Main Logo

Friday 11 January 2019

ව්‍යවස්ථාව විපක්‍ෂය හා බෞද්ධයන් රැවටීම


ව්‍යවස්ථාව විපක්‍ෂය හා බෞද්ධයන් රැවටීම



සංධානයේත් පොහොට්ටුවෙත් එ ජා පක්‍ෂයට හා රනිල්ට උදවු කරන අය ඉන්නවා. ඔවුන් මෛත්‍රිපාල මහින්ද සමගිය කඩා බිඳ දාන්න කළ හැකි සෑම දෙයක් ම කරනවා. ඒ මගින් රනිල්ට ආධාර කරනවා. දෙපැත්තේ ම ඉන්නවා ව්‍යවස්ථාව පරාද කිරීම ප්‍රධාන ප්‍රශ්නය කර ගන්නෙ නැතිව ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ තවත් පක්‍ෂ සමග එකතු වී හදන සංධානයේ නායකයා කවුද, ඒකෙ ලකුණ මොකක් ද, ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද වගේ ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න කර ගන්න අය. ඔවුන් පැහැදිලිව ම රට ගැන නොව තම මන්ත්‍රීකම, ආසන සංවිධායකකම,   මෛත්‍රිපාලට නැත්නම් මහින්දට අනින්නෙ කොහොමද ආදිය ගැන සිතන අය. එමගින් රනිල් බලයේ තබා ගැනීමට කටයුතු කරන අය.




ජනමාධ්‍යවේදීන් ද වොයිස්කට් දේශපාලනය මගින් ඒ දෙපිරිස භේද කරනවා. ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය තම ආයතනයේ වෙළෙඳ දැන්වීම් වැඩි කර ගැනීම පමණයි. එහෙත් ඔවුන් කියන්නේ තම කාර්යය ජනතාවට තොරතුරු සැපයීම කියායි. මේ තොරතුරු සැපයීමක් නොව ආයතනයේ සුබ සිද්ධිය සඳහා තොරතුරු මැවීමක්. ජනමාධ්‍යවේදීන්ට එ ජා පක්‍ෂයෙන් අර දෙපිරිස භේද කිරීම සඳහා ගතමනාවක් ලැබෙනවා ය කීමට තරම් මා ඉක්මන් වන්නේ නැහැ.



අද විපක්‍ෂය මුළු බර දැමිය යුත්තේ නව ව්‍යවස්ථාව හෝ විස්ස හෝ පැරදවීමට මිස තම ජනාධිපති අපේක්‍ෂක කවුද කියා තීරණය කිරීමට නො වෙයි. ඔවුන් සූදානම් විය යුත්තේ මහා මැතිවරණයක් ලබා ගැනීමට මිස සංධානයේ ලකුණ ගැන වාද කිරීමට නො වෙයි. ජනමාධ්‍යවේදීන් ඉදිරියේ අනවශ්‍ය ප්‍රශ්න ගැන කතා නොකර සිටීමට දෙපැත්ත ම කටයුතු කළ යුතුයි. අද විපක්‍ෂයට සැලැස්මක් නැහැ. ඔවුන් කරන්නේ රනිල්ට හා සුමන්තිරන්ට එදිනෙදා ප්‍රතිචාර දැක්වීම පමණයි. අර කියන්න වගේ විපක්‍ෂය යනු එදාවේල චාරිකා (ටුවර්ස්).



අද ව්‍යවස්ථා මණ්ඩලයට ඊනියා විශේෂඥ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරනවා. බොහෝ දෙනාට ජනමාධ්‍යවල ඇතැම් මහදැනමුත්තන්ට ද  ව්‍යවස්ථා මණ්ඩලය හා ව්‍යවස්ථා සභාව අතර වෙනස තේරෙන්නේ නැහැ. ව්‍යවස්ථා සභාව කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ දහනවවැනි සංශෝධනයෙන් අටවපු සභාවක්. එහි සංයුතිය ගැන මා පසුගිය දා සඳහන් කළා. අද එහි සම්බන්ධන් වෙනුවට මහින්ද ඉන්නවා. එහෙත් අනෙක් සාමාජිකයන් වෙනස් වෙලා නැහැ. එහි රධිකා කුමාරස්වාමි, ජයන්ත ධනපාල, ඒ ටී ආරියරත්න වැනි සිංහල බෞද්ධ විරෝධීන් ඉන්නවා. මොවුන් ඉවත් කර වෙනත් අය පත් කළ යුතුයි. එහෙත් විපක්‍ෂයට ඒ සඳහා සැලැස්මක් නැහැ. ජනාධිපති නම් කළ විනිසුරුවන්ගේ නම් ප්‍රතික්‍ෂෙප කරනු ලැබුයේ ඉහත නම් සඳහන් අයගෙන් ද සැදි සභාවක් මගින්. මොවුන්ගේ ඇති ස්වාධීන කමක් නැහැ. ඔවුන් නම් කරන අයට, කොමිෂන් සභාවලට ස්වාධීනකමක් තිබිය හැකි ද?



මේ ව්‍යවස්ථා සභාව මූලික වශයෙන් පත් කරනු ලැබුයේ රනිල් හා සුමන්තිරන් විසින්. රනිල් ඔවුන් පත් කර ඉන් පසු ඔවුන් පත් කරන කොමිෂන් සභාවල ඊනියා ස්වාධීනත්වයක් ගැන කියවනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කියවනවා. ව්‍යවස්ථා සභාවේ සංයුතිය වහාම වෙනස් කළ යුතුයි. කිසිම රටක ඊනියා ස්වාධීන මණ්ඩල නැහැ. එක්සත් ජනපදවල විනිසුරුවන්ගේ පාක්‍ෂිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා වෙනවා. පසුගිය දා පත් කෙරුණු කැවනා විනිසුරුගේ පාක්‍ෂිකත්වය හා තවත් දේ ප්‍රසිද්ධියේ කතාබහට ලක්වුණා. මෙරට විනිසුරුවන්ගේ පසුබිම ගැනත් දැන ගැනීමට හැකි නම් කාටත් හොඳයි.



අද උදේ රැස්වන්නේ ව්‍යවස්ථා සභාව නොව ව්‍යවස්ථා මණ්ඩලයයි. ව්‍යවස්ථා මණ්ඩලය කියන්නෙ මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා වෙන ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වී සෑදෙන ආයතනයකට. එහෙත් එය පාර්ලිමේන්තුව නො වෙයි. ප්‍රථම වරට ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කෙරුණෙ බණ්ඩාරනායක මැතිණිය විසින්. එදා 1970 දී ඒ සඳහා අවශ්‍යතාවක් මෙන් ම ජනවරමක් ද තිබුණා. අපට එතෙක් පැවතියෙ එංගලන්ත පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරුණු ව්‍යවස්ථාවක්. එය වෙනස් කිරීමට අපේ ම වූ මණ්ඩලයක් අවශ්‍ය වුණා. එහෙත් 1978 ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණෙ 1972 ව්‍යවස්ථාව මත පදනම් වෙමින්. අදත් නව  ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් 1978 ව්‍යවස්ථාව මත පදනම් වෙලා ඒ කරන්න පුළුවන්. එ සඳහා ප්‍රතිපාදන 1978 ව්‍යවස්ථාවෙ තියෙනවා. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නැහැ.



2015 දී ව්‍යවස්ථා මණ්ඩලයකට අවශ්‍යතාවක්වත් ජනවරමක්වත් තිබුණෙ නැහැ. සංධානයට තිබුණෙ සමස්ත ක්‍රියාවලිය ම වර්ජනය කරන්න. එහෙත් අප එසේ වර්ජනය කරන ලෙස කියද්දිත් ඒකාබද්ධ විපක්‍ෂයත් එයට සහභාගි වුණා. ව්‍යවස්ථා මණ්ඩලයෙ මෙහෙයුම් කමිටුවක් හා අනුකමිටු හයක් තිබුණා. ඒකාබද්ධ විපක්‍ෂය ඒ කමිටුවලටත් සහභාගි වුණා. පසුව අප කිහිප දෙනකුගේ ඉල්ලීම නිසා අනුකමිටු හයෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වුණා. එහෙත් මෙහෙයුම් කමිටුවෙ ක්‍රියත්මක වුණා. මෙහෙයුම් කමිටුව විසින් ඊනියා විශේෂඥ කමිටුවක් පත් කෙරුණා උපදෙස් දීමට. ඒ ඊනියා විශේෂඥ කමිටුවෙ වාරාතාවක් තමයි අද ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නෙ. එය මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරී නැහැ. රනිල් තර්ක කරාවි එසේ කිරීම අනවශ්‍ය කියා. එහෙම බැහැ. විශේෂඥ කමිටුව පත් කෙරුණෙ ව්‍යවස්ථා මණ්ඩලයෙන් නො වෙයි. මේ නව ව්‍යවස්ථාවක් ඉක්මණින් ගෙන ඒමට රනිල් සුමන්තිරන් ආණ්ඩුව දරන වෑයම. රනිල්ටත් සුමන්තිරන්ටත් නව  ව්‍යවස්ථාව ඉක්මණින් ම සම්පාදනය කිරීමට අවශ්‍ය වෙලා.



රනිල්ගෙ බොරු තර්කවලට විපක්‍ෂය යට වෙනවා. මේ තරම් ප්‍රෝඩාතන්තවාදයක් ලෝකයේ කොහේවත් නැහැ. රනිල් අගමැති පුටුවෙන් නැගිටලා අනෙක් අය දිහා බළලා හිනා නොයන විහිළුවක් කරලා බොරු තර්කයක් ගෙනැල්ල තමන්ගෙ වැඩේ කර ගන්නවා. රනිල් එන්නෙ සැලැස්මක් ඇතිව. එහෙත් විපක්‍ෂය එන්නෙ කිසිම සැලැස්මක් නැතිව.



ඊයෙ තිබුණු ඊනියා පක්‍ෂ නායක රැස්වීමක දී අද මේ වාර්තාව ඉදිරිපත් කරන්න ඕන කියල තීරණය කෙරුණළු. පළමුව ස්ථාවර නියෝග යටතෙ තේරීම් කමිටුවක් හා අනෙක් කමිටු තවම පත් කෙරිලා නැහැ. එවැනි තත්වයක් යටතෙ පක්‍ෂ නායක රැස්වීම් තියන්නෙ කොහොම ද? විපක්‍ෂය ඒ නීත්‍යානුකූල නොවන පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගි වන්නෙ ඇයි? දෙවනුව ව්‍යවස්ථා මණ්ඩලයෙ වැඩ ඊනියා පක්‍ෂ නායක රැස්වීම්වල තීරණය කරන්නෙ කොහොම ද? මෙතැන දී පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථා මණ්ඩලය පටලවා ගැනීමක් සිදුවෙලා. ඔය විශේෂඥ වාර්තාව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරලා ඊට පස්සෙ තමයි තීරණය කරන්න ඕනෙ ව්‍යවස්ථා මණ්ඩලය රැස් කරන්න. මෙහෙයුම් කමිටුවෙ වැඩ පක්‍ෂ නායක රැස්වීම්වල කරන්නෙ කොහොම ද? එහෙත් රනිල්ගෙ බොරු තර්කවලට විපක්‍ෂය යටවෙනවා.



මේ සියල්ලටම වඩා වැදගත් දෙයක් තියෙනවා. අද රනිල් උපාසක මහත්තය පන්සලක් පන්සලක් ගානෙ යනවා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියාගෙන. මේ රැවටීමක් බව අප දන්නවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නෙ ඇංග්ලිකන් සංස්කෘතියෙ රනිල්ටවත් මෙතෝදිස්ත සංස්කෘතියෙ සුමන්තිරන්ටවත් ඕන විධියට වැඩ කරන එක නො වෙයි. අද මහා සංඝරත්නය එක හඬින් අනුශාසනා කරනවා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නෙ සුමන්තිරන්ට ප්‍රමුඛස්ථානය දීම නො වෙයි. මහා සංඝයා වහන්සේගෙ අනුශාසනය මේ අවස්ථාවෙ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ යන්න නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා නම් රනිල් මහා සංඝරත්නයට සවන් නොදී සුමන්තිරන්ට සවන් දෙන්නෙ මොකද? රනිල්ගෙ තාත්තා ඇංග්ලිකන් වූ නිසා ද? බාප්පා ඇංග්ලිකන් බිෂොප් කෙනකු වූ නිසා ද?  



අද ඉදිරිපත් කරන වාර්තාව මත පදනම් වෙලා, ඒකෙ වචන එහාට මෙහාට කර නව ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. ලාල් විජේනායක කියන විට මේ වසරේ නව ව්‍යවස්ථාවක් ගේන්න බැහැ කියල අප තවත් පරීක්‍ෂාකාරි වන්න ඕන. ඔහු විපක්‍ෂය නොමග යවනවා වෙන්න පුළුවන්. මේ අද ඉදිරිපත් කරන වාර්තාව වචන හරඹයකින් පස්සෙ නව ව්‍යවස්ථාව ලෙස ඉදිිරිපත් කරන්න පුළුවන්. විනිසුරුවන් කෙසේ පත් කෙරී තිබුණත් අපට අධිකරණයට යන්න වෙනවා. ඒ අතර ව්‍යවස්ථාවට විරුද්ධව විශාල මහජන බලවේගයක් සංවිධානය කරන්න වෙනවා. විපක්‍ෂයේ ලකුණයි ජනාධිපති අපේක්‍ෂකයි අරකයි මේකයි ගැන කතා නොකර ව්‍යවස්ථාව පරාජය කිරීමට පූර්ණ ශක්තිය යොදවමු.