Main Logo

Friday 25 January 2019

ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය


ලේඛකාධිකාර හාමුදුරුවන්ගෙ අනුශාසනය



ඊයේ ජාතික සමතා බලවේගයේ රැස්වීමේ දී අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනය සිංහල බෞද්ධයන් අවබෝධ කර ගනීවි ද යන්න ගැන මට සැකයක් තියෙනවා. උන්වහන්සේගේ අනුශාසනයේ හරය වූයේ දේශපාලනඥයන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. පසුගිය දා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඊනියා වාර්තාවේ ඇමිණුම් කියවන විට ඒ අදහස ඇති වෙනවා.




මෙහෙයුම් කමිටුවේ හා වෙනත් තැන්වල ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පෙනී සිට ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් නො වෙයි. ඔවුන් සුමන්තිරන්ගෙන් වෙනස් වන්නේ කෙස් ගහක ප්‍රමාණයකින්. මෙයින් කියන්නේ පොදුජන පෙරමුණේ  දැවැන්තයන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බවක් නො වෙයි. පොදුජන පෙරමුණේ මහා මොළ කාරයා හා වැඩ කාරයා ලෙස හැඳින්වෙන බැසිල් රාජපක්‍ෂට දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය අපට තේරෙන විධියට කියා ගන්න අමාරුයි කියල තමයි කියන්නෙ. අපි ඔහු ගැන පසුව වැඩිදුරටත් කතා කරමු. ජී එල් පීරිස් සමගාමි ලැයිස්තුව ඉවත් කර ගන්නා බවට ලිපියක් දී වැඩි කලක් නැහැ.



අද දිවයිනේ ජනප්‍රිය ම රූපවාහිනි නාළිකා දෙක හැසිරවෙන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් ද? එහි අයිතිකරුවන් පරිපාලනය කරන්නන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ද? සිංහල බෞද්ධයන් මෙන් පෙනී සිටන අබෞද්ධයන් ඒ ආයතනවල විධායක මණ්ඩලවල  සිටින බෞද්ධයන් අන්දවා තමන්ට අවශ්‍ය දේ කර ගන්නේ ද? අප සිංහල බෞද්ධයන් යැයි සිතාගෙන සිටින නළු නිළියන් ඊනියා කලාකරුවන් අබෞද්ධයන් ද? නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීතය ගායනා නොකරන්නේ ඇයි? අමරදේව මැග්සේසස් ත්‍යාගය ලබන කාලයේ සඟ ගණ මොකද කෙළේ කියා ඇසුවේ ඇයි? 



පසුගිය දා පැරණි වෛත්‍යයක් උඩ නැග පින්තූර ගත් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් මුස්ලිම් බව කීමෙන් ඊනියා සංහිඳියාව බිඳ වැටෙයි ද? බණ්ඩාරනායක මැතිිණිය සිංහල බෞද්ධයන් වෙනුවෙන් විශාල සේවයක් කළත් බද්‍යුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමති කිරීමෙන් කළ හානිය අප නැති කර ගන්නේ කෙසේ ද? පාසල්වල ඉතිහාසය ඉගැන්වීම නතර කෙරුණේ බද්‍යුද්දීන් මොහොමඩ් විසින්. විශ්වවිද්‍යාලවල එදත් අදත් ඉතිහාසය ඉගැන්වුණේ උගැන්වෙන්නේ ජී සී මැන්දිස් පූජකවරයාගේ ගෝලයන් විසින් බව අප අමතක කරන්නේ කෙසේ ද?



සාහිත්‍යයේ පේරාදෙණි ගුරුකුලය ගැන පමණක් කතා කිරීම කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අනෙක් අධ්‍යනාංශවල තත්වය එයටත් වඩා භායානකයි. සිංහල බෞද්ධ පවුල්වල උපන් අය ඊනියා ප්‍රබුද්ධයන් වී ඊනියා සිංහල බෞද්ධ ස්වොත්තමවාදයකට විරුද්ධ වන්නේ තමන් ද අප ද පෙළන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ගැන කිසිදු වැටහීමකින් තොරව ද? නැතහොත් ඊනියා බෞද්ධ විද්‍යාලවලින් ද ලැබෙන බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් මනස් අවුල් කර තිබීමෙන් ද? මේ කසිකබල් අධ්‍යාපනය ඊනියා වාස්තවික එකක් ලෙස සැලකීමට අපට පුරුදු කිරීම ම ඒ අධ්‍යාපනයේ වංචනිකබවට හොඳ ම උදාහරණයයි.



ජාතික ව්‍යාපාරයේ සංවිධාන එකතු කිරීමක් තමයි ජාතික සමතා බලවේගයෙන් බලාපොරොත්තු වන්නේ. එය හොඳයි. එහෙත් පුනරුත්පත්තිය විශ්වාස නොකරන කී දෙනකු ජාතික ව්‍යාපාරයේ සිංහල බෞද්ධයන් අතර ඉන්නවා ද? තමන් පිළිගන්නේ ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්  පමණක් බවයි ඔවුන් කියන්නේ. එහෙත් ඔවුන් ගුරුත්වාකර්ෂණ බලය පිළිගන්නේ එය ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නිසා ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාදවල පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප වේ ද? ජාතික ව්‍යාපාරය මාක්ස්වාදී රටාවක් අනුව සකස් විය යුතු යැයි කියන්නන් ජාතික ව්‍යාපාරයේ ඉන්නවා ද?



සිංහල බෞද්ධයන් බටහිර විද්‍යාව ගැන මහත් උද්‍යොගයකින් කතා කරන්නේ බුදුදහමත් විද්‍යාත්මක බව පවසමින්. සමහර සිංහල බෞද්ධයන්ට අනුව බුදුදහාමුදුරුවන් තමයි ලොවේ පහළ වූ පළමු විද්‍යාඥයා. බුදුුහාමුදුරුවන් අවිද්‍යාවක් ගැන දේශනා කෙළේ බටහිර විද්‍යාවක අර්ථයකින් නො වෙයි. එහෙත් මට එකක් කිසිම පැකිළීමකින් තොරව කියන්න පුළුවන්. බටහිර විද්‍යාව බුදුහාමුදුරුවන්ට අනුව අවිජ්ජා බව. බුදුහාමුදුරුවන් විද්‍යාඥයකු බව කියන ඊනියා උගතුන් දන්නේ නැහැ බටහිර විද්‍යාවේ විද්‍යාඥයන් කියා ඇති දේ පසුව එන විද්‍යාඥයන් ප්‍රතික්‍ෂෙප කරන බව. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය අයින්ස්ටයින් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබීම මෙයට හොඳ ම උදාහරණයයි. 



අද දේශපාලනඥයන් අතිවිශාල බහුතරය ද දන්නේ තමන් බටහිර අධ්‍යාපනයෙන් ලබාගත් දේ. ඔවුන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම්  ගැන කිසිම වගවිභාගයකින් තොරව කතා කරනවා. මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රසිද්ධියේ පිළිගන්නා දේශපාලනඥයන් ඉන්නවා ද? එහෙත් ඔවුන් මහත් සේ අගය කරන බිරිතානිය ක්‍රිස්තියානි රටක් බව එහි හිටපු අගමැති ප්‍රකාශ කළා. ට්‍රම්ප්ගෙන් අහන්න. ඔවුන් කතා කරන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික අගයන් ගැන. අපේ දේශපාලනඥයන් කතා කරන්නේ සංහිිඳියාවක් ගැන.



ඊයේ රැස්වීමේදීත් පැවසුනා උතුරු පළාතේ වෙහෙර විහාර තැනීමට පවත්වාගෙන යෑමට ඇති බාධා විරුද්ධතා ගැන. මෙරට දේශපාලනඥයන්ට මා කිහිප වරක් ම කියා තිබෙනවා සුද්දන් 1892 දී පැන වූ නීතියක් ගැන. ඒ අනුව බෞද්ධ නොවන සිද්ධස්ථාන තැනීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු බව. එහෙත් බෞද්ධ සිද්ධස්ථානයක් තැනීමට එවැනි අවසරයක් අවශ්‍ය නැහැ. මේ නීතිය අදටත් වලංගුයි. ඒ අප එංගලන්තයට යටත් නිසා නො වෙයි. ඔවුන් පැන වූ නීති පවත්වාගෙන යෑමට අප තීරණය කර ඇති නිසා.



එමෙන් ම පැරණි සිංහල රජවරුන් පැනවූ නීති සිරිත් තවමත් වලංගුයි. මෙරට රජවරුන් කිහිිප දෙනකු විසින් ම බුදුන් වහන්සේට බුදුසසුනට පූජා කෙරුණු රටක්. මේ රටහෙි බෞද්ධ සිද්ධස්ථානයක් තැනීමට පවත්වාගෙන යෑමට කිසිවකුගේ අවසරයක් අවශ්‍ය නැහැ. මා මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ ජේතවනාරාම භූමියෙහි වෙනත් සිද්ධස්ථානයක් තැනීම සම්බන්ධයෙන් ගත් පියවර ගැන සඳහන් කර තිබෙනවා. එහෙත් ජනමාධ්‍ය ඒ අදහස්වලට දිය යුතු ප්‍රචාරය දෙන්නේ නැහැ. 1892 නීතිය ගැන කතා නොකර දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහි වීම ගැන දවසක් දෙකක් කතා කර අමතක කිරීමෙන් වැඩක් වෙන්නෙ නැහැ.

               

මේ සියල්ලට ම මුල පක්‍ෂ දේශපාලනයෙන් මුසපත් වී තමන්ට පෞද්ගලික ව  බලය ලබා ගැනීමට කටයුතු කරන ආණ්ඩු පක්‍ෂයේ මෙන් ම විරුද්ධ පක්‍ෂයේ ද සිංහල බෞද්ධ දේශපාලනඥයන්. ඔවුන් සිංහල බෞද්ධකම ගැන කතා කරන්නේ බලයට පත්වීමට පමණයි. ඒ අතර දෙමළ මුස්ලිම් ඡන්ද ගැනීමට සිංහල බෞද්ධයන්ට වන අසාධාරණකම් ගැන කතා කරන්නේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය එදින ම පාවා දුන් අය ගැනත් විශ්වාසයක් තබන්න බැහැ. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි හාමුදූරුවන්ගේ අනුශාසනය සියළු දෙනාට ම අසන්න සලස්සවා ඒ ගැන කළයුතු දේ කිරීමට ජාතික සමතා බලවේගය වහාම පියවර ගත යුතුයි. 



1892 නීතිය  අපේ ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියට වඩා මෙය බලවත්.

 

section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4of 1892.
"As well the priest as all the ceremonies and processions cessions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"