Main Logo

Saturday, 19 January 2019

සේන දළඹුවා ඇවිත්


සේන දළඹුවා ඇවිත්



සේන දළඹුවා යාපනය හැර අනෙක් දිස්ත්‍රික්කවල පැතිර යන බවයි වාර්තා වෙන්නෙ. සමහර විට යාපනයේත් පැතිරෙන්න පුළුවන්. නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මේ පණුවාට දළඹුවා කියන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක්. සේන කියන්නෙ ඉංගිරිසියෙන් හරි වෙනත් භාෂාවකින්  හරි කියන නමක් මිසක් සිංහල නමක් වෙන්න බැහැ. සිංහල සේන කෙනෙක් මේකට සම්බන්ධයි කියා හිතන්න බැහැ. දළඹුවන්ගේ වැඩේ කන එකමයි කියල කතාවක් තියෙනවා. සේන දළඹුවන් නම් හරිම හරි බඩගිනිකාරයන් බව පේනවා.




මේ සතුන් ගැන කවුරුන් හරි දන්න කෙනෙක් විස්තරයක් කරනව නම් හොඳයි. උන් වැඩිපුර ඉන්නෙ මොන රටවල ද, මේකගේ ජීවිත කාලය කොපමණ ද වගේ දේ දන්න දත්ත ගබඩා මෙරට ඉන්න පුළුවන්. ඒත් තවමත් කිසිවකු හරි විස්තරයක් කියල නැහැ. මොවුන් ගැන බටහිර ජීවවිද්‍යාවෙ කියලා දෙන්නෙ නැද්ද? සේන දළඹුවාට විරුද්ධව සටන් කරන්නෙ කොහොම ද? බටහිර රටවල සත්ව ඝාතන අකුසලයක් නොවන හින්ද ඒ රටවල සේන දළඹුවා විනාශ කිරීමට ක්‍රම යොදලා තියෙනවා ද? කෘමිනාශක වගේ දේ.



සේන දළඹුවා දැන් බඩඉරිඟු කරලින් කුරක්කන් උක් ආදී වගාවන්ට ද පැතිරිල කියලයි කියන්නෙ. වී වගාවටත් පැතිරෙයි ද? මෙය භයානක තත්වයක්. මෙයින් ගොවියන් අමාරුවෙ වැටිලා. ගොවියන්ට සහනාධාර දෙන ක්‍රමයක් වහාම සකසන්න ඕන. අප රට කෘෂිකාර්මික රටක් කිව්වත් අඩුවෙන් ම සැලකිලි ලබන්නෙ ගොවියන්. නැත්නම් ගොවි පුතුන් ත්‍රිරෝද රථ පදවන්නයි ඊනියා ආරක්‍ෂක භටයන් වෙන්නයි යාවි ද? ගොවියන් ගැන මාක්ස්වාදීන්ගෙත් තියෙන්නෙ එච්චර සුහද ආකල්පයක් නො වෙයි. ගොවීන් අල ගෝනි ලෙසයි හඳුන්වනු ලැබුවෙ. ගොවියන් පනස්හයේ පංච මහා බලවේගයටත් අයත් වුණා. ඒත් එහෙම වෙලා අවුරුදු හැටකට වඩා ගියත් ගොවීන්ට වෙච්ච සෙතක් නැහැ.



සේන දළඹුවා ගැන හදාරන්න කෘෂිකාර්මික නිලධාරී පිරිස් විවිධ රටවලට යවමු ද? අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් යම් ප්‍රමාණයකටවත් ලබා ගන්න පුළුවන් ද?  ඩ්‍රෝන යෙදවීමක් ගැන කතා කෙරුණා. ඒකට මොකක් ද වුණෙ. ඩ්‍රෝනවලින් ඉහින්නෙ මොන කෘමිනාශක ද? ඒවා මිනිසුන්ට හිතකර ද? කෘමිනාශක යෙදීම බුද්ධාගම පාවාදීමක් ලෙස ලියන්න තම්බයියලා මතුවෙයි ද? පඬිපෝතකයන් මේ ගැන මොනව ද කියන්නෙ?



සේන දළඹුවා කරන හානියට දේශීය ප්‍රතිකාර තියෙනවා ද? ඒ දන්නා අය කවුද? සේන දළඹුවා ලංකාවට අමුත්තකු බැවින් අදාළ දැනුමක් අප අතර තියෙනවා ද? අර අළු සාත්තුව ගැන ගොවීන් උනන්දුවක් නැද්ද? ඒක හරියන්නෙ නැති වැඩක් ද? අළු සාත්තුව කොහෙ හරි කෙරුණ ද? අළු සාත්තුව හැරෙන්න තවත් සාත්තු තියෙනවා ද? ඒ ගැන දැනුමක් ඇති අය දැන් නැද්ද? අලුත් සත්ව විශේෂයක් පැමිණුනාම එයට මුහුණ දීමට අලුත් ක්‍රමයක් කීමට තරම් දේශීය දැනමුත්තන් රටේ නැත් ද? ඉංගිරිසින් මුලින් ඉන්දියාවෙ පතුරවපු පසුව ලංකාවෙත් පතුරවපු මහාදැනමුත්තා කතාවලින් දේශීය දැනමුත්තන් උපහාසයට අපහාසයට ලක් කෙරී ඉවත් කෙරිණි ද?



සේන දළඹුවා ගැන ඉක්මණින් යමක් කරන්නත් ඕන. ගොවීන්ට කඩිනමින් සහන සපයන්නත් ඕන. එහෙත් මේ සේන ප්‍රපංචයෙන් (බටහිර වචනයක් යොදා ගත්තම තැනක් ලැබෙනවා) කරුණු දෙකක් මතුවෙනවා. එකක් දැනුම පිළිබඳ ප්‍රශ්නය. අනෙක මෙය සැලසුමක් ද (මා කුමන්ත්‍රණය කියන වචන යොදා ගන්න කැමති නැහැ) කියන එක. අප දැනුමෙන් කොතරම් අනාථ වෙලා ද කියනවා නම් අප බටහිර දැනුමක් ලැබෙන තෙක් කට ඇර ගෙන ඉන්නවා. අඩුම තරමෙන් ඊනියා අන්තර්ජාලයේවත් හොයනවා. බටහිර පොතපත සඟරා ආදිය පෙරළනවා.



දැන් මෙරට ගොවියන්ගේ දැනුම් කොන්ද කඩා දමා ඇති බැවින් ඔවුන් ද බලා ඉන්නෙ කෘෂිකර්මයෙන් (දෙපාර්තමේන්තුවෙන්) කවුරු හරි එනකන්. දැන් ගොවිතැනට බොරු වැදගත්කමක් තියෙනවා. ඒක කෘෂිකර්මය වෙලා. අවුරුදු හැටකට පමණ පෙර ලතින් ඉගෙන ගන්න කොට අපට උගන්නපු නාම පදයක් වුණෙ ඇග්රිකෝලා යන්න. ඒකෙ තේරුම ගොවියා යන්න. ගුරුතුමා අපෙන් ඇහුවා ඇග්රිකෝලා කියන වචනයෙන් හැදුණු ඉංගිරසි වචනයක් තියෙනවා ද කියා. කවුද කිව්ව ඒ ඇග්රිකල්චර්. ඇග්රිකල්චර් තමයි කෘෂිකර්මය ලෙස පරිවර්තනය කරගෙන තියෙන්නෙ.  ඇග්රි නැතුව කල්චර් විතරක් ගත්ත ම ඒක සංස්කෘතිය වෙලා. ඉස්සර පේරාදෙණියෙ කෘෂිකර්ම පීඨයෙ සිසුන්ට ඇග්රිකෝලාස් කියා කිව්ව. ඒත් ලතින් බහුවචනය ඇග්රිකෝලී බව බොහෝ දෙනා දැන සිටියේ නැහැ. ගණිතයෙ පරාවලය කියන්නෙ පැරබලා කියන එකට. ඒකෙත් බහුවචනය පැරබලී. එහෙත් බොහෝ දෙනා කියන්නෙ පැරබලාස් කියලා.



අපටත් පාසලේ දී ලැබුණෙ බටහිර අධ්‍යාපනය. ඒත් ඒක ඉතා ඉහළ මට්ටමකින් ලැබුණා. ඒක එදත් අදත් අතිමහත් බහුතරයකට ලැබෙන්නෙ නැහැ. ඔවුන් බටහිර අධ්‍යාපනය කට ගාගන්නවා පමණයි. ඒත් ඔවුන් පඬියන් ලෙස පෙනී ඉන්නවා.  අප බටහිරින් දැනුම ලබා ගැනීමේ කිසි පිළිවෙළක් නැහැ. බටහිර දැනුම අපේ හැදියාවට (සංස්කෘතියට) ගන්නෙ (අවශෝෂණය කරන්නෙ) කොහොමද කියල අපි දන්නෙ නැහැ.  අපට අපේ චින්තනය ගැන දුනුමක් නැහැ. ඉස්සර මිනිසුන් චින්තනය ඉවෙන් දැන ගත්තා. අද අපට එය කියල දෙන්න වෙලා. කියල දුන්නත් පඬියන් හා පඬිපෝතක පෝතිකාවන් ඒ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැහැ. ඔවුන් අර කට ගාගත් බටහිර දැනුම තොල අගින් පිට කරන්නේ චින්තනයට ගරහමින්.



අවුරුදු තිහකට පමණ පෙර මා හා අපේ පවුලෙ අය (බිරිඳ හා දරුවන්) බෙහෙත් ගත්තෙ රත්මලානෙ බොරුපන වෙදමහතාගෙන්. ඔහු ආයුර්වේදය ද දැන සිටියත් සිංහල වෙදකමයි කෙළෙ. ඔහු සමහර දිනක අලුත් බෙහෙත් නියම කළා. ඔහුට එවැනි නිර්මාණ ශක්තියක් තිබුණා. ඔහුගෙ ශිල්පීය දැනුමෙන් ඔහුට පුළුවන් වුණා අලුත් බෙහෙත් නියම කරන්න. එතුමා මට බොහෝ දේ කියා දුන්නා. අද ගොවියන්ට පුළුවන් වෙන්න ඕන සේන දළඹුවා අලුත් වුණත් මොකක් ද කරන්න ඕන කියල තම ශිල්පීය දැනුම යොදා ගෙන කියන්න. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ව දැනුමක් ලබා ගන්න. ඒත් බැරි නම් බටහිර දැනුමක් අපේ හැදියාවට ගන්න. අද ඔවුන්ට ඒ කිසිවක් බැහැ. ඒ ඔවුන්ගෙ අධ්‍යාත්මය බිඳ දාල නිසා. කොන්ද කඩල දාල නිසා. අද ඔවුන් කෘෂිකර්මෙන් එනකන් බලන් ඉන්නවා. කෘෂිකර්මෙන් එන්නෙත් නැහැ. කෘෂිකර්මෙට බටහිර පොත්පත් කියවල මිසක් ඇවිල්ල කියන්න දෙයක් නැහැ. කෘෂිකර්මයත් කරුමයක් වෙලා. කොහොම හරි සේන දළඹුවාට බටහිර ප්‍රතිකර්ම නැත්නම් අපට ප්‍රශ්නයක් වේවි. ඒ අප දේශීය දැනුම ගරහල ඉවත් කරල තියෙන නිසා. කවුරු හරි කොහෙන් හරි බටහිර විසඳුමක් දෙන්න ඉඩ තියෙනවා. ඒකට ඩොලර් යාවි. රුපියලේ අගය තවත් අඩුවේවි. රුපියලේ අගය අඩු වෙන්නෙ නැත් ද සිංහලයන්ගෙ අගය අඩු වෙලා බටහිරට දත නියව ගෙන ඉන්න කොට.



සේන දළඹුවා හදිසියේ ම ලංකාවට ආවෙ මොක ද? පැතිර යෑමත් හරි ඉක්මන්. ඇතැමුන් කුමන්ත්‍රණ ගැන කියනවා. මා නම් එහෙම කියන්නෙ නැහැ. ඒත් මා සැලැස්මක් නම් මුළුමනින් ම නොසලකා හරින්නෙ නැහැ. රනිල් තාම සේන දළඹුවා ගැන දින පනහෙ ආණ්ඩුවට බැන්නෙ නැහැ. රනිල් ගෙදර තියෙන දින පනහෙ මුවහමට තඩිබාන්න නම් දන්නවා. සේන දළඹුවා ගෙනාවෙ දින පනහෙ ආණ්ඩුවෙන් ද? එහෙමත් නැත්නම් ඒ ආණ්ඩුව දින පනහට වැඩිය තියෙයි කියල ආණ්ඩුව අමාරුවෙ දාන්න කවුරු හරි සැලැස්මක් අනුව වැඩ කළා ද? මා මේ තළියේ කිඹුලන් දකිනවා ම නො වෙයි.