා තිබෙනවා. එහෙත් සිංහලයන් ඒ අවබෝධ කර ගන්නෙ නැහැ. ජඩමාධ්‍යවේදීන්ටත් ඒ ගැන අවබෝධයක් නැහැ.  ඔවුන් අපේ අදහස්වලට ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ.



සමහරවිට එය තරමක් සංකීර්ණ ප්‍රශ්නයක් වෙන්න ඇති. එහෙත් රාජ්‍ය ඇමතිලා කියල ඇමතිලා ටිකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉන්න බැහැ කියන එකවත් ඔවුන්ට තේරෙන්නෙ නැහැ. එහි තේරුම් ගන්න දේකුත් නැහැ. කරන්න තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන කියැවෙන පරිච්ඡෙදය කියවීම පමණයි. එහෙත් ඔවුන් එය කියවන පාටක් පේන්න නැහැ. එහු පුද්ගලයන් දෙමළ ජාතිවාදයෙ විකාශය ගැන කියවයි ද? එහෙත් ඔවුන් පෙනී සිටින්නෙ සියල්ල දත් පඬියන් ලෙස.



දෙමළ ජාතිවාදය ක්‍රමයෙන් විකාශය වෙලා චෙල්වනායගම්ගෙ නායකත්වයෙන් එය රට බෙදන ව්‍යාපාරයක් බවට පත් වුණා. ඔහුගෙ ප්‍රතිපත්තිය වුණෙ අද ටිකක් හෙට හුඟක් බව කිව්වෙ ඔහුගෙ බෑනන්ඩිය වූ ඒ ජේ විල්සන්. විල්සන් ජේ ආර් ගෙ ව්‍යවස්ථාවෙ නිර්මාතෘවරයෙක්. අද සුමන්තිරන් නව සිංහල විරෝධී ව්‍යවස්ථාවක් ගෙන එන බවට වහසි බස් දොඩනවා. මේ සියල්ලන් ම දෙමළ ක්‍රිස්තියානි බව අමතක කරන්න එපා.



ප්‍රභාකරන් කෙළෙ 1833 සිට ඉංගිරිසින්ගෙ අනුග්‍රහයෙන් හා ආධාරයෙන් පැවත එන දෙමළ ජාතිවාදයට ත්‍රස්තවාදයත් එකතු කිරීමයි.  චෙල්වනායගම් ඔහුගේ බාප්පා කෙනෙක්. චෙල්වනායගම් සාන්තුවරයෙක් නො වෙයි. ඔහු දෙමළ කතාකරන ජනයා සිංහලයන්ට විරුද්ධ ව උසිගැන්නුවා. දෙමළ ජාතිවාදයට හිංසාව ගෙනාවෙ ඔහු. සිංහලයන් හා දෙමළ කතාකරන ජනයා අතර ගැටුම් නිර්මාණය කිරීමට මුල් වුණෙ ඔහු. ප්‍රභාකරන් තම සීයලාගේ බාප්පලාගේ වැඩ තවත් දරුණුවට කර ගෙන ගියා. ඔහුට බටහිරයන්ගෙ, විශේෂයෙන් ම එංගලන්තයෙත්, ඉන්දියාවෙත් ආධාරය හා අනුග්‍රහය ලැබුණා. ඒ සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව. අදත් එංගලන්තෙ හා අනෙක් බටහිර රටවල  විසුරුණු දෙමළ ජනයා පවතින්නෙ ඒ රටවල ආධාරයෙන් හා අනුග්‍රහයෙන්.



නන්දිකඩාල්හි පැරදුණෙ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වෙයි. දෙමළ ත්‍රස්තවාදය කියන්නෙ දෙමළ ජාතිවාදයෙ විකාශයෙ ප්‍රතිඵලයක්. නන්දිකඩාල්හි මුළු දෙමළ ජාතිවාදය ම පරාදයි. අප එදා නන්දිකඩාල්හි කිව්වෙ දෙමළ ජාතිවාදීන්ට ඔවුන් ඉල්ලන කිසිම දෙයක් දෙන්නෙ නැහැ කියන එකයි. ඒ කියන්නෙ දෙමළ කතාකරන ජනයාට අනෙක් ජනයාට මෙන් ම තියෙන ප්‍රශ්න විසඳන්නෙ නැහැ කියන එක නොවෙයි. දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නයක් නැහැ, අසාධාරණයක් නැහැ. විසඳන්න ප්‍රශ්නයක් නැහැ. බටහිරයන් හා ඉන්දියාව කියන නිසා ඊනියා විසඳුම් දෙන්න අපට අවශ්‍ය නැහැ.



නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ මේ ටික අප දෙමළ ජාතිවාදීන්ට කිව්වෙ නැහැ. ඒ වෙනුවට බැසිල් රාජපක්‍ෂගෙ නායකත්වයෙන් අර කුප්‍රසිද්ධ ට්‍රොයිකාව ඉන්දියාවට පොරොන්දු වුණා දහතුන ක්‍රියාත්මක කරන බවටත් ඉන් එහාට යන විසඳුමක් සඳහා දෙමළ කතාකරන්නන්ගේ පක්‍ෂ හා වෙනත් පක්‍ෂ සමග සාකචඡා කරන බවත්. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ සාකච්ඡා කරන්න දෙයක් නැහැ.



අප අදවත් ඉන්දියාව නොතකා මේ බව කියන්න ඕන. එට්කා ගිවිසුම වගේ ම ඇතැම් වෙනත් ගිවිසුම් ද අහෝසි කළ යුතුයි. සුමන්තිරන්ට බලයක් ලබා දෙන්නෙ එ ජා පක්‍ෂයයි. එහෙත් පොදුජන පෙරමුණත් සංධානයත් එහි දී නිවැරදිකරුවන් නො වෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ එංගලන්තෙ මහා වීරයකු වන චර්චිල් නට්සින් එක්ක සාකච්ඡා කරන්න ගියෙ නැහැ. සුමන්තිරන්ට ඒ බව කියන්න සිංහල දේශපාලනඥයන්ට බැහැ. අප කරන්නෙ සුමන්තිරන්ට තැන දෙමින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට දඬුවම් කිරීමයි. සුමන්තිරන්ට කියන්න ඕන ඔහු නන්දිකඩාල්හි පරාද වුණු බව. නන්දිකඩාල් කියන්නෙ දේශපාලන ස්ථාවරයක්.