Main Logo

Wednesday 30 January 2019

ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය


ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය



ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය අතර එතරම් වෙනසක් නැති බවයි මට හැඟෙන්නෙ. මේවා නිකම් වචන පමණයි. ඒත් ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. අඩු තරමෙන් එය මිනිසුන් කියන එක සාධාරණීය කරමින් තනා ගත් වියුක්ත සංකල්පයක්. කම්කරු පංතිය නිකම් ම නිකම් හිතළුවක් පමණයි. එහෙම පංතියක් ගැන වියුක්තවවත් කතා කරන්න බැහැ. එහෙම පංතියක් සංයුක්තවවත් වියුක්තවවත් නැහැ. 



මා කලින්ද කියා ඇති පරිදි  ජනතා පරමාධිපත්‍යය ගලා එන්නෙ දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයෙන්. දෙවියන් වහන්සේගේ කැමැත්ත වගේ තමයි ජනතා කැමැත්ත කියන එකත්. පෘතුගීසි කාරයන් අප අල්ලා ගත්තේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි. දෙවියන් වහන්සේට ඒ පරමාධිපත්‍යය පැවරුවෙ පාප් වහන්සේ හා කතෝලික පල්ලිය. කතෝලික පල්ලිය පරමාධිපත්‍යය දෙවියන් වහන්සේට පවරල ඊට පස්සෙ දෙවියන් වහන්සේගෙන් තමන්ට ම ලබා ගත්ත. ඒ පරමාධිපත්‍යය පස්සෙ බටහිර රජවරු ලබා ගත්ත. බටහිර රජවරු තමන්ට පරමාධිපත්‍යය පරම්පරාවෙන් ලැබුණු එකක් කියල කිව්ව. ඒ පරමාධිපත්‍යයෙ සංයුක්ත බවක් තිබුණ. මෙරට රජවරුන්ට එවැනි පරමාධිපත්‍යයක් තිබුණෙ නැහැ. මෙරට රජවරු භාරකාරයන් පමණයි. ඔවුන් බෝධිසත්වයන් විය යුතු ය කියාත් මතයක් තිබුණා.



අනුරාධපුර යුගයෙ අවසානයත් සමග මේ තත්වය වෙනස් වුණා. අපට ද්‍රවිඩ බලපෑම් ටික ටික ලැබෙන්න පටන් ගත්ත. රජවරු භාරකාර තත්වයෙන් ක්‍රමයෙන් මිදුණා. අවසාන සිංහල රජවරුන් වූ නායක්කාර් වාංශිකයන් නමින් බෞද්ධ වුණා. එහෙත් ඔවුන්ට තෙළිඟු හින්දු ආභාසය තිබුණා. ඒ රජවරු නායක්කාර් වාංශිකයන් වුණත් සිංහල රජවරු. ඔවුන් රජවූයේ සිංහල බෞද්ධ රාජධානියෙ මිසක් ආන්ද්‍ර ප්‍රදේශයෙ හරි මදුරෙයිහි හරි නො වෙයි. මේ බව මා කලින් කිහිප වතාවක් ම කියා ඇති.



වෙල්ලෝරයෙ කවුද පිරිසක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන්ගෙ ද්‍රවිඩ රජ කෙනකු ලෙස සලකලා සමරන්න යනවලු. ඒකට අපත් වැරදි කාරයො. අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ද්‍රවිඩ රජකු හැටියටයි පිළිගන්නෙ. ඔහු සිංහල රජකු යැයි අප කියන්නෙ නැහැ. අප සංකල්පීය ව හිතන පිරිසක් නො වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහට හින්දු බලපෑම තිබුණ නමුත් ඔහු සිංහල රජෙක්. ලම්බකර්ණ වාංශිකයන් මෙන් මෞර්ය වාංශිකයන් මෙන් නායක්කාර් වාංශිකයන් ද සිංහල බෞද්ධ රාජ්‍යයේ සිංහල රජවරු. සිංහල බෞද්ධ රාජ්‍යයේ ද්‍රවිඩ රජවරුන් ඉන්න විධියක් නැහැ. දැන් ලංකාවෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් නැහැ. දැන් තියෙන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. ඒ රාජ්‍යයට හැමදාමත් මෙතෝදිස්ත සහාය තිබුණා.



ඒ කොහොම වුණත් බටහිර යුරෝපයෙ රජවරු නොවන පිරිසක් රජවරුන්ට විරුද්ධ ව නැගී සිටියා. රජවරු පාප් වහන්සේගෙන් පරමාධිපත්‍යය උදුරා ගත්තත් ඔවුන් කතෝලික චින්තනයෙන් මුළුමනින් කැඩී තිබුණෙ නැහැ.  බටහිර යුරෝපය කතෝලික චින්තනයෙන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට මාරු වීමත් සමග තමයි එංගලන්තයේ වෙනත් පිරිසක් බලය (පරමාධිපත්‍යය) ලබා ගැනීමට සටන් කෙළේ. ප්‍රංශ විප්ලවයෙන් ඒ ක්‍රියාවලිය එක්තරා ආකාරයකින් පරිපූර්ණත්වයට ගෙනාවෙ රජුගෙ හිස ගසා දාලා. එංගලන්තයෙ රැජින තාමත් ඉන්නවා. අපි ඇගේ බකිංහැම්හි මුණුබුරා හැරීගෙ මගුල මැදමූලන රෝහිතගෙ මගුලට වඩා හොඳින් ගත්ත. මැදමූලන මගුල සිංහල බෞද්ධයන් ද හින්දූන් ද රවටන්න  හදනවා හින්දු චාර්ත්‍ර අනුවත් කටයුතු කිරීමෙන්. මගුල පල්ලියෙත් ගත්තට සිංහල බෞද්ධයන්ගෙ ප්‍රශ්නයක් නැහැ. කොහොමත් රාජපක්‍ෂ යුගය අවසන් වෙමින් යනවා. මා මෙහෙම කියනවට අද දවසෙ බොහෝ දෙනකු විරුද්ධ වෙන බව මා දන්නවා. රාජපක්‍ෂලා වෙනුවෙන් වැඩ බලන්න ජී එල් පීරිස්ට හයියක් නැහැ.  



රජවරුන් පරද්දල බලය ගත්ත පිරිසට ආධිපත්‍යයට උරුමයක් තිබුණෙ නැහැ. ඔවුන් කෙළේ ඊනියා පරමාධිපත්‍යය ජනතාවට පැවරීම. දැන් ජනතාව වියුක්තයි. වියුක්තය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ අංගයක්. ඒ පිරිස ජනතා පරමාධිපත්‍යය, ඒ ඒ කාර්යයන් කිරීම සඳහා ජනතාවගෙන් අවුරුදු කිහිපයකට පවර ගන්නවා. ඒක පාප්වහන්සෙ දෙවියන්වහන්සේගෙන් පරමාධිපත්‍යය තමන්ට පවර ගත්ත වගේ. ජනතාව ඒ පිරිසට තම ආධිපත්‍යය පවරලා අර පිරිසගේ ආධිපත්‍යයට යට වෙනවා. ඒක හොඳ ක්‍රමයක්. තමන්ට නැති පරමාධිපත්‍යයක් වියුක්ත ජනතාවකට පවරල මැතිවරණ හරහා ඒ පරමාධිපත්‍යය තමන්ට ගැනීම. කොහොම ද ටිකිරි මොළේ කියල අහන්න වෙන්නෙ ඒ වගේ වෙලාවලට.



මේ පරමාධිපත්‍යය එවැනි පිරිසකට පවරනු ලැබීම නොඉවසු පිරිසක් හිටියා. ඔවුන් අතර බුද්ධිමතුන් ද සිටියා. ඔවුන්ට කවරදාවත් ඡන්දයකින් බලයට එන්න බැහැ. ඡන්දයෙන් එන්න බැරි නම් ඊනියා විප්ලවයකින්  බලයට එන්න ඔවුන් සිතුවා. මාක්ස් කෙළේ ඒ පිරිසට පරමාධිපත්‍යය ලබා ගැනීමට ප්‍රවාදයක් ලබා දීමයි. ඔහු එ පරමාධිපත්‍යය තිබිය යුත්තේ ඊනියා කම්කරු පංතියකට කියා කිවුව. කම්කරු පංතිය සම්පූර්ණයෙන් ම නොවුණත් මාක්ස්ගෙ නිර්මාණයක්. මාක්ස් කම්කරු පංතියේ පරමාධිපත්‍යයට කම්කරු පංති ආඥාදායකත්වය (Dictatorship of the proletariat) කියා කිවුව.



මාක්ස් මුළු ලෝකයට ම තම ප්‍රවාදය හරියනවා කියා කිවුව. ඒත් අඩු තරමෙ බටහිර යුරෝපයටවත් ඒක හරිගියෙ නැහැ. එහෙම වුණෙ මොකද කියල කියන්න ට්‍රොට්ස්කි පර්මනන්ට් රෙවල්‍යූෂන්, කම්බයින්ඩ් ඇන්ඩ් අන්ඊවන් ඩෙවලප්මන්ට් වගේ පොත් ලිවුව. ඒකෙන් වැඩක් වුණෙ නැහැ. සමහරු හිතන්නෙ නොනවතින විප්ලවය (Permanent Revolution)  වතු කම්කරුවන්ගෙ රුපියල් දාහෙ සටනෙ තියෙනවා කියල. ඒත් රුපියල් විස්සලූ විප්ලවයෙන් ලබා ගත්තෙ. කවුද කියල තිබුණ ඒකෙන් ලොතරුයි පතක් අරගෙන ලක්‍ෂපතියකු වෙන්න පුළුවන් කියලා. ලෙනින්ට අනුව ඊනියා කම්කරු පංතිය විඥානයක් නැතිව උපන් පංතියක්නෙ.  



පරමාධිපත්‍යය ජනතාවකට දුන් පිරිස හා කම්කරු පංති ආඥාදායකත්වය ඊනියා කම්කරු පංතියකට දුන් පිරිස අතර වෙනසක් තියෙනවා. පළමු පිරිස ඊනියා සිස්ටම් චේන්ජ් නැත්නම් ක්‍රමය වෙනස් කිරීමේ පිරිසක් නොවෙයි. ඔවුන් කලක සිට ටික ටික කරපු වෙනස්කම් නිසා අවසානයේ දී ඊනියා පරමාධිපත්‍යය ජනතාවගෙන් පවරා ගත්තා. දෙවැනි පිරිස පටන් ගන්නෙ ම ක්‍රමය වෙනස් කරන්න කියලා. ඒත් වෙනස් කරපු ක්‍රමයක් නැහැ. කම්කරු පංතියේ ආඥාදායකත්වය පක්‍ෂයට පමණක් සීමා වුණා. ඒත් ඔවුන්ට හැමදාමත් ක්‍රමය වෙනස් කිරීම ගැන කතා කර කර ඉන්න පුළුවන්. ඒක නොනවතින විප්ලවයක් කෙසේ වෙතත් නොනවතින කතාවක් පමණයි.