Main Logo

Saturday 12 January 2019

ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරමු


ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කරමු



ඊයේ ව්‍යවස්ථා මණ්ඩලයට මෙහෙයුම් කමිටුවේත් අනුකමිටුවලත් ඊනියා විශේෂඥ කමිටුවකත් වාර්තා ඉදිරිපත් කෙරී තිබෙන බව පේනවා.  ඊනියා විශේෂඥ කමිටුව ව්‍යවස්ථා මණ්ඩලයෙන් පත් කෙරුණු කමිටුවක් නො වෙයි. එහි වාර්තාව ඉදිරිපත් කෙරිය යුතුව තිබුණේ මෙහෙයුම් කමිටුවටයි. එකී වාර්තාව ආපසු මෙහෙයුම් කමිටුවට යැවිය යුතුව තිබුණා. ඊයේ රනිල් තම හිතේ තියෙන අදහස් ප්‍රකාශ කෙළේ නැහැ. ඔහු කෙළේ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කොළේ වහලා ගැහීමක්. අනුර දාසනායක සුපුරුදු ආකාරයට මහින්දට බණින්නට ඒ අවස්ථාවක් කර ගත්තා. චම්පක තම දේශද්‍රෝහි දේශපාලනය වසා ගැනීමට ව්‍යවස්ථා මණ්ඩලය දැන් වැඩක් නැති බව කිව්වා.




රනිල්, අනුර හා චම්පක වෑයම් කෙළේ ව්‍යවස්ථා සම්පාදනය එක්කෝ කළ නොහැකි දෙයක් බව නැත්නම් අත්හැරිය හැකි දෙයක් බව පෙන්වීමටයි. සම්බන්ධන් පමණක් හිතට එකඟ ව කතා කළා. ඔහුට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රනිල්ටත් අවශ්‍යයි. එහෙත් රනිල්ට ඒ බව කීමට ශක්තියක් නැහැ. රනිල් දැන් උත්සාහ කරන්නේ ව්‍යාජ මුහුණක් පෙන්වා කොයි මොහොතක හරි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටයි.



ඔහු නිතර උත්සාහ කෙළේ ඉදිරිපත් කළ වාර්තා ගැන විවාදයක් ලබා ගැනීමටයි. එය නව ව්‍යවස්ථාව පිළිබඳ විවාදයක් නොවන බවයි ඔහු කියන්නේ. ඔහුට අනුව අවශ්‍ය ඊයේ ඉදිරිපත් කෙරුණු වාරාතා ගැන විවාදයක්. එයට කිසිසේත් එකඟ නොවිය යුතුයි. එවැනි විවාදයක් අවසානයේ ඔහු ඡන්ද විමසීමක් කර වාර්තා සම්මත වූ බව ප්‍රකාශ කර ඒ මත සකස් වූ ව්‍යවස්ථාවක් සම්මත වූ බව කියන්න පුළුවන්. රනිල් තරම් ප්‍රෝඩාතන්ත්‍රවාදියෙක් ලංකාවට සර්වජන ඡන්දය ලැබීමෙන් පසු වාසය කර නැහැ. ඔහූු ඒ අතින් ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනත් පරාද කරනවා.



රනිල් වැඩ බැරි ටාසන් කෙනෙක්. ඔහුට රට පාලනය කරන්න බැහැ. ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් නැහැ.  අවුරුදු හතරකට ආසන්න කාලයක් කළ නොහැකි වූ දේට ඔහු දින පනස්එකේ ආණ්ඩුවට වරද පටවන්න හදනවා. ඒ දින පනස්එකේ වැඩ කරන්න දුන්නෙ දින කීයද? රනිල් දන්නේ එකම එක දෙයයි. ඒ උප්පරවැට්ටි මගින් හා තර්ජනයෙන් බලයේ රැඳී සිටීමයි. උප්පරවැට්ටි මගින් අණ පනත් සම්මත කර ගැනීමයි. ඔහු පැරදි පැරදී එ ජා ප නායකත්වයේ සිටීම ම ඔහුගේ උප්පරවැට්ටි දේශපාලනයට කදිම නිදර්ශනයක්. ඔහු අද මාධ්‍යයට තර්ජනය කරනවා. මාධ්‍ය කළු මාධ්‍ය ලෙස හඳුන්වනවා. සිංහලයන්ට විරුද්ධව චිත්‍රපටි නිපදවූ විමුක්ති වැන්නවුන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් කරනවා. විමුක්ති භාවනාවට ගිය බවක් පසුගිය කාලයේ ඇඟෙව්වා. ඔහු දැන් භාවනාවෙන් නැගිටලා ද?



රනිල් ඇතැම් ජනමාධ්‍යවලට රජයේ දැන්වීම් දෙන්නේ නැහැ. රජයේ දැන්වීම් යනු එ ජා පක්‍ෂයේ දැන්වීම් නො වෙයි. රනිල් ආණ්ඩුවක් මිස රාජ්‍යයක් පවත්වාගෙන යන්නේ නැහැ. රනිල්ට විරුද්ධව ඡන්දය දුන් විශාල පිරිසක් රටේ ඉන්නවා. රනිල් ඔවුන්ගේ අවශ්‍යතාත් සැලකිල්ලට ගත යුතුයි. එ ජා පක්‍ෂයට හිතවත් නැති බොහො දෙනා ජනරජයෙහි වාසය කරනවා. රජයේ දැන්වීම් ඊනියා කළු මාධ්‍යවලට නැවැත්වීම ගැන විමුුක්ති, චාන්දනී හා කළු කණ්ඩායම කියන්නේ මොකක් ද? රනිල් බොහෝ කලකට පෙර අධ්‍යාපන ධවල පත්‍රිකාවක් ගෙන ආ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය අපට අමතක වී නැහැ. මා බටලන්ද හා මහා බැංකුව ගැන කියන්නේ නැහැ.



රනිල් දහනවවැනි ව්‍යවස්ථාව සම්මත කර ගත් ප්‍රෝඩාතන්ත්‍රවාදී ආකාරය මාමාගෙන් ඉගෙන ගන්න ඇති. අප එදා සිට ම කිව්වේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කළ යුතු බවයි. අප ඒ දිනවලත් කිව්වා රනිල් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් නොකර ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ දී ම එය සම්මත කර ගන්න ඉඩ තියෙනවා  කියා. ඔහු ඒ සඳහා බණ්ඩාරනායක මැතිණිය 1972 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් බැහැර ව සම්මත කර ගත් ආකාරයත් උදාහරණයකට ගන්න පුළුවන්. එහෙත් අප එදත් පෙන්වා සිටියා බණ්ඩාරනායක මහත්මියට වෙනත් විකල්පයක් නොතිබූ බවත් ඇය ඒ සඳහා 1970 මැතිවරණයේ දී ජනවරමක් ලබා ගත් බවත්. සිංහල මිනිසුන් මෙවැනි දේ ගැන කල්පනා කරන්නේ නැහැ. 



රනිල්ට 1978 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට හෝ ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නැහැ. එය 1978 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ ම හා අවශ්‍ය වුණොත් ජනමත විචාරණයකින්    කළ හැකියි. ව්‍යවස්ථා මණ්ඩලය සම්පූර්ණයෙන් ම ප්‍රෝඩාවක්. රනිල්ගේ බලාපොරොත්තුව ඊනියා වාර්තා සම්මත කර ගෙන ව්‍යවස්ථා මණ්ඩලයේ දී ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. එය බැරි වුණොත් ඔහු තමා වෙනුවෙන් දාසනායක ගෙන ආ විස්සේ එල්ලේවි.



බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේ යැයි කියන රනිල් මහාසංඝයා වහන්සේගේ අවවාද අනුශාසනා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. මෙරට ඒකීය බව ආරක්‍ෂා කරනවා කියා රනිල් කියනවා. එහෙත් අදත් මේ රට සන්ධීය රාජ්‍යයක්. ඒ බව අප ඉහත දී කිහිප වරක් කියා තිබෙනවා. ජේ ආර් මාමා පාරින්ද රණසිංහ විනිසුරුගේ නඩු තීන්දුව නොසලකා හැර දහතුන සම්මත කර ගත්තා. ඉන් මෙරට සන්ධීය (දුර්වල වුවත්) රාජ්‍යයක් වුණා. රනිල් අද කළ යුත්තේ රටේ ඒකීය භාවය නැති කළ 154 (G) අනුව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. ඒකීය භාවය රකින බව කියන රනිල් තමා කියන දේ කරන අයකු නම් ඒ අනුව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි.



අද අප සිටින්නේ ඉතාම භයානක අවස්ථාවක. දාසනායක බොරුවට කියනවා පාර්ලිමේන්තුවේ නව  ව්‍යවස්ථාවක් ගෙනෙන්න බැහැ කියලා. ඔහු හොඳාකාරව දන්නවා රනිල් කරන්න යන දේ. ඒ  පාර්ලිමේන්තුවට නොගොස් ව්‍යවස්ථා මණ්ඩලයේ බොරු විවාද පවත්වා ව්‍යවස්ථාව ව්‍යවස්ථා මණ්ඩලයේදී ම සම්මත කර ගැනීමයි. එවිට තුනෙන් දෙකක් නැතිව ම ව්‍යවස්ථාව ඊනියා වාර්තා මගින් සම්මත කර ගනීවි.



දාසනායකලා හිතනවා නම් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කාලයක් නැහැ කියලා අද කළ යුත්තේ ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවත් ඒ සම්මත කර ගැනීමයි. ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවනු ලැබුයේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවට එය අහෝසි කරන්න පුළුවන්. 



අවාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ හා පොදුජන පෙරමුණේ ඇතැමුන් මේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඔවුන් ජනාධිපති අපේක්‍ෂක ගැන කුළල් කා ගන්නවා. තම මන්ත්‍රී ධුර හා ආසන සංවිධායකකම් ඔවුන්ට අන් සියල්ලට ම වඩා ලොකුයි. මේ මන්ත්‍රී පෙරේතයන්ට මනාප නොදීමට අපි තීරණය කරමු.