Main Logo

Thursday 24 January 2019

සුමන්තිරන් අපිත් සූදානම්


සුමන්තිරන් අපිත් සූදානම්





සුමන්තිරන් දෙරණ වාදපිටියට ඇවිත්. මා එය නැරඹුවේ ඊයේ. සුමන්තිරන් කී දේ ඉතා පැහැදිලියි. එයින් කියන්නේ ඔහු විවෘත ව කතා කළ බව නො වෙයි. ඔහු රනිල්ගෙ නිවුන් සොහොයුරෙක් වගේ. සුමන්තිරන් බොහෝ දේ හංගන්න තැත්කරත් ඔහුට රනිල්ට මෙන්ම එයට හැකියාවක් නැහැ. ඔහු සිංහලයන්ට තර්ජනයක් ද කළා. සිංහලයන් සුමන්තිරන්ලාට ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ නොදුන්නොත් උතුරේ ජනතාව තමන්ට වඩා දැඩි ක්‍රියා මාර්ගවලට යන අය තෝරා ගනීවි කියා. අප එයට බය නැහැ. ඒ කරුණු දෙකක් නිසා. උතුරේ ජනතාව එවැනි ක්‍රියා මාර්ගවලට යෑමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. විග්නේස්වරන්ගේ අසාර්ථක උත්සාහයෙන් ඒ බව පැහැදිලි වෙනවා. දෙවනුව යම්කිසිවකු ප්‍රභාකරන් මෙන් බලහත්කාරයෙන් එවැන්නක් කළහොත් ඔහුටත් අත් වෙන්නෙ ප්‍රභාකරන්ගෙ ඉරණම ම තමයි. බටහිරයන්ට, වෙල්ලාල ප්‍රභූන්ට හා සිංහල පඬියන්ට මිස දෙමළ කතා කරන ජනයාට සිංහල බෞද්ධ විරෝධයක් නැහැ. 





සුමන්තරන් කෙළේ වචන හරඹයක්. ඔහු රාජ්‍යය, රාජ්‍යයේ ස්වභාවය හා පාලන තන්ත්‍රය (ක්‍රමය) යනුවෙන් කොටස් දෙකකට කඩනවා. නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඔහු ඒ ක්‍රමය ම අනුගමනය කරාවි. ඔහු කියන්නේ ඒකීය කියන්නෙ රාජ්‍යයෙ ස්වභාවය කියල. එහෙත් පාලන ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දැක්විය යුතු ය කියා. ඔහුට අනුව ඒකීය කියන්නෙ එක් රටක්. එපමණයි. රටවල් දෙකක් නැහැ. බලය බෙදන්න බැහැ කියලත් කියනවා. අනෙක් පැත්තට මුල සිට අග දක්වා ම නව ව්‍යවස්ථාවෙන් කෙරෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් පාර්ලිමේන්තුව දුර්වල කිරීමත් ඊනියා දෙවැනි මන්ත්‍රී මණ්ඩලය හා පළාත් සභා ශක්තිමත් කිරීමත්. රාජ්‍යයේ ස්වභාවය පාලන ක්‍රමයෙන් වෙන් කරන්න බැහැ. රාජ්‍යයේ ස්වභාවය තීරණය වන්නෙ ම පාලන ක්‍රමයෙන්. සුමන්තිරන්ලා යෝජනා කරන්නේ සහසංධීය රාජ්‍යයක්.  



ෆෙඩරල් හෙවත් සංධීය කියන්නෙත් කොන්ෆෙඩරල් හෙවත් සහසංධීය කියන්නෙත් ඒකීය කියන්නෙත් එක රටක් තමයි. සහසංධීය රාජ්‍යයකටත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිමිවන්නේ එක් අසුනක් පමණයි. කැනඩාව කියන්නෙ සහසංධීය රාජ්‍යයක්. එහෙත් එයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින්නේ එක රටක් ලෙස. සුමන්තිරන් සැරසෙන්නෙ වචන හරඹයකින් සිංහලයන් රවටන්න. ඔහුට දයා ගමගේ වැනි සුපිරි බෞද්ධයන්  නම් රවටන්න පුළුවන් වේවි. මා දයා ගමගේ සුපිරි බෞද්ධයකු යැයි කීවේ ඔහු තමා හොඳ බෞද්ධයකු බව කී නිසා. සමහර විට ඔහු සුපිරි ඕල්කට් බෞද්ධයකු වන්න පුළුවන්. අනේපිඬු සිටාණන් දන් දීමෙන් අවසානයේ දී දිළින්දකු වුණා. ගමගේ සිටාණන් නම් පන්සල්වලට මුදල් බෙදුවට එහෙම වෙන පාටක් නැහැ. අනේපිඬු සිටාණන් අත්හැරියා. ගමගේ සිටාණන් අත්කර ගන්නවා. 



ඒ මොකක් වුණත් සුමන්තිරන් ඉංගිරිසියෙන් යුනිටරි කියන්නෙ නැහැ. ඒකට බයයි. ඔහුට (ඊනියා විද්වතුන්ට) ඔය ව්‍යවස්ථාවෙ ශ්‍රී ලංකා ජනරජය ඒකීය/ඔරුමිත්තනාඩු/යුනිටරි රාජ්‍යයක් කියල කියන්නත් තිබුණා. ඒත් ඉංගිරිසියෙන් තියෙන්නෙත් ඒකීය/ඔරුමිත්තනාඩු විතරයි. යුනිටරි කියන එකට ඊනියා බටහිර දේශපාලන විද්‍යාඥයන් විවිධ අර්ථකථන, නිර්වචන දෙනවා. ඒ අතර එක ව්‍යවස්ථාදායක ආයතනයක් පමණක් යන  නිර්වචනයත් තියෙනවා. සුමන්තිරන් ඒක නොදන්නවා නො වෙයි. සිංහල දේශපාලන විද්‍යාඥයන් නැහැ. මෙරට ඊනියා දේශපාලන විද්‍යාව උගත් අය කරන්නෙ බටහිරයන්ගෙ අර්ථකථන නිර්වචන පුනරුච්චාරණය කරන එක පමණයි. මෙරට ඊනියා උගතුන් ඉන්නෙ අදාළ බටහිර ක්‍ෂෙත්‍රවල වාටියේ.



ව්‍යවස්ථාවෙ ඒකීය කියන ගමන් සුමන්තිරන් ඔරුමිත්තනාඩුවක් ඊනියා පාලන ක්‍රමයෙන් යෝජනා කරනවා. මා එකින් එක අරගන්නෙ නැහැ. එහෙත් නව ව්‍යවස්ථා කෙටුම්පතේ (ඊනියා වාර්තාවෙ) 45, 66, 68, 69, 73, 81, 94, 106, 126, 128, 134, 155, 161, 183, 254 ව්‍යවස්ථා පමණක් කියෙව්වත් පාර්ලිමේන්තුව දුර්වල වී ඊනියා දෙවැනි මන්ත්‍රී මණ්ඩලය හා පළාත් සභා ශක්තිමත් වන හැටි තේරුම් ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව මුළුමනින් ම අහෝසි කෙරුව වගේ වැඩක් තමයි වෙලා තියෙන්නෙ. සුමන්තිරන්ලා යෝජනා කරන්නෙ ඉතා දුර්වල මධ්‍යයක් තියෙන සහසංධීය රාජ්‍යයක්.



සුමන්තිරන්ගෙ බලාපොරොත්තුවත් වාදපිටියෙදි කියැවුණා. ඔහු හිතන් ඉන්නෙ පාර්ලිමේන්තුවට මේ ඊනියා වාර්තාව ඉදිරිපත් කරලා රෑ යාමේ කාරක සභා අවස්ථාවෙ සංශෝධන ටිකක් ගෙනල්ලා විපක්‍ෂය රවටලා ඔවුන්ගෙ අදහස්වලට කන්දුන්න කියල ඊනියා නව ව්‍යවස්ථාව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගන්න. දහනවයට ඡන්දය දුන් විපක්‍ෂය හා ශ්‍රී ල නි ප මෙවරත් ඊනියා නව ව්‍යවස්ථාවට ඡන්දය දෙයි කියා ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ අස්සෙ ජයම්පති කියනව නව ව්‍යවස්ථාවක් ගේන්නෙ නැත්නම් සංශෝධනවත් අවශ්‍ය කියා. ඔහුට විස්ස හරි ඕන. විපක්‍ෂය මේ කිසිවකටවත් ඡන්දය දෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට ඒ සඳහා ජනවරමක් නැහැ. මහා සංඝයා වහන්සේ මේ වෙලාවෙ නව ව්‍යවස්ථාවකට මෙන් ම සංශෝධනවලටත් විරුද්ධයි. 



සුමන්තිරන් ඒකීය රාජ්‍යයකට උදාහරණයක් ලෙස එක්සත් රාජධානිය පෙන්නනවා. එය ඒකීය රාජ්‍යයක් නොවන බව පෙන්වන්න පුළුවන්. බොහෝ දෙනා එය ඒකීය කියා හැඳුන්නුවත් ඇතැමුන් එයට කියන්නෙ සදිසි සංධීය රාජ්‍යයක් (quasi federal) රාජ්‍යයක් කියා. සුමන්තිරන් කියන්නෙ බිරිතානිය  ඒකීය රාජ්‍යයක වුණත් ස්කොට්ලන්තයට වෙන්වීමට ජනමත විචාරණයක් පැවැත්විය හැකි ය කියා. ඒ වෙන්වීමට ජනමත විචාරණයක් පවත්වන්න පුළුවන් බිරිතානිය ඒකීය නොවන නිසාමයි. 1706 දි එංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව එකතු වීමෙන් තමයි ඊනියා මහා බිරීතානි රාජ්‍යය හැදුණෙ. එය සහසංධීය රාජ්‍යයක්. එංගලන්තය පාලනය වන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවෙන් පමණක් බව ඇත්ත. එහෙත් ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුවට අමතර ව තවත් පාලන ආයතන තියෙනවා. මේ එකතුවීම යුනිටරි කියා හැඳින්වීමෙන් පැටලුම් රාශියක් ඇති වී තිබෙනවා. අප එංගලන්තයට යටත් වී සිටිය එක ඇත්ත. එහෙත් අපට ඒකීය ආවෙ සුද්දන්ගෙන්  නොවෙයි. සුමන්තිරන් හා සිංහල බෞද්ධ විරෝධී පඬියන් නොදන්නවාට සිංහලය එක්සේසත් රාජ්‍යයක් වුණෙ ගැමුණු රජුගෙ කාලයෙ. ඒ ඊනියා යුනිටරි බිරිතානිය ඇතිවෙන්න අවුරුදු දෙදහකට පමණ කලින්. ඒ එක්සෙසත් රාජ්‍යය මත පදනම් වෙලා අපට අපේ ම වූ ඒකීය රාජ්‍යයක් පිළිබඳ නිරවචනයක් දෙන්න පුළුවන්. මෙරට  රාජ්‍යය යනු සම්බුද්ධ ශාසනය රැක බලා ගෙන එහි චිරස්ථිතිය සඳහා කටයුතු කිරීමට රට භාරගෙන සිටින පිරිසක් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ ක්‍ෂෙත්‍රවල මුළු රටට ම හෝ රටෙන් ඕනෑම ප්‍රදේශයකට හෝ බලය හැසිරවීම සඳහා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි එක් ආයතනයක් පමණක් පිහිටුවා ගෙන ඇති රාජ්‍යයක්.



විපක්‍ෂය සුමන්තිරන්ගේ වචන හරඹයට හසු නොවිය යුතුයි. ඊනියා නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිම ඉඩක් නොදිය යුතුයි. කතානායකගේ පිහිටෙන් එය ගෙනාවත් රෑ පානේ හෝ වෙනත් අවස්ථාවක හෝ ගෙනෙන කිසිම සංශෝධනයකට ඡන්දය නොදිය යුතුයි. කිසිම අයුරකින් තුනෙන් දෙකක ඡන්දය හිමි වීම වැළැක්විය යුතුයි. නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එය මහා මැතිවරණයකින් පසුව ජනවරමක් ඇතිව සම්මත කර ගමු. එහි දී දැනට ඇති 154(G)(2) අනුව්‍යස්ථාවත් අහෝසි කර අපේ පැරණී එක්සේසත් (එක්සත් නො වේ) රාජ්‍යය අනුව යමින් නව ව්‍යවස්ථාව සම්මත කර ගනිමු.